Tuesday, June 11, 2019

ලිලී මල්


එක්තරා දවසක මම පළකළ මිටියාවතෙහි මහනෙල් මල ( lilly of the valley ) ගැන පාඨයක් කියැවූ මගෙ සමීප මිතුරියකගේ අදහස උනේ ලිලී මල අහිංසක ලෙස පෙනෙන නමුත් විෂ සහිත මලක් බව.. ඒකට ප්‍රති පිළිතුරක් ලෙස මම දන්නා කරුණු කීපයක් සමඟ එහි ඇති ඖෂධීය ගුණය ගැන සඳහන් කළා. ඒ කතාව එතැනින් නිමයි.

මේ කාරණාව මන් හිතන්න පටන් ගත්තු නිමිත්ත තමයි ඒ. මගෙ මිතුරිය දක්ෂ බුද්ධිමත් ළමෙක්.. මන් මෙතනින් එහාට කියන්න යන කාරණාවට ඈ කිසිසේත්ම සම්බන්ධයක් නැති බව මා ඔබට කිව යුතුමයි.

ඇත්තටම ලියන මම වගෙම කියවන ඔබත් පෞද්ගලිකව ලිලී මල් ආකාරයෙන් යුතු මිනිසුන් නේද කියන කාරණාව හිතන්නට මම පෙළඹුනා කීවොතින් නිවැරදියි. අපි හැමෝම මිශ්‍ර සිතුවිලි ගති පැවතුම් ඇති මිනිසුන්. බොහොම පියකරු සුවඳවත් ආත්මයන් හිමි විටෙක විෂ  සහිත විය හැකි පෘථග්ජන මිනිසුන්.  අපි හැමෝගාවම අඩුවැඩි වශයෙන් ඒ ස්වාභාවයන් තියෙන බවයි මගේ පෞද්ගලික හැඟීම.

ලිලී මල කියන්නෙ බොහොම පියකරු මලක්. මිටියාවත් වල පිපෙන ඒ මලේ සුවඳ බොහොම අගයෙන් ඉහළයි කියායි මා අසා තිබෙන්නෙ. රුව ගුණ වගෙම වර්ණයෙන් ඉහළ මේ මල ඖෂධීය වටිනාකමෙන් ඉතා අගනා මලක්. මිනිසුන් වන අපත් එහෙමයි. මිනිසත්බව ලබා ඉපදීමම ඉතාමත් වටිනා අවස්ථාවක්. ඒත් ලිලී මල් වන අපි තවත් ලිලී මලක් දිහා බලන කෝණය, අපි දෙන නිර්වචනය කෙබඳු ආකාරද..

කොයිතරම් ලස්සන උනත් සුවඳ උනත් ඖෂධීය බවෙන් වටිනාකම වැඩි උනත් අපි ගොඩක් වෙලාට දකින්න උත්සහ කරන්නේ ඒ හැම ධනාත්මක ගුණයකටම වඩා ඒ මලේ තියෙන විෂ සහිත කොටස. අපි හැමවිටම කෙනෙක් දිහා බලලා දෙන නිර්වචනය තුළ ගොඩාක් වෙලාවට ඉස්මතු වෙන්නෙ ඈ හෝ ඔහු සතු සෘණාත්මක කොටස.

"මම" නමැති ලිලී මල සුවඳවත් පියකරු ආකාරයෙන් දකිමින්ම බොහෝ විට අපි අපිට බාහිර ලිලී මලෙක දකින්නේ උග්‍ර විෂ සහිත බවක්. සරලවම කීවොතින් අනුන්ගේ අඩුපාඩුවක්. ඒ දකින අඩුපාඩුව තුළ අපට මඟහැරෙන්නේම ඒ අඩුපාඩු අභිබවා ඔහු හෝ ඇය ළඟ තියෙන නොමිල වටිනාකම්.
කෙනෙකුගේ රූපයෙන් පටන් අරන් ගතිගුණ චර්‍යා සිතුවිලි පවා අපි දකින්න උත්සහ කරන්නෙ අපිට උවමනා ආකාරයට මිසක් සැබැවින්ම ඒවා පවතින ආකාරයට නෙවී.
රූපය සම්බන්ධව නිදසුනක් ගත්තොත් අපි කෙනෙකු පමණට වඩා මහතයි එසේත් නැතිනම් කෙට්ටුයි , උස වැඩියි, කොට වැඩියි ඔය වගෙ මොකක් හරි ඒ අදාල කෙනාගෙ අඩුපාඩු හුවා දක්වමින් සමාජය ඉස්සරා අපහසුතාවයන්ට ලක් කරනව.

කිසිම අඩුපාඩුවක් නැති බොහොම ලස්සන කෙනෙක් නම් එක්කො වපරයි, එයාගෙ නහය ඇදයි ඔය වගේ මොකාක් හරි අඩුවක් හොයන්න පෙළඹෙනව. එහෙම කියන්න කුමක් හෝ දෙයක් නැති විටෙක පවා එයාගෙ චරිතය හොඳ නෑ වගේ දෙයක් හරීම නිර්ලෝභිව කියලා ඒ කෙනාගෙ අඩුවක් කෙසේ හෝ සොයාගන්නවා.

ඒක සාමාන්‍ය මිනිස් චෛතසිකයෙ ස්වාභාවය  කියලා අපිට බැහැර කරන්න බෑ. මොකද ඒක පවතින්නෙ අපිට පාලනය කරන්න පුළුවන් මට්ටමේ නිසා.

කෙනෙකුට සතුටු හිතෙන විදියේ දේවල් ගොඩක් කියන්න පුළුවන්කම තිබියදිම අපි බොහෝ විට කරන්නෙ ඒ කෙනාට අහිමි කුමක් හෝ දෙයක් ගැන කියලා ඒ කෙනාව මානසිකව රිදවීමට ලක් කිරීමක්. 
කෙනෙක් නිසි වයසෙන් විවාහ වෙනකොට ඒ විවාහ මංගල උත්සවයට එන අවිවාහක කෙනෙක් දුටු පමණින් තවමත් අවිවාහක නොවෙදැයි විමසනවා. සමහර විට හිතා මතා අන් අය ඉදිරියේ අපහසුතාවයන් වලට ලක් කරනව. අලුත විවාහ වූ යුවලක් නම් තවම දරුවෙක් ගැන අදහසක් නැතිද කියා විමසනවා. සමහර අවස්ථා වල එසේ විමසන්නේම දරුවෙක් නැතිව අවුරුදු කීපයක් ඒ හා සමානවම වේදනා උසුලපු කෙනෙක් වීම තමයි මෙහි තියෙන වඩාත්ම කණගාටුවට කරුණ.

තමන් කාලයක් අත්වින්ද කම්පනය අහවර වූ සැනින් සියල්ලම අමතක කර දමන ඔවුන් තමන් වගෙම වේදනාවක් නිහඬව දරාගෙන සිටින කෙනෙකුට මිතුරුකමේ දෑතක් යොමු කරනවා වෙනුවට කරන්නේම මිතුරු වෙසින් කළ හැකි ලොකුම නින්දාව හෝ අවමානය.
අපහසුතාවයට ලක් වන පරිදි ඕනෑවටත් වඩා අනෙකුගේ පෞද්ගලිකත්වයට මැදිහත්වෙන කෙනෙකුට බොහෝ දේ ඒ වන විටත් මඟහැරී තිබෙන්නට පුළුවන් අවස්තාද එමටයි. තමන්ගේ ඒ අඩුපාඩුකම් වසාගන්න මුවාවෙන් අනෙකුගේ අඩුපාඩුවක් ඉස්මතු කරන්න උත්සුක වෙනව. මා දකින කෲරතම දේ එයයි.
සමහරක්විටෙක විවාහ වෙන්න ප්‍රමාද වූ කෙනා විවාපත් කෙනාට වඩා උපාධියක්, රැකියාවක්, වෙනත් අරමුණක් ළඟා කරගත් අයෙකු විය හැකියි.

 දරුවන් නොලැබූ කෙනෙක් ඊට පෙර දරුවෙකුට අවශ්‍ය දේවල් ගොඩනගාගන්න කාලය වැය කරා විය හැකියි. ඒත් අපි හැමවිටම උපාධියක ජයග්‍රහණය, රැකියාවක උසස්වීම දැක දැකත් විමසන්නේ තවමත් අවිවාහක බව. තමන්ගේම නිවසක් වාහනයක් ලබාගෙන ඊළඟ පියවර තබන අයෙකුගේ දකින්නේ දරුවෙකු නොමැති අඩුපාඩුව. බොහොම පියකරු සිනාවකට වඩා අපි දකින්නේ අඩුපාඩු සහිත අඟපසඟ.
හැම අයෙකුටම තමන්ගේම කියා කතාවක් තිබිය හැකියි. සමහරු එය බෙදාගන්නා විට තවත් අය එය සඟවා තනිව දරාගන්නවා. අපි දෙයක් කටින් කීවාට පසු එය නැවතත් කට ඇතුළට ගන්න පුළුවන් දෙයක් නෙවී. 

දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ ඕනෑ  අතකට නැවෙන අස්ථි රහිත දිව පාලනයක් සහිතව භාවිතා කරන්න බැරි කමක් නෑ.. ඒ සඳහා විචාර බුද්ධියම අවශ්‍ය නෑ. කරුණාවන්ත හිතක් බොහොම ප්‍රමාණවත්.
ඒ නිසා කෙනෙකුගෙන් දෙයක් විමසන්න කලින් කෙනෙකු ගැන අදහසක් පළ කරන්න කලින් මොහොතකට සිතුවා නම් අපි මේ කියන දෙයින් මේ කෙනාට සියුම්ව හෝ හිත්  රිදීමක් ඇතිවෙයිද කියලා , එසේ රිදවීමක් ඇති නොවෙන තැනට ඒ දේ නොකර ඉන්නත් අපිට ඕනෑතරම් අවස්තාව තිබෙනවා නම් තවත් ඇයි අපි එලෙස නොකර ඉන්නේ යැයි ඉතා ආදරයෙන් මම ඔබෙන් අහන්න කැමතියි.
සිනහවකින් බොහෝ දේවල් දරාගෙන යන මිනිසුන් අතරේ පවා ඇතුළාන්තයෙන් රහසින් අඬන මිනිසුන් ඕනෑතරම්. කෙනෙකුගේ අගයන්න ඕනෑතරම් දේවල් තිබියදි ඒ කෙනා වේදනාවට පත් කිරීමක්, අපහසුතාවයට ලක් කිරීමක් මා පෞද්ගලිකව දකින්නේ පියකරු බවට යටින් ඉහළ යන උග්‍ර විෂ සහිත කෲරත්වයක් හැටියට.

අපිට පුළුවන් නන් ලිලී මලක් ලෙස විෂ සහිත බව අඩු කරලා අපේ ඖෂධීය ගුණය වගා කරගන්න ලෝකය මීට වඩා බොහොම ලස්සන තැනක් වෙන බව මට විශ්වාසයි.
ඒ වගෙම අපෙන් බාහිර ලිලී මලෙක විෂ දකිනු වෙනුවට පියකරු බව, සුවඳවත් බව අගයන්න අපිට පුළුවන් නම් සරලවම කීවොතින් අනුන්ගෙ හොඳක් දකින්න හැමවිටම උත්සහ කරනවා නම් මා විශ්වාස කරන්න සියල්ලටම වඩා ඔබට ළඟාවෙන්නෙ ඔබේම හුදු අභ්‍යන්තර සැනසීමයි. 

අපි කරන්නට පෙළඹෙන හැම යහපත්  ක්‍රියාවකටම පදනම වුණු ප්‍රේමයේ එක ගුණාංගයක් තමයි අනුන්ගේ නපුර වෙනුවට යහපත සෙවීම. අපි අනෙක් අයට ප්‍රේම කරන තරමට ඒ දේවල් ක්‍රියාත්මක කරන්න එය පහසුවක්.
බයිබලයේ තියෙන ප්‍රේම පාරමිතාවෙ පාඨයකින් මා මෙය මෙලෙස ඉවර කරන්න කැමතියි.

ප්‍රේමය අවිනීත නොවේ
ආත්මාර්ථකාමී නොවේ
හනික නොකිපේ
නපුර සිතේ ධාරනය කර නොගනීයි

"ප්‍රේමය අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී හරි දේ ගැන ප්‍රීති වෙයි"

ප්‍රේමය සියල්ල උසුලයි.

1 කොරොන්ති 13 ( 5 : 7)

විෂ කොටස් බැහැර කරමින් සුව කිරීමෙ ගුණය වැඩි කරගනිමින් මිහිරි සුවඳවත් පියකරු ලිලී මලක් වෙන්න අපි හැමෝටම පුළුවන්. ❤️

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment