Saturday, June 29, 2019
ප්‍රේමයේ සන්ධ්‍යාවක..
කවුළුපියන්පත් වසා දැමූවෙන් තිරයෙන් පෙරී එන අඳුර පාරිශුද්ධය. පහනේ දුර්වල ලා කහ පැහැයත් නිහඬබවත් කුටියට ප්‍රමාණවත් බැව් සිතෙන කදිම සන්ධ්‍යාවකි. සෞම්‍ය වටපිටාවත් ගතට සුවදායි සිහිලසකුත් පමණක් ඉතිරිකර රාත්‍රිය සඳ වෙතට පවරා හිරු බැස යන මෙවන් වූ සන්ධ්‍යාවනට මා අතිශයින් ප්‍රිය ය.
සිතුවිල්ලේ විශ්වය පුරාම සක්මන් කිරීම මොහොතකට නවතා භාවනාවක සමවැදුනා මෙන් සන්සුන් මනසින් නිහඬබවත් සාමයත් මොනතරම් අස්වැසිල්ලක් දැයි හඟිමින් හිඳිමි.
එය සාම්බ්‍රානි සුවඳින් ළය ම සනහන කෝවිලක හෙමින් පියවර තබන දෙපතුලකට දැනෙන සීතල තරම් වූ සනීපවත් බව ද සිනිඳු වැලි අතුරාලූ මළුවේ පිරිත් සජ්ජායනාවක් අසමින් වියළි බෝ කොළ අමදින විට දැනෙන සැනසුම ද එසේත් නැතිනම් දේව ප්‍රතිමාවක් පාමුල තැබූ රෝස කුසුමකින් නැහැපුඩුව තෙමාලන මල් සුවඳ තරමින් වූ නිවීමක්දැයි නොදනිමි. නමුදු එක් දෙයක් පමණක් දනිමි. ඒ මේ හැඟීමට මා අතිශයින් ප්‍රිය වග ය.
ගෙවී යන සැන්දෑවන් ගොඩක් අතුරින් මෙය දුර්ලභ සන්ධ්‍යාවකි. ඔහේ ගෙවී යන කලබල සැන්දෑවකට වඩා මෙවන් නිසසල සන්ධ්‍යාවක යම් බර තැබීමක් ඇත. එතරම් ම ගැඹුරු ය. එපමණින් ම මිහිරි ය.
රාත්‍රිය වෙනුවෙන් ම අවදි වූ නිශාචරයන්ගේ හඳුනා නොගත් ශබ්දයන් ඇරුණුකොට සමීපව ඇසෙන්නේ මඳ සෙලවීමකටත් මිහිරිවට සුළං ගීතිකා ගයන්නා වූ සුළං සීනු හඬ පමණි. ඒ හැර වුවමනාවෙන් කන් දුන්නොත් හද ගැස්ම පවා ඇසෙන තරමේ අපූර්වතම නිහැඬියාවකි.
මේ මා අතිශයින් ප්‍රිය කරන මොහොතය. මගෙ ලොව ය. මට අයත් සීමාව ය. ඉතා කුඩාවටත් ඉතා මිහිරිවටත් මා තනාගත් මගෙ ලොව ය. ප්‍රේමයත් ජීවිතයත් පිරික්සන මගෙ ම වූ සන්ධ්‍යාව ය. හුදෙකලාව ය.
ඉතා පරණ බව හේතුකොට මනා ලෙස මැදී ගිය තුනී සිනිඳු ඇඳ ඇතිරිල්ල මත මම ප්‍රවේශම් දෑතින් පිරිමැදුමක් තබමි.
බොහෝ ඈත මතකයන් සීරුවෙන් අත්ල කරා ගලා එන බව දැනෙමින් තිබේ. එසේ ගලා ආ සොඳුරු හසරැල්ලක් සරැළි නඟමින් අත්ලෙහි හැපී බිඳී විසීරි යනු දැනුනෙන් මා අත් මිටිකොට ගතිමි. නමුදු ඒවා මා අත රැඳුනේ නැත. මගේ අතැඟිලි අතරින් විසිරී පැන යන හසරැලි බිඳිති මට ද සිනාසෙන්නට ඇත. මගෙ බොළඳකමට මම ද සිනාසීමි.
"යන්නම් ගතින් අරගෙන හිතින්"
ඔබ අවසානයේ ලියා එවූ විද්‍යුත් තැපැල් පණිවිඩයක අකුරු දෑස මත ලියැවෙන්නට ගියේ තත්පරයෙනුත් ඉතා කුඩා මොහොතකි.
"බලා හිඳිමි අල්ලාගැනීමටත් අතහැරී.."
පසුව ආ තව පණිවුඩයක තිබුණේ ඔබේ හදවතේ එවකට පැවති සැබෑ උවමනාව ය.
ආදරණීය රුවක් සැනෙකින් ඇදී මැකී යන්නට විණි. දෑස තෙත්වුනාදැයි නොදනිමි. නමුදු ඔබේ පණිවුඩ පෙනුනේ යාන්තම් බොඳවී වග හඟිමි.
දැනුදු මෙන්ම එවකටත් ඔබේ කෙහෙ කැරැල්ලක පවා තිබූ මායාව කුමක්දැයි වටහාගන්නට මට ප්‍රමාණවත් කරුණු තිබුණේ නැත. රළු කටහඬෙක පවා මෘදු හදවතෙක සරය ඇසුනෙන් මා ඔබට තදින් බැඳුනා වන්නට ඇත.
නොනැවතී අඳුර කුටියට ගලා එන්නා සේ ඔබ කෙරෙහි වූ ප්‍රේමය මගේ රුධිරයෙහි දියව ගත පුරා ගලා යනු සෙයකි. ඒ මාගේ හැඟීම ය. මගේ කෙසඟ අතෙහි වෙලී තිබුණු ඔබේ අතක වූ උණුසුම සියුම් නහරක් පවා හොඳින් හඳුනන වග දනිමි. ඒ මාගේ විශ්වාසය ය.
ඔබේ වූ හෘදයාංගම බවටත් ළයම පොඟවා තෙමාලිය හැකි සෙනේවන්තකමටත් දැනුදු ප්‍රේම කරමි. ඒ කාලයක් පුරා සැනසෙන්නටත් පසුව ආ දුෂ්කර සමයෙක වැනසෙන්නටත් මට හේතු වූ ප්‍රේමය ය. මා අතිශයින්ම බොළඳ තැනැත්තියක බවට පත් කළ පසුකලෙක ජීවිතාබෝධය ලත් ප්‍රේමය ය. කාලයක් විඩාවට පත් කළ ද නොනැවතී දරාගන්නට හේතු වූ ප්‍රේමය ය.
ඉතින් ඔබට නොනවත්වා ප්‍රේම නොකර සිටීමට මට හේතුවක් නැත.
හුදෙකලාව විඳවන්නට බොහෝ "මතකයන්" හේතුවන බව සත්‍යයකි. නමුදු හුදෙකලාව විඳින්නට නම් ප්‍රේමය අවැසි ය. ප්‍රේමය විඳවීම සඳහා නොවන බව දැනුදු සිතමි. එය පවතින්නේ විඳීමට පමණකි. ප්‍රේමයක මතකයක් දරන්නට අපහසු නමුත් ප්‍රේමය පිරිනැමීමක් දරාගත හැකිය. ප්‍රේමය ලැබීමට වඩා පහසු ප්‍රේමය පිරිනැමීම බව තේරුම්ගැනීමට කාලයක් අවැසි නමුදු ඒ කාලය අවසන ප්‍රේමයේ ඉමිහිරිම එලය මුණගැසෙන බව දැනගතිමි. ඒ නම් දරාගැනීම ය. දරාගැනීම උදෙසා බලාසිටීමේ කාලය තරමක් අසීරු ය. පසුකළහොත් ඉනික්බිති ජීවිතේ සීරුවට ය.
එකට එක්ව හෝ තනිව ප්‍රේමයක් පවත්වාගෙන යාම සැබවින්ම පහසුවකි. එය නිම කලේ නම් ජීවිතය අපහසු තැනක් වන්නට තිබිණි. ඉතින් ඔබට ප්‍රේම නොකර සිටීමට මට හේතුවක් නැත!
දයාබර රවීන්ද්‍ර,
මේ මගේ ප්‍රේමයේ සන්ධ්‍යාව ය
මම ඔබට අතිශයින් ප්‍රේම කරමි!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
Labels:
හේමන්තයෙන් දවසක් 🌹❤️
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment