Saturday, June 29, 2019

ඉර පුපුරන දවසක් ආවත් ආදරෙයි ශාරදා !!!


ජීවිතේ එක්ක සටන් කරන අසාධ්‍ය රෝගියෙක් රැගෙන යන ගිලන් රථයක් වගේ හදිසියෙ කුටියට කඩාවැදී හමාගෙන යන සුළඟකට ඉඩ දෙන්න ජනෙල් තිර එහා මෙහා වෙවී ඉඩදුන්නා.

සුළඟට මෙච්චර හදිසි යන එනගමන් කවුළු වලින් එක්කාසු කරගන්න සුසුම් වලටත් දැන් හොඳටෝම අසාධ්‍ය ඇති.
මට එහෙම හිතුණා.

එහා මෙහා වෙන තිර අතරින් පෙරීගෙන හඳ එළිය කාමරේට වැටිලා උපදින මන්දාලෝකය ඇහැට හරි සෞම්‍යයි. ඒ පිරිසිඳු එළිය යහනටත් ඉන් අනතුරුව හදවතටත් ගලන බව මට දැනෙනව.

හඳ එළිය ගලනවා කියන්නෙම කොහේ හරි ඉරක් පායලා එළිය දෙනවා කියන එක!!

ජීවිතේ කියන්නෙත් අන්ධකාර අහසක් දැන්. සඳ කියන්නෙ මල ලෝකයක්. ඒ වරදත් මගෙයි. පිළිගන්නම්!! සඳ සදිසි මගෙ ආදරේ අප්‍රාණික වෙච්ච රැයකත් ඔයා ඈතින් ඉඳන් එළිය දෙනවා ශාරදා.

ඔයා කොහේ හරි ඉඳන් එළිය දෙන නිසයි අඳුර ඉරාගෙන සෞම්‍යව හඳ එළිය මේ තරම් පිවිතුරුව ගලන්නෙ. ඒ බව මම නොදන්නවා නෙවී.

සඳ එළිය සිසිල්. කොහේ හරි ගිනිගන්න දහවලක ඔයා දැවෙමින් ඉන්නවා ඇති.
ඒක සිතීම පවා වේදනාවක් උනත් නොසිතා ඉන්න හැමවෙලාවකම මම උත්සහ කරනව.

සඳ සිහිලෙ තරමටම ඉර ගිනිගන්නවා ඇති. හිතට අසහනයක් දැනෙනව. මම සුරුට්ටුවක් පත්තු කරනවා. ඒත් සුරුට්ටුවක් දැල්විලා අළුවෙලා යන ගින්න ගැන වත් තේරුම්ගන්න බැරි මම කොහොමද ශාරදා ඔයාගෙ ගින්න නිවන්නෙ.

ඔයා දැවි දැවී පායන දහවල නිසයි මගේ මේ රැය මේ තරම් සෞම්‍යව සිහිල්ව ගෙවී යන්නෙ. ආදරේ මහ පුදුමාකාරය අනන්තයි කියලා නිහඬ එළියකින් පවා ඔයා කියාදෙන හැටි.. ඒක වේදනාත්මක චමත්කාරයක් වගෙම ඔයාගෙ ආදරේ උත්තරීතර උනු තැන.

ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් වග මන් නිතරම වචනයෙන් කීවට ක්‍රියාවෙන් ඔප්පු කළේ ඔයා. හිත දන්නව ඒ ඔයාගේ ආදරේ අමාරුම පරිච්ඡේදය. ඒක දැන දැන කියවන එක පිහිතුඩකින් ගැඹුරු වණයක් හාරනව වගෙයි ශාරදා. ඒ තරම් කියවගන්න අමාරුයි. ඒත් මම අමාරුවෙන් හරි කියවනවා ඒ පරිච්චේදය ඔයා ලීවෙ මම වෙනුවෙන් බව දන්න නිසා. ඒක කියවලා ඔයාට ස්තුතියි කීවොතින් ඔයා කළ අනන්ත කැපකිරීම් වලට මදිපුංචිකමක් කළා කියන හැඟීම ඇති වෙන නිසා මිසක මන් කරබාගෙන ඉන්නේ ඒ මොනවත් නොදැනම නෙවී.

නින්දත් නොනින්දත් අතරේ අඩුනැතිව නොසන්සුන්කම තියෙන වෙලාවක් කියන්නෙම බිම් බෝම්බයක් උඩින් කකුලක් තියාගෙන ඉන්නව වගෙ මොහොතක්. හැඟීම් කියන වයර් පැටලුනු බිම්බෝම්බය උඩින් කකුල තියාගෙන ඉන්න අසීරුම වෙලාවක ඔයාගෙ මතකය කියන්නෙ මාව ආපස්සට අදින පියවරක්. පියවරක් කියන්නෙ කකුල එතැනින් ඉවත්වීමක්.

ඔව් අවසානය පිපිරීමක්.

මට දැන් ඕනෙත් ඒකම තමා.

හඳ එළියක් මාව ගෙනිච්ච දුරක්. සුරුට්ටු කොටය බිමට දාලා පාගනවද එළියට විසික්කරලා ජනේලෙ වහනවද කියල වත් තීරණයක් ගන්න බැරි තරම් හිත මේ වෙලාවෙ නොසන්සුන්. මට කළුවරේ ඉන්න බෑ ශාරදා. ඒ බව ඔයා විතර වෙන කවුද දන්නෙ. හඳට පණ දීලා දැවෙන ඉර වීම තෝරගන්න තරම් ආදරයක් ඔයාගෙ හිතේ මේ අන්ධකාරලෝකය ගැන ඇති උනේ කොහොමද? ඒ ගැන හිතල හිතලම මාත් මේ සුරුට්ටුව වගේ ටික ටික අළු වෙලා යාවි.

ඉර පුපුරන දවසක් ආවත්;
ආදරෙයි ශාරදා !!

ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment