Saturday, June 29, 2019

අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් !


ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී..

ඔබ එලෙස කීවා.. ඔබට මිදී එන්න හෙවණැල්ලක් තිබුණා.. ඒත් මට මිදී එන්න හෙවණැල්ලක් වත් තිබුණෙ නැහැ. එවකටත් මා හුදෙකලා කයක් ව සිටියා.. මගේ හෙවණැල්ල ලෙස මට සළකන්නට තිබුණේ පවා නුඹම විතරක්ම වූවා.. නුඹෙන් මිදී මට යන්නට මාවතක් තිබුණේ නෑ.. කවර කලෙකවත් මට එවැනි විකල්ප මාවතක අවශ්‍යතාවක් දැනුනෙත් නෑ..

ඔබව හමුවන්නට යැයි ඔබ ඇරයුම් කළා.. මා ඒ ඇරයුම භාර නොගත්තත් ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මගේ හදවත ඒ සඳහා අවිඥානිකව බොහෝ කල් සිට බලා සිටින්නට ඇතැයි යන්නයි මාගේ කල්පනාව. පැහැදිලිවම මට ද ඔබව හමුවන්නට වුවමනාවක් තිබුණා. නමුත් ඒ බොහෝ කාලයක අවසානයේත් අවසාන දවසක. ප්‍රමාද නොකරම හමුවීම ඔබට වුවමනා වූවක්. අප්‍රමාදව ඔබ මා හමුවන්නට ආවා.. ඔබේ හෙවණැල්ලෙන් ඔබ මොහොතකට මිදුනා.. එවකටත් හුදෙකලා ආත්මයක්ව හුන් මා එය අදටත් සිහිකරන්නේ ඉමහත් කෘතවේදිවයි...

එහෙත් ඔබ ඔබේ හෙවණැල්ලෙන් මිදී ආයේ මා වෙනුවෙන්මද එසේත් නැති නම් ඔබම වෙනුවෙන්දැයි අදටත් මට පැහැදිලි අදහසක් නෑ... ඒ කෙසේ නමුත් කල්පයකින් අල්පයක් සා වූ ඒ මාහැඟි මොහොත වෙනුවෙන් මා ඔබ ගැන බෙහෙවින්ම කෘතවේදි බව නම් කිවයුතුමයි..

පළමු මුණගැසීමම අවසාන මුණගැසීමත් වේවා යැයි හදවතින්ම මා ප්‍රාර්ථනා කළ බව පිරිසිඳු ඌල දිය තරමටම සත්‍යයක්. නමුත් එය අපේක්ෂා කළ අයුරින් සිදු නොවූ බවද අසීරු සත්‍යයක්. එය ඉතා මිහිරි හෝ අමිහිරි යැයි වටහාගත නොහැකි වකවානුවක්. ඔබට නිරන්තරයෙන් උවමනා වූයේ ඔබේ හෙවණැල්ලෙන් මිදී ඔබම වෙන්නටයි.. ඔබම පමණක් වෙන්නටයි.. "නිදහස" ඔබගේ ප්‍රියතම භාෂාව බව මා දැනසිටි කරුණක්. මගෙ සහජාසයෙන් ඔබව අවබෝධ කරගැනීම ඒ තරම් අසීරු වූයේ නෑ..

බොහොම වැදගත් ජීවිත මුණගැසීම් සැලසුම් කර තිබෙන්නේ ශරීරයන් එකිනෙකාට හමුවීමටත් පෙර ආත්මයන් විසින් වගට කොයියෝගේ තර්කය මා තදින්ම විශ්වාස කරා.

(Important encounters are planned by the souls long before the bodies see each other. -Paulo coelho-)

අදටත් ඒ විශ්වාසයේ කිසිඳු වෙනසක් නෑ. ඔබ සදාකාලිකවම මාගේ ප්‍රියතම ආත්ම සඟයා බවට මා හඳුනාගෙන අවසන්.

ඔබට ඔබම වීමේ නිදහස ප්‍රේමයටත් වඩා අවශ්‍ය වූ බව මා දැන සිටියා. ඒ නිදහස මගෙන් ලැබෙන බව ඔබ දැන සිටියා. නිර්ලෝභීවම ඒ නිදහස ඔබට මවෙතින් පිරිනැමීම මගේ ප්‍රේමය ලෙස ඔබ කල්පනා කළා විය යුතුයි. මාගේ කල්පනාව වූයේ ඔබේ ආත්මය නිරන්තරයෙන් ප්‍රීතිමත්ව තැබීම පමණයි.

ඔබේ ප්‍රීතිමත් දෑස් වලින් මගේ ආත්මය එක්තරා නිවීමක ප්‍රහර්ෂයක් අත්වින්දා. ඒ නිවීම වෙනුවෙන් පමණක් මා ඔබට ප්‍රේම කළා කිවහොත් එය අර්ධ සත්‍යයක්. සැබැවින්ම මා හට අවශ්‍යය වූයේ ඔබේ ආත්මයද ප්‍රීතියෙන් පුරවමින් මගේ ආත්මය තෘප්තිමත් කිරීමටයි. කුමක් හෝ අතිශයින්ම බර නමුදු පූර්ණ වශයෙන් හිස් හැඟීමක් ඔබේ හදවතේ ගැඹුරෙහි කැලතෙන බවට මට සංවේදනය වූවා. ඒ හිස් බව පිරවීමේ උමතුවක් මා තුළ වූවා.

නමුදු එකී හිස්කම වූයේ ඔබ තුළමද එසේ නැතිනම් මගේම හුදු අභ්‍යන්තරයේද යන්න අද මට ඇතිවන කල්පනාවක්. ඒ කුමක් වුවත් ඔබේ ඇසුර මා ප්‍රිය කළා. ඔබ ද එසේ බව මා දන්නවා. කුමක් හෝ නැති වූ යමක්, ඔබට අහිමි වූ වටිනා යමක් අපගේ ඇසුර තුළ ඔබ හෙව්වා. මා විසින් එය සොයාගත්තා. අප විසින් එය බෙදාගත්තා. එය "ප්‍රේමය" නමින් අප විසින් බෞතිස්ම ස්නාපනය කළා.

නිදහස් මිනිසෙක්ව හැසිරීම ඔබේ ප්‍රීතිය වූවා. ඔබට මා ඉදිරියේ එය වඩා පහසු වූවා යැයි මම කල්පනා කරනවා..
ඔබ ඉතා කැමැත්තෙන් මිදී ආ ජීවිතේට මා කිසිවකින් නොමිදී ආවා.. මගේ හෙවණැල්ල ඔබ ලෙසින් සිතන්නට මට උවමනා වුනා.. එය එසේ වන බවට ඔබ මට හැඟීමක් දුන්නා.. එය මගේ හුදු ඉල්ලීමකින් තොරව ඔබ විසින්ම මට දුන් හැඟීමක්.. එවකට සැනසීමක් වූ ඒ හැඟීමම පසු කලෙක මාගේ වේදනාව වන බවට අංශු මාත්‍රයක සැකයක් නොතිබුණු හෙයින්ම පසු කලෙක පැහැදිලිවම එය ඉතා තදබල වේදනාවක්ම වූවා.

නමුදු වෙන්වීම මේ තරම් කටුක වූයේ ඔබ මගේ ම බවට පසක් කළ ඒ හැඟීම ම නොවෙදැයි මා ඔබෙන් අසන්නේ නැහැ. අප එකිනෙකාට අයත් බව ආත්මයන් විසින් සැලසුම් කළ සත්‍යයක්. ඔබ සහ මම විසින් එය පිළිගෙන තිබීම අපගේ වේදනාවන්ට හේතුවක්. එපමණයි.

කාලය සෘතු එක්ක කෙලිදෙලෙන් ගෙවී ගියා.. වසන්තය මුලදි තිබුණු ඔබේ පිබිදීමට සිසිරය කෙරෙහි සූදානමක් තිබුණෙ නෑ. සිසිරය පටන් ගන්නටත් පෙරම වසන්තයේ අගභාගයේදී ඔබ සෙවූ ඔබට උවමනා කළ ජීවිතයම ඔබ ට නීරස වූවා.. එය ඔබේ ස්වාභාවය බව මම එවකටත් දැනන් සිටියා.. ඔබ නැවත ඔබේ පෙර සෙවණැල්ල පසුපස්සේ ඇදුනා.. එසේ නොමැති නම් ඔබට නොදැනිවම ඔබේ සෙවණැල්ල ඔබ පසුපසින් නිරන්තරයෙන් හඹා එමින් තිබුණා.. ඔබට එයින් මිදීමට අවකාශයක් තිබුණේ නෑ.. එය වටහාගත් ඇසිල්ලේ ඔබ යළිත් මට මගේ හෙවණැල්ලක් කරා යන්නටැයි ඇරයුම් කළා..

මිදී යන්නට හෝ නොමිදී ඉන්නට මට මගේ කියා හෙවණැල්ලකටත් සිටියේ ඔබම පමණක් බැව් ඔබ අමතක කළා..

පසු වූ වසන්තයේ කදිම සැඳෑවන් වල හෙවණැල්ලෙන් මිදී එන්නට යැයි ඔබ විසින් මට  ආරාධනය කළ සෑම වරෙකදීම අමුතුවෙන් මිදී එන්නට මටම කියා හෙවණැල්ලක් නොසිටි වග ඔබට අමතක වූවා.. එසේත් නැතිනම් ඔබ එය අමතක කළා.. එය ඉතා සහාසික අමතක කිරීමක් යැයි පවසනවාට වඩා මා කැමති ඔබ එය අමතක කළේ මහත් ආයාසයෙන් බව සිතන්නටයි.. එසේ සිතන්නට මට ඕනෑකමක් තිබුණා.. එය ඔබෙ කෙරෙහි මා තුළ වූ අසීමිත ආදරය විය හැකියි මා අනුමාන කරනවා විනා ඒ ගැන පැහැදිලි හැඟීමක් ද මේ වන විට මා තුළ නැහැ..

මා ඔබේ සෙවණැල්ල නොවන වග ඔබ මට පැහැදිලි කළා. එහි අර්ථය මා සමුගෙන යා යුතු බව වීම නිසා පමණක් මා අතිශයින්ම වේදනාවට පත් වූවා. නමුදු එය පැහැදිලිවම සත්‍යයක්. මා ඔබේ සෙවණැල්ල නොවේ. මා ඔබේ සෙවණැල්ලද පසු කර ගිය ආත්මීය බැඳීම වග ඔබ විසින්ම මට පවසා තිබුණා. එය මා අමතක නොවනු පිණිස මතක තබාගෙන තිබුණා. ආත්මීය ස්පර්ශය ශරීරයනට වටහාගත නොහැකි තරමේ අවබෝධයක්.  අප අතර වූ ගණුදෙනුව ආත්මීය බව අප දෙදෙනා විසින්ම අවබෝධ කොටගෙන තිබුණා. නමුදු ඔබ ඒ සත්‍යය සිතෙහි අඳුරු කොනක ලා සෙවණැල්ලත් ආත්මීය සහයත් පිළිබඳව අසීරු තක්සේරුවක නියැලෙමින් සිටියා.

තක්සේරුවේ වෙහෙස නිසාම ඔබේ දෑස් වල ප්‍රීතිය නිවී යන්නට ආසන්නව තිබුණා. ආත්මීය සහය ප්‍රේමයේ යුතුකම බවත් එය ක්‍රියාවෙන්ම අත්‍යවශ්‍ය මොහොත එළැඹී ඇති වගත් මගේ සහජාසය විසින් මට සැලකර තිබුණා.

හදවතෙන් උනන තෙත හැඟුම් හසරැල්ලකින් වසාගෙන මා සමුගෙන ආවා. ඔබ වෙනුවෙන් එය මා කළ යුතුව තිබුණා. ඔබේ දෑසේ ප්‍රීතිමත් බව ප්‍රේමයට වඩා මට වැදගත් බව අවබෝධ වෙමින් තිබුණා. මතු හමුවීමක් යළි සැලසුම් වනවා නම් ආත්මීය සඟයා වගෙම හෙවණැල්ලත් එක් අයෙක් විය යුතුම වග.. ඒ මමම සහ ඔබම පමණක් විය යුතුම බවට වූ අවිහිංසක ප්‍රාර්ථනාවක් සුසුම් මතින් වා තලයේ පාවෙමින් තිබුණා.

ඔව්.. අපේ හමුවීම ඈත දුර දිගු දවසක කෙටිම කෙටි රාත්‍රියක් !!!

මතු ආත්මයේ හමු වන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ..

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment