Sunday, June 2, 2019
මම තවම ආදරෙයි 🖤
අහස හුඟක් දම්පාට යාන්තම් අළුපාට හැන්දෑවක ඇඟ හූරන් යන හුළං වදින කොහේ හරි හුදෙකලා තැනක ඔයා එක්ක උණුම උණු කෝපි එකක් බිබී දන්න දෙයක් ගැන නොදන්නවා වගේ අළුතින්ම කතා කරන්න ඕන කියලා මට තදබල හැඟීමක් ආවා.
ඒක උස් , මීදුමෙන් වැහුනු ලස්සන කඳුකර තැනක් වෙන්න ඕනි නෑ. එහෙම තැනෙක හමුවීමක් මහ සෝබන වැඩක් කියලා මම කියන්නෙත් නෑ.
ඒත් ; වාහන තදබද අස්සේ ගෙදර යන්න ඉස්පාසුවක් නැතිව වෙහෙසට පත් මිනිස්සු ඔවුන්ටත් නොදැනම ආතතිය වඩමින් ඝෝෂාකාරී ලෙස නලා සද්ද කරන, අපිරිසිඳු කළු දුමාරය සුදුම සුදු වළාකුළු තුරුල් කරගන්න හිතාන සුළං දිගේ අහසට මැරතන් දුවන කලබලකාරි නගරයක් මැද තියෙන උසම උස බිල්ඩිමක උඩම තට්ටුවේ නිදහස් මාලයකට මම වඩාත් කැමතියි.
අඩුතරමින් එතැන නුහුරු බවක් අපට නොදැනේවි. නොසන්සුන්කම වැඩිවීම ජීවිතේ රටාවට පුරුදුයි. ඉවසීම පුරුදු උනේ එහෙමයි!
විඳින්න පුළුවන් නගරයක මිනිස්සු මේ හැටිම විඳවන කාරණාව මට පැහැදිලි නෑ. ඒත් දැන් මම ඒකට ආස නෑ රවීන්ද්‍ර. මතක ඇති කාලෙක ඉඳන් ඇතිතරම් විඳවපු එකේ ජීවිතේට උනත් වෙනසක් ඕනෙ.
ඒ නිසා විඳවපු මතකයක් ගානේම මන් අළුතින් විඳින්න පටන්ගත්තා පෙර පුරුදු ආදරෙන්ම.
තරු පිරුණු අහසක් හරි ලස්සනයි තමයි. ඒත් ඔයා ආවොතින් ඉහළ මාලයට ; පහළ වීදියක පියවර කිහිපයක් ඈතින් ඈතට විහිදුනු නියොන් එළි රටාවලත් අමුතුම ලස්සනක් දකින්න පුළුවන් වග ඔයාට පැහැදිලි කරල දෙන්න මට පුළුවන්.
හැමතිස්සෙම අපි ළඟාවෙන්න බැරි දේවල් දිහා බලාගෙන පෙරුම් පුරමින් ඉන්නකොට අතපොවන මානේ තියෙන කොයිතරම් නම් ලස්සන දේවල් මඟහැරිලා යනවද.. ඒක තේරුම් ගන්න මටත් අවුරුදු දහයකටත් එහා කාලයක් ගතවුණා. ඇඟට පතට නොදැනී වගේ පෙන්නුවට හරි අමාරුවෙන් ගෙවපු මගෙ ජීවිතේ දිගම අවුරුදු දහය ඒක වෙන්න ඇති. ඒ උනත් ඔයාගේ ශාරදාට ඒ අවුරුදු දහය ගැන පසුතැවිලි වෙන්න කාරණාවක් හොයාගන්න බැරි උනා. ඒ ඊටත් කලින් ගෙවී ගිය ජීවිතේ ලස්සනම අවුරුදු පහ පුරා මිහිරි දේවල් ගොඩක් ජීවිතේ තැනින් තැන ඔයා තියල ගිය නිසා බව මම හිතනවා.
ඊට පස්සෙ හුදෙකලා රැයවල් ඕනෑතරම් වේදනාවෙන් මිරිකිලා කඳුළින් වගෙම දහදියෙනුත් පෙඟිලා යන්න ඇති. ඒත් ඒ කොතැනකට වත් පසුතැවිල්ලක අංශු මාත්‍රයක් වත් නොගෑවෙන්න තරම් මන් පරිස්සම් උනා. ඒ නිසාම මතකයන් ඒ දවස් තරමටම පිවිතුරුව දැකගන්න මට අදටත් පුළුවන්.
ප්‍රේමයට පසුතැවිල්ල ගව්ගාණක් දුරයි. මන් අදටත් හිතන්නෙ එහෙමමයි මගෙ රවීන්ද්‍ර..
මම මේ දැනුත් ඉන්නේ උඩුමහලේ ඔයා ආසම තැන. මට ඕනෑම තැන ; ඔයා කැමතිම ස්පැගටි පිඟානත් එක්ක.
සීතල බියර් එකක් බිබී ඈතින් පේන මුහුදේ සිතිජයට මායිම් කරන රුවල් නැවක් දිහා බලාගෙන නන්දා මාලිනීගේ "රුවල් ඉරී ගිය නෞකාවේ" සිංදුව මුමුණන ඔයාව මගෙ ඇස් ඉස්සරා මැවෙනවා.
හුළඟත් එක්ක හාද වෙලා හීතල වෙන්න ඉක්මන් වෙන ස්පැගටි රැල් එහෙ මෙහෙ කරන අතරේ මගේ පෙනහළු දිගු හුස්මක් ගන්නෙ ඒ එක්කම මනසෙ ඇහෙන නමක් නැති කෙඳිරිලි ගොඩක් ආයෙ පිටකරන්න තියෙන හදිසි උවමනාවට.
"ඔයාටයි මටයි තව දුරටත් මේ ගමන එකට යන්න බෑ ශාරදා" " අකමැත්තෙන් උනත් දැන් මට යන්න කාලේ හරි"
ඔයා අන්තිමටම හිස් කරපු බීර බෝතලේ හුළං පාරට බිමට පෙරලිලා රෝල් වෙලා යන හඬින් තිගැස්සිලයි එකපාරටම මම ආයෙ පියවි ලෝකෙට ආවෙ.
ඔයා තවමත් හිත පුරා ඇවිදින්නෙ බරට අඩි තියලා සළකුණු අළුත් වෙන විදියටයි. මට එහෙම හිතුණා.
කවදාහරි උදාවන බව කල්තියා දැනන් උන්නු ඒ තීරණාත්මක මොහොත අකම්පිත විදියට භාරගන්න මන් විසින් මටම පොරොන්දු කරගෙන උන්නත් එදා මගේ ඇස් වලට හදවත ගලන එක නතර කරන්න බැරි උනා. අපි හිටියෙ මහ මුහුදෙත් හරිම මැදක් හරියෙ. වටේම ඉතිරි වෙලා තිබුණෙ ලුණු රහයි හුළඟයි විතරයි. මෑතකින් නතර කරලා තිබ්බ නැවට ඔයා මාව පරිස්සමින් ඇරලුවා.
හරි අකමැත්තෙන් උනත් ඒ ගමන මට යා යුතුව තිබුණේම ඔයා මුහුදේ මැද ඉන්න බව දැන දැන. ඔයාට එන්න උවමනා උනත් සාගර පතුලෙන් එන කටහඬට ඔයාගෙ දෙපා අවනත උනා.
එවෙලෙ මන් නැවට ගොඩ නොවුනානම් කැළඹුනු පතුලින් එන කුණාටුවට හසුවෙන්නෙ ඔයාව. ගොඩබිම ඈතින් පේන ප්‍රදීපාගාරය දිහාවට අත දිගුකරලා ඔයා යන්තමින් හිනාවෙලා මන් දිහා බැලුවා.
මට අදටත් විස්වාසයි.. ඔයා පතුල දක්වා යන්න ඇත්තේ මන් ගොඩබිමට පරිස්සමින් ගියා කියන පණිවිඩය ප්‍රදීපාගාරයෙන් දැල්වුනාටත් පස්සෙ.
"දෝතට එක්කල වැසිදිය පොවමින් පවසට
ඉරුණු රුවල් රෙදි දවටා සදමින් උණුසුම
මා රැක ගත් ඔබ රැක ගත යුතුවේ අද දින
දියඹේ නවතිමි යනු මැන පෙරමඟ තනිවම"
සුන්බුන් නැව් බඳ දියබත් වෙන්න මොහොතකට තියලා මන් නැංගුරම්ලෑවේ හුදෙකලා ගොඩබිමකට බව නොපෙන්වා මන් පාළු ප්‍රදීපාගාරය පත්තු කළා. සනසවන්න අමාරු බව දැන දැනත් මම එහෙම කළේ ඔයා සැනසෙන්න ඇති කියලා මගේ හිතම රවටගන්න.
ඔයා අන්ධකාර පතුල වැළඳගන්න ඒ නිමේෂයේම දළ රළ පෙළ තරමටම කැළඹිලා ගිය මගේ හිතේ අඳුරුම කෙළවරක ගැඹුරටම කිමිදිලා මමත් නිශ්චල උනා.
දැන් අවුරුදුම දහයක් !!
මම තවම ආදරෙයි..
-රොෂෙල් ෆර්නැන්ඩු-
Labels:
හේමන්තයෙන් දවසක් 🌹❤️
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment