Sunday, June 9, 2019

කියන්න පෙර සිතා බලන්න..



රූපය කියන්නෙ අප බොහෝ විට සැළකිලිමත් වෙන දෙයක්. විශේෂයෙන්ම බාහිර ස්වරූපය කියන්නෙ පුද්ගලයෙකුගෙ අනන්‍යතාවයට අදාල වල කරුණක් වගෙම ගැහැණු පිරිමි භේදයක් නැතුව අප ඒ ගැන උනන්දුවෙනව වගෙම අප බොහෝ විට දකින්නට කැමති වෙන්නෙත් ඇසට ප්‍රියමනාප දේවල්.

කියවන ඔබත් ලියන මමත් අපි බොහෝවිට කැමති ධනාත්මක වචන අහන්න, යම් විශේෂ ඇගයීමක් ලබන්න, උදෑසන මුණගැහෙන කෙනෙක් ඔබට "ඔබ අද හරිම ලස්සනයි" කියා පැවසූවොත් ඒ දිනය පුරා ඔබ ඉන්නෙ බොහොම ප්‍රබෝධයෙන්. නමුත් අපි කෙනෙකුගෙන් ඇගයීමක් ලැබීමට විනා පෙරලා කෙනෙක් අගයන්න තරමක් මැලියි.
ඒ වගෙම නිතරම අනික් පුද්ගලයෙකුට අපහසුතාවයක් ඇති වෙන අන්දමේ වචන අපගේ මුවින් පිටකරන්න දෙපාරක් නොසිතන බහුතර සමාජයක සැබෑ ලෙස ඇගයීමට පාත්‍ර විය යුතු යමක් දුටුවොතින් ඒ සඳහා අව්‍යාජ ප්‍රකාශනයක් කරන්නේ බොහොම කුඩා පිරිසක්.

ඒ වගෙම අද කාලයේ මම දකින දෙයක් තමයි මිනිස්සු ගොඩක් වෙලාවට සැබෑව ප්‍රතික්ෂේප කිරීම. අපි දකින යථාර්ථයට වඩා අපි දකින්න කැමති මායාව පස්සෙ යන්න අපටවත් නොදැනිවම මේ සමාජ මාධ්‍ය හරහා යම්කිසි පෙළඹීමක් ඇතිවෙලා තියෙනව. ලියන මාද ඇතුළත්ව කියවන ඔබත් සචේතනිකව වේවා අචේතනිකව වේවා ඒ පෙළඹීමට ජීවිතේ වරක් හෝ යටපත් වුණු අය බව නිසැකයි.
මෙහිදි රූපය කියන කාරණාව ගත්තම බොහෝ විට ස්ත්‍රී පාර්ශවය සාපේක්ෂව වැඩිපුර ඒ ගැන උනන්දු තරමටම සංවේදි. ඒ සංවේදිබව නිසාම බොහෝ විට කඩාවැටුණු තරුණියන් , ගැහැණුන් අප අතර ඕනෑතරම්. තමන්ට උපතින්ම හිමිවූ සමේ පැහැය , මුහුණුවර, රූපකාරය නිසා පිරිසක් සතුටු වෙනකොට තව පිරිසක් අසතුටු වෙන තත්වයක බියුටි කැම්, යූ කැම් ආදී ඇප් භාවිතයන් තාක්ෂණයත් එක්කම සමාජයට එකතු වෙනව. ඒ ඇප් භාවිතය නිසා පැහැය තරමක් තද පැහැති යුවතියන්ට පැහැපත් තමන් බලාපොරොත්තු වෙන පැහැයත් , පැහැපත් වූවත් කුරුලෑ , ලප කැළැල් නිසා අපහසුතා වින්ද යුවතියන්ට පැහැදිලි සමක් සහිත මුහුණකුත් ආදි නොයෙක් නොයෙක් ආදර්ශක රාශියක් හිමිවෙනව.

මෙතෙක් කල් ඔවුන්ගෙ රූපයන්ට  අපහසුතා ඇති වෙන ප්‍රතිචාර දැක්වූ අයගෙන් පිරිසක් "Wow" " පට්ට" මාදිලියේ ප්‍රතිචාරයන් දක්වන කොට ඉනුත් තවත් පිරිසක් ඉන්නව තවදුරටත් හෙළා දකිමින් "බියුටි කැම් නිසා හොඳයි, අපො පිටි ගෑව වගේ, ගෝරි ගාලද සුදු උනේ" වගේ සමච්චල් සහගත වදන් භාවිතා කරමින් රිදවන. 

මේකප් සහිත පින්තූරයකට "අපෝ මෙයා පිටි නාලා වගේ " වැනි ප්‍රතිචාර දක්වන ඇතෑම් අය ඒ පුද්ගලයාම මේකප් හෝ බියුටි ඇප් එකකින් තොරව සාමාන්‍ය ඉන්නා පරිදි පින්තූරයක් දැමූවත් ප්‍රතිචාර දක්වන්නෙ "  අපෝ දැන් නන් හොඳටම වයසට ගිහින් වගේ, අර බලන්න මූණෙ රැලි, ඇස් වල ගැහිලා , වැනි සෘණාත්මක අදහස් වලින්. අදාල පින්තූරයේ පෙනී සිටින්නා අවිවාහක නම් ප්‍රතිචාරය ඊටත් එහා ගිය දිගුවක් වෙන අවස්තා ඕනෑතරම් , "දැන් නන් කල වයස හරි වගේ පෙළවහක් කරගත්තා නන් හරි, වැනි විවිධ වූ ප්‍රතිචාර වලින් යුක්තයි.

මා දකින්නේ ඔවුන් කිසිම ආකාරයකින් මනුෂ්‍යයෙකුට නොරිදවා ඉන්න බැරි කොට්ඨාසයක් ලෙසින්.

ඉහත මා කී ක්‍රියාකලාපයන් සියල්ලෙන්ම සිදුවන්නෙ අපට අපවම අහිමිවීමක් වගෙම වෙනසකට ඇත්තේ දෙවනුව කී පිරිස නිසා ඒ අහිමිවීම තරමක් වේදනාකාරි වීම පමණයි.
මනුෂ්‍යයෙක් ඉන්නා හැටියට ඔවුන් භාරගැනීමට අප සූදානම් වූවා නම් , මවාගත්, බලෙන් ආරූඨ කරත් රූපකායට වඩා කෙනෙකුගේ සැබෑවට ආදරේ කිරීමට මොහොතක් හෝ සිතුවා නම් තවදුරටත් හිත් රිදීම් නොතිබේවි.

මේ ඇප් භාවිතයන්, බාහිර ආලේපන වැනි නොයෙකුත් දෑ භාවිතයට මිනිසුන් පෙළඹෙන්නෙ තමන්ට තමන් ගේ රූපය ප්‍රමාණවත් නොවුනු තැනක, නැතිනම් වැඩිදුර ආලෝකයක බලාපොරොත්තු සහිතව.
ඉහත සියල්ලටම මිනිසුන් පෙළඹීමට මූලික කාරණාව යහපත් ඇගයීමක් ලැබීමට ඇති කැමැත්ත.

ඒ ඇප් භාවිතයේ වත් ඇගයීමක් ලැබීමට ඇති කැමැත්තේ වත් කිසිදු වරදක් නෑ. වරද තියෙන්නෙ කොතනද. අප අපෙන් බාහිර අයෙකුට ප්‍රතිචාර දක්වන ආකාරයේ නොවේදැයි මා ඔබෙන් විමසනව.
උපතින් තද පැහැයෙන් යුතු යුවතියක් දිගින් දිගටම සුදු වෙන්නට කල්පනා කරන්නෙ අප බොහෝ පිරිසක් විසින් කාලෙක සිට එල්ල කරන ප්‍රතිචාර වල පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස නොවේද,  උසින් තරමක් අඩු තරුණයෙක් තමාට වඩා උසින් වැඩි අයෙකු අසල සිටගෙන පින්තූරයකට පෙනී සිටින්න දෙපාරක් සිතන්නේ ඇයි කියා ඔබ වරක් සිතුවාද.
අප විසින් සමාජයේ එක එක පුද්ගලයාට අපට ඕනෑ හැටියට ලේබලයන් ගැසීම මා දකින තවත් දුර්වලතාවයක්. වෛද්‍යවරයෙක් නම් මේ ආකාරයෙන් විය යුතුයි. ගුරුවරියක් නම් මේ ආකාරයෙන් විය යුතුයි ආදි විවිධාකාර ලෙස. රැවුල් විලාසිතාවත් අපිළිවෙල කොණ්ඩයත් නිසා අයෙක් ගංජා බොන රස්තියාදු කැම්පස්කාරයෙක් ලෙසත් මනාව කොටට කැපූ කොණ්ඩයත් ඇසේ දෘෂ්ටියේ යම් ආබාධයක් නිසා පළඳින උපැස් යුවලත් නිසා යම් පිළිගත් වෘත්තිකයෙකු ලෙසත් අප විසින් මිනිස්සුන්ට ලේබල් ගසනව. චෙක් ෂර්ටයක බොත්තම් අපිළිවෙලට දැමූ තරමක් අවුල් හිස කෙසින් යුත් පුද්ගලයෙක් හා බොහොම වැදගත් යැයි සම්මත ආකාරයෙන් හැඳ පැළැඳි පුද්ගලයෙක් සසඳමින් ඔවුන්ගේ සැබෑ අභ්‍යන්තරය මේ මේ ආකාරයෙන් මෙසේ විය හැකි යැයි පවා අනුමාන කරන අවස්‍තා පවා මේ සමාජයේ සුලබයි.

අප යම් කෙනෙකුගෙන් ඇගයීමක් ලබන්නට කැමති සේම අපෙන් ද යම් ඇගයීමකින් මනුෂ්‍යයෙක් සතුටු වනවා නම් වියදමකින් තොරව පිරිනැමිය හැකි එවන් වූ ආදරයක් දෙන්නට අප ප්‍රමාද වන්නෙ ඇයි.  අඩුපාඩුවක් දුටුතැනක එය කීමට මැලි නොවන අප ඇගයීමක් කළ හැකි යමක් දුටු විට නුදුටු සේ මඟහරින්නේ ඇයි.  ඔබ ඔබගේ හදවතටම තට්ටු කර බලන්න. ඔබේ එක වචනයකින් තව කෙනෙකුට දිරිමත් කිරීමක් එකතු කරනවාද තවදුරටත් අධෛර්යයට පත් කරනවාද කියා.

වරද තියෙන්නේ ඇප් භාවිතයේවත්  ආලේපන වලත් පින්තූර වල වත් නොවෙයි. වරද තියෙන්නෙ යමක් ඔබ දකින ආකාරයේ සහ ඔබ එය භාරගන්නා ආකාරයේ.
රූපය, ආගම, ජාතිය කුලය වැනි කෙනෙකුගේ අතිශය සංවේදි කාරනා සමච්චලයට ලක් නොකර ඔවුන් ඔවුන් හැටියටම භාරගැනීමට හැකි නම් හිත් රිදීම් අවම වෙන මේ ලෝකය වඩාත් ප්‍රියමනාප තැනක් නොවේදැයි මා ඔබට යෝජනා කරනව.
ඔබේ රූපයෙන් ඔබ කොයි ආකාරයෙන් හිටියත් මනුෂ්‍යයෙක් හැටියට ඔබට මා ආදරෙයි කියා කියන්නට හැකි දවසක ව්‍යාජ හිනාවකට වඩා අව්‍යාජ සතුටු කඳුළු වල වටිනාකම ඔබට දැනේවි.
ප්‍රියමනාප දේ දකින්න නම් ප්‍රියමනාප දේ කරන්න කටයුතු කිරීම අප සතු කාර්‍යයක්. ❤️

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment