Sunday, June 9, 2019
මඟ දිගේ..
ඕලු නෙළුම් නෙරිය රඟාලා...
කිකිණි හඬන වළා නගාලා...
පෙර පාසල් අවදියේ පටන් මා ප්‍රිය කළ ගීතයක මියුරු තාලය බටනලාවකින් ගලා ආවේ නොසන්සුන් කලබල නගරේ සන්සුන් මොහොතකට සිත සනහාලන මිහිරියාවකිනි.. මම විමසිලිමත් දෑසින් හාත්පස විචාරා බැලීමී.. උමං මඟට පිවිසෙන මාර්ගයේ පඩිපෙළ අභියස මිහිරි වාදනයේ හිමිකරු මා සිටින දෙසට විරුද්ධ දෙසින් පඩිපෙළ පාමුල බිම වාඩිවී ගත්වනමය.. දෙනෙත් පියවිලාය. අතැඟිලි මත හරි අපූරුවට බටනලාවක් සිරවිලාය. මියුරු ගීයක් වැයෙන නමුදු රිද්මයෙන් කියැවෙන්නේ කියාගත නොහැකි රිදුමක් යැයි මා සිතට හැඟවී ගියෙන් වඩාත් විමසිලිමත් වූයෙමි. අඳ දෙනෙතත් අතැති බටනලාවෙන් ගලා එන සොඳුරු රිද්මයත් ජීවිතේ කටුක බව කියාදෙන්නේ සියුම්ව රිදුමකින් හදවත පිරිමදිමිනි. මා සිටගෙන සිටිනා පඩිපෙළ පාමුළ අන්ධ මවක් කුඩා දරු දෙදෙන තුරුළු කරගෙනම කලබලයේ එහා මෙහා දුවන ජීවිත වලට අතපාගෙනය. ඔහු ඇගේ සැමියා විය යුතුය. හය හතරක් නොදැනම වීදියට සින්න වූ අහිංසක පැටවුන් දෙන්නාගේ පියා විය යුතුය.
කුඩාවට හිල් සෑදුණු ටින් බෙලෙක්ක පිඟාන මතට මහ වරුසාවේ සද්දයද පරයා හරි සද්දෙට ඉද හිටෙක රුපියලක් දෙකක් වැටේ.. නොනවත්වා බටනලාව වැයේ. ඇතෑම් දවසක සද්දෙට වැටෙන රුපියලක් ගානේ එකතු කර මිලට ගන්නා බත් මුලක හොදි හිල් වූ බෙලෙක් පිඟාන අතරින් බේරෙන විටත් අර අම්මා දෑතින්ම ඒ වසා දරුවන්ට හරි හම්බු කරගත් සියල්ලෙන්ම හැකි තරම් කුස පුරවන්නට වෑයම් කරනවා විය හැක.
වෙහෙසකර දවසක නිමාවෙන් කාර්යාල නිමවී ධාරානිපාත වැස්සටද අසුවී තෙතබරියම් වී ගෙදර යාමට ඉස්පාසුවක් නොමැතිව බෙරිකර ගත් මූණු දහස් ගණන් එහා මෙහා දිවෙයි. බටනලාවේ මිහිර විනා ශබ්දයවත් ඔවුන්ගේ කන වැකෙන්නේ නැතුවා නිසැකය. බෙලෙක් පිඟානට වැස්ස නිසා තවත් අඩු සැලකිල්ලකි. අතොරක් නැතිව හැල්මේ දුවන ඒ ජීවිතද දියවෙන්නේ නිවසට වී සිටිනා කුසගිනි දැනෙනා දරුවන් උදෙසා විය හැක. එබැවින් බටනලාවේ තාලය නොඇසීම පිළිබඳව දොසක් නැගිම එතරම් සාධාරණ නොවේ.
එක් පසෙකින් දරුවන්ගේ කුස පිරවෙනු වස් දස අත දිවෙනා ජීවිතය. තවත් පසෙකින් බටනලාවක් යදින්නේද දරුවෙකුගේ කුසගිනි නිවීමට බත් කටකි.
මහපාරේ හැම තැනකම ජීවිතය යදින්නේ මවුවත්කමත් පියවත්කමත් නොවේද.. ඔවුන් සිඟන්නන් ලෙසින් නොව දෙමව්පියන් සේ එකලෙස ඇඳින්නෙමි.
ඔබ හතිලමින් නිනව්වක් නැතිව දුවන අතරවාරයේ ජීවිතයේ තවත් පැතිකඩක් නොමසුරුව උගන්වන මොවුන් වැන්නවුන් දෙසත් තත්පර කිහිපයක බැල්මක් හෙලීමට අමතක නොකරන්න. රුපියලකින් නොහැකි නම් කරුණාවන්ත සිනහවකින් හෝ සංග්‍රහ කිරීමට තරම් කාරුණික වන්න. ඔබගේ එක දයාබර බැල්මක් පවා ඔවුන් හට දිරිගැන්වීමක් විය හැකි බැවිනි. අවසානයේ බෝහෝ දේ හිතේ දරාගෙන මම ද අනික් වැන්නවුන් සේම තදබදයේ වුව හැල්මේ දුවන්නට සැරසෙන, ඉහින් කනින් දහදිය පෙරාගත් මඟින් ගෙන් උතුරා ගිය බසයට ගොඩවුනෙමි.
අවසන මා උගත් කරුණකි...
ගීතයකට සුමිහිරි තාලයක් ඇත.. එනමුත් දුකට රිදුමක් විනා රිද්මයක් ඇත්තේ නැත..
-රොෂෙල් ෆර්නැන්ඩු-
Labels:
මට හිතෙන හැටි 🤗
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment