Sunday, June 9, 2019

උපැස් යුවල



එය මතක වස්තුවක් ලෙස මා සන්තක වූයේ ඔහු තරුවක් සොයා අහසට ගිහින් හත්දොහොකුත් ඉකුත් වූ පසුවය.. ඔහු පරිහරණය කළ ඒ මහාර්ඝ වස්තුව පරිස්සමින් මාගේ පැරණි එකතුන් අතරට එක්කරගතිමි.. ගතින් වෙන්ව ගිය ද ඔහු මා ළඟ තවමත් සිටිනා හැඟීමක් මවා ගන්නට එය මහත් උපකාරයක් වූ දවස් අනන්තවත් ය හැරයාම් මේ තරම් බැරෑරුම් ලෝභ උපදවනා ආකාරයේ හැඟීම් බව මුල්වරට ජීවිතයට දැනෙන අයුරින් මට කියාදුන්නේ ඔහු විය යුතුය. ඇතෑම් දිනක කාන්සියෙන් විඩාපත් මොහොතක මා එය බහා ඇති පෙට්ටිය විවෘත කර ඒ මහාර්ඝ වස්තුව අතට ගනිමි. 

ඒ ද බොහෝ පරිස්සම් සහගත හැඟීමෙන් ය. එය ස්පර්ශ කරනා වාරයක් පාසා මා හට ඒ සනීපවත් හිස පිරිමැදුම යළි යළිත් විඳ ගත හැකිය. එය අතට අරන් දෑස් පියාගත් කළ අඳුරු ඇසිපියන් යට පසුගිය අතීත වකවානුවක වූ ආලෝකයේ දවස් මට මවාගත හැකිය. දැනුදු ඕනෑම අඳුරු තත්පරයක ඇස් පියාගත් වනම ඒ ආලෝකය විසින් මාගේ අඳුර පහ කරන බව උදක්ම මම විශ්වාස කරමි.
තවමත් ඒ කරුණාවන්ත මනුෂ්‍යයා මා හැර ගියේ නැති බව මම දනිමි. ඔහුගෙන් මාගේ ආත්මයට ඇතුළු වූ යහපත් හැඟුම් සමුදායන් වලින් පෝෂණය වෙමින් ජීවිතය ඇහිදිනා චමත්කාරජනක ඔහුගේ පළමු මිණිබිරිය මම වෙමි.. නැත.. වඩාත් වාසනාවන්ත මිණිබිරිය මම කීවොතින් එය වඩා නිවැරදිය.. 

මන්ද ජීවිතේ වැඩිම කාලයක් ඒ අපූරුම මිනිසා ඇසුරේ හැදුනු වැඩුනු වාසනාවන්තම දරුවා මම වූ බැවිනි.. ඉතින් මා එසේ කීවාට එහි වරදක් නැත.. පසුගිය දින අයිවෝ ඩෙනිස් මහතාගේ අභවප්‍රාප්ත වීමත් සමඟ යළිත් මා හට ඒ උපැස් යුවල අතට ගන්නට උවමනාවක් දැනුනි.. ඒ ඔබ මතක් වූ නිසාය. ඔබේ ඇවෑමෙන් පසුවත් ඔබේ පරපූරේ ගෞරවාන්විත, ඔබේ මිනිස් සුවඳම ඔවුන් ළඟත් ඇතැයි සැළකෙන කිහිප දෙනෙකු අතරින් ඔහුද එක් සුවිශේෂී චරිතයකි. ඔබ මට කුඩා කළ ගැයූ ඒ ගීත අතර ඔහුගේ ගීතද බොහෝ තිබීම නිසා මට යම් දැනෙන අන්දමේ කණගාටුවක් අයිවෝ මහත්මයා ගැනද උපන් බව සත්‍යයකි. ඒ ඔහු ගේ රූපකාය ඒ පැරණි සුවඳවත් බව ඔබ ගාව තිබුණු සුවඳම බව කාලයක් තිස්සේ දැනුනු නිසා විය යුතුය.
ඉතින් නැවතත් පෑරුණු හිතින් සුමිහිරි මතකයක් අවුස්සාලීමට මා යළිත් එය අතට ගතිමි..

ඇතෑම් වියෝවන් හි මතකාවර්ජනයන් බොහෝ සේ මිහිරිතමය. ඒ මතක අතර බලවත්ම මතකය තවමත් නුඹම විය යුතුය.
දෙමටගොඩ පොළට මගේ අතින් අල්ලාගෙන එක්ක ගොස් ඇසට ලස්සනටම පේන පිළිවෙලින් අතුරාපු රතු පාට තක්කලි, ඇස නිවන කොළපාට අමුමිරිස්, දම්පාට වම්බටු , අල ගෝනි පිරුණු විසිතුරු ලෝකයට මා එක්ක ගියේ ඔබය. වායුසමනය කළ සුපිරි වෙළෙඳසැලකින් ඒ මිහිරියාව කිසිදාක නොලැබෙන බව නම් කිවයුතුමය. සෙනඟ ගැවසෙන උරින් උර ගැටෙන ඉරිදා පොළේ මා ගැටුනේ ඉඟටි අතරය.. කුඩා බට්ටියක වූ පොඩි බැබුනා දවස් වල ලස්සනම මතක රැස් වූ තැනක් වූයේ ඉරිදා පොළය. එක අතක බඩු රැසක් සමඟ අනික් අතින් එල්ලී උන්නේ ඔබේ ආදරණීයම හුරතලා වූ පොඩි බැබුනාය. අදටත් මා ඇයට තරමක් ඉරිසියා කරමි. අද උස්මහත් වී වැඩී සිටියාට කුඩා කළ විඳි ඒ මිහිරියාව ඈගෙන් දුර ඈතක වීම එක හේතුවක් පමණකි.

පෝලිමට වූ එළවළු කඩ අතර ඔබ නිතරම එළවළු මිලට ගන්නා කඩයට යන විට මා ප්‍රීතියෙන් ඉපිලෙමි. ඒ කඩේ අයිතිකාර අයියා මා අලගෙඩියක් තක්කාලි ගෙඩියක් ගත්තා කියා මුකුත් කියන්නේ නැත. ඇසට ලස්සනම විසිතුරු පාටින් ඇතිරූ එළවළු ගෙන මෙහා කොනේ පොල් කඩයට ඔබ ගිහින් පොල් මිලට ගන්නා අතරේ පුංචි අත් වලින් දෝතින්ම ගත් පොල් ගෙඩියක් සොලවමින් "සීයේ සීයේ මේකත් හොඳ පොල් ගෙඩියක්" කියා මා කියන්නේ මා ද පොල් තෝරන්නට දන්නා ලොකු කෙල්ලක් වග පෙන්වන්නටය. කලටි පොල් ගෙඩියක් තෝරා එය හොඳ බව කීවත් මාගේ ආඩම්බරයට හානියක් නොකර ඔබ සිනාසී හිස වනන්නේ කුඩා දරුවෙකු හා හැසිරෙන්නේ කොහොමද කියා සඳහන් වූ ළමා මනෝ විද්‍යා පොත් කිසිවක් නොකියවාමය. දරුවෙකු හා යහපත් ඇසුර ඔබ තරම් හොඳින් කිසිවෙක් නොකරන්නට ඇති බව වැටහෙන විටත් ඔබ මා හැර ගිහින් ය. පොල් තෝරා ඒ පොල් අතර යකඩ උලකින් රෙදි පටි යවා ඒවා ගෙනයන්නට ලේසි වන පරිදි පොල් කඩේ වැඩ කරන කොල්ලා ගැටගසනා'යුරු පවා එකල මට ආශ්චර්යමත් දෙයක් වූ හැටි  සිතනවිටෙක අද මගේ මුවඟට සිනාවක් නැඟෙන්නේ නිතැතිනි. මට ඔසවා ගත හැකි කුඩා එළවළු බෑගයක් ඔබ මගේ අතට දෙන්නේ මාගේ පෙරැත්තය නිසා ය.
ඉනික්බිතිව මා රැගෙන ආයෙමත් මෙහා කොනට එන ඔබ කරවල කඩයට එද්දි පොළක වූ විවිධත්වය, ඒ ඒ තැන් වලට ආවෙනික වූ සුවඳ කුඩා කළම මම හඳුනාගතිමි. ඔබ වඩාත් ප්‍රිය කළ බොම්බිලි කරවල ආච්චි අම්මා බඳින්නේ එයට ආවේණික වූ ගන්ධය ගැන දොසක් නොනඟා ය. උම්බලකඩ, කට්ට කරවල, බල කරවල, හාල් මැස්සො පිළිවෙලින් අසුරාපු පෙට්ටි කඩයට කඩ දෙක තුනකට මෙහායින් කොස් ගහ යට මස් කඩේ අසල මිනිසුන් පොරකන නිසා ඔබ එනතුරු කොහේවත් නොයන ලෙස අසලකින් ඔබ මා තබා යන්නේ බඩු මලු ටික මා දෙපා අසල රඳවමිනි. 

මස් වලට අමතරව නිතර යන එන පාරිභෝගිකයෙකු ලෙස හිතවත් වූ ඔබ වෙනමම මස් කටු අරගන්නා බව මා එකලද දැන උනිමි. ඒ අල්ලපු ගෙදර වූ රෝසි නමැති බලු පැටවා වෙනුවෙනි. ඔබගේ ඒ කාරුණික බව එයින් පවා මා අත්දුටුවෙමි. විටෙක බලුපැටවා වෙනුවෙන්ම මස් කටු පිස ඔබ දුන් හැටි මා මතකයේ ඇත. බත් සමඟ හොඳින් අනා සතෙකුට පවා ඔබ කෑන දුන්නේ බොහොම පිළිවෙලින් බව මා මතකයේ ඇත.
මස් කඩයෙන් පසු ආයෙමත් මෙහා කොනට ඒම මට නන් මහන්සියක් නොව විනෝදයක්ම පමණකි. එකළ පොලේ යාම මට දිව්‍යලෝකයට ගියා හා සමාන මිහිරි අත්දැකීමක් වූ බව මට මතකය. ඩේවිඩ් එකෙන් මා ආසා කරන පරිප්පු කඩල හා ඔබත් ආසා කරන බූංදිද රැගෙන පාර පැන එහා පැත්තේ ශාන්ත මැතිව් පාසලට ටිකක් මෙහායින් වූ කෙසෙල් කඩයට අපි යන දවස් අදටත් මට වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරමේ සතුට දනවන මතකයන් ය. ඔබ මා රැගෙන යන එකම ගමනක් වුව එකළ මට විශ්ව විද්‍යාලයක් වෙන්නට ඇත. 

සුපිරි වෙළෙඳසැලක තල්ලු කරන් යන කරත්තයක ඉන්දවූ කුඩා දරුවෙකුට වඩා මා කොයිතරම් වාසනාවන්තදැයි අදටත් සිතෙන්නේ මා ඒ අත්දැකීම් ඇසුරේ කොයිතරම් විචිත්‍රවත් වූ ළමා කාලයක් ගෙවුවා දැයි සිහිපත් වීමෙනි.
"අපි ශෝට් කට් එකෙන් යමු" කියා ආයෙමත් මෙහා කොනට විත් ඒ අසල වංගුවේ වූ සරුවත් කඩෙන් සව් සව් ඇට දැමූවෙන් උඩ පැන පැන නටන රසම රස සරුවත් බී ආයෙමත් නිවසට නොනැසුනු සතුටින් මා  එන්නේ මඟ දිගට අතොරක් නැති මාගෙ ප්‍රශ්න වලට වෙහෙසක් නොපෙන්වා උත්තර බඳින ඔබේ කරුණාවන්ත බව නිසාවෙනි. ආයූර්වේදය පහු කරත්ම එන බෙහෙත් සුවඳ විඳින්නට ආස කළ නිසා ඉස්කෝලේ පාරට නොහැරී ඔබ ආයූර්වේද පාරේ ගමන් කරන්නේ මා මුවින් නොඉල්ලාම වුවත් මාගෙ සතුට රැඳී ඇති තැන් ඔබ දන්නා නිසා විය යුතුය.
මේ යටකී විස්තර ඔබේත් මගේත් එකම එක ගමනක පවා අල්පමාත්‍රයක්ම පමණකි. තාරාවො බලන්නට, හරකුන් එළුවන් බලන්නට, ඔංචිලි පිට්ටනියට එක්ක ගිය ගමන් අතර වූ රස කතා ලියන්නට මා පසුබහින්නේත් කෙළවරක් දැකිය නොහැකි නිසාමය. මේ සියලු මිහිරි මතක අවදි කරන ඔබේ උපැස් යුවල හා මට තරමක තරහක් ද විටෙක නැතුවාම නොවේ.. ඒ ක්‍රමයෙන් ඔබ වියපත් වූ බවට එය එක සාක්ෂියක් වූ හෙයිනි.
පසු කාලයේ හාන්සිපුටුවට වී ඔබ බයිබලය කියවූ හැන්දෑවන් වල ඔබට උපකාර වූ උපැස් යුවල මේය. චූටිතරු පත්තරේ සියල්ල සම්පුර්ණ කර වැඩ පෙන්වීමට ඔබට පත්තරේ දෝතින්ම දික් කල පොඩි බැබුනාගෙ වැඩ බැලීමට උපැස්‍ යුවල ඔබට ඕනෑ විය. පුස්තකාලයෙන් ගෙනා ලේඩි බර්ඩ් සළකුණු සහිත ඉංග්‍රීසි පොත් වල කතා කියා දීමට උපකාරි වූ උපැස්‍ යුවල මෙය උනත් ඔබේ අලෝකයේ ඇස් තරමක් වියපත් බවට සිහිපත් කළේද ඒ උපැස් යුවලමය. වයසට ගියත් පිරිසිඳුවට පිළිවෙලට ඉන්නට ආස කළ ඔබ හිස කළු කළ හෙනා නිසාත් නිතොර සිනාමුසු මුහුණින් විනෝදයෙන් ගයමින් විසිළු කරමින් සිටින නිසාත් ඔබ ඒ තරම් වයස නැති බව සිතන්නට මගේ සිත ආස කළත් ඒ ආසාවට බාධා ඇති කල උපැස්‍ යුවල මේය. සමහරක්විටෙක මා හට මඳ අමනාපයක් ඇත්තේ ඒ උපැස් යුවල නිසා ඔබ වියපත් වෙන බව තදින් දැනුනු නිස විය යුතුය. ඔබ වයසට යනවාට මා කොයිතරම් අකමැති වූවත් ඔබ ක්‍රමයෙන් වියපත් වූ බව සිහිකරවන උපැස් යුවල මේය. නමුදු මා එය පරිස්සම් කරමි. ඒ ඔබේ සුවඳ කැවූ මා සතු වටිනාම සම්පත එය බැවිනි. ඔබේ දෑස් අතර බොහෝ කල් රැඳී උන් සුමිතුරා බැවිනි.

ඒ නමුත් දැන් දැන් හැන්දෑවට මා දකින්නට අකමැති තවත් දර්ශනයකි.

හවස හයට විතර සාලයේ පුටුවකට වී උපැස් යුවලක් පැළඳගෙනම බයිබලය කියවීමට තාත්තාද පටන් ගෙන ඇත.

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment