Saturday, June 29, 2019

එක රැයක්


සඳ තරු එළි දහසකුත් තිබියදී ඝනදුර සොයමින් සිත වල්මත්ව පාව යන්නේ
ආදරයේ අන්ධකාර බව පසක් කරලමිනි..

කිසිම දිනක මම නුඹව මුදු සඳ එළියේදි නුදුටිමි.. මඳ අඳුරේ සිටම බලා උන්නෙමි..
ඒ නුඹේ ආදරයේ රුව අඳුරේ සිට බලා සිටින මට සඳ එළියෙන් ලස්සනට පෙනෙන නිසාය..

සඳ සිසිලස උරා ගත් ඔබේ පුළුල් උර මඬලේ රැයක් පුරා නිදි නොලැබ වැතිරී සිටින්නට ප්‍රිය කෙළෙමි.. මගේ ආදරයේ සුවඳ මලින් නුඹේ හදවතම අහුරන්නට මට උවමනා විණි..

නමුදු මා පින් මඳ ඇත්තියකි ...

තව යමක් කිවයුතු නොවේ යැයි සිතමි..

සුන් වූ පැතුම් ගෙන තවත් නිදි නැති රැයකට ඇරයුම් කෙළෙමි..

මඳ පවන් රැල්ලකට වුව සැලී බිම වැටෙන තරමට හදවතේ දළු බිදී ගොස්ය..

කිසිදාක ආදරය තනි නොකෙරූ මා අද ඒ ආදරය නිසාම තනිවී ගොසිනි..

සරදම් කෙරූ ආදරය..

තවමත්  මා නුඹ හා නොමනාප වීමට නොකැමැත්තෙමි..

හුදෙකලා මට හුදෙකලාවෙන් මිදුනු එකමෙක රැයක් උවමනාය.

එපමණකි !

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment