Thursday, June 6, 2019
ඇයට පමණක් දෙවැනි වීම...
ඔබෙන් වෙන්වී මා එදා සමුගෙන ආවේ කෙලෙස හෝ මේ සියලු බැඳීම් ඉවත ලා තනිවම ජීවිතයට මුහුණ දෙමියි යන දැඩි අරමුණ පෙරදැරිවයි.. අවංකව ම මා හට එය කිරීමට උවමනාවක් තිබුණු බවත් කිව යුතුමය..
එනමුදු හෝරාවක කාලයක් වත් ඔබෙන් දුරස්ව සිටීමට මට නොහැකිවිණි..දින ගණන් ඔබ හා කතා නොකර සිටීමේදී අමනාපව සිටීමේදි ඇය මට වඩා ඉදිරියෙනි..එහිදී ඇය හමුවේ මම පරාජිත වෙමි.. ඇය එලෙසින් සිටින්නේ වත් කෙලෙසකදැයි සිතමින් මම ලතැවෙමි.. ඇය දැඩි සිතැත්තියක යැයි නොකියමි.. නමුදු මෙහිලා ඇයට එසේ සිදුකිරීමට හැකියාවක් තිබුණු බව ද මට අමතක කළ නොහැකිය..
"අඩුතරමින් ඇයට එලෙසින් සිටීමට වත් හැකිය..එනිසාම ඔබ ඇය පසුපස ඇදේ.. මා හට එලෙස කල නොහැකිය.. එනිසා මම ඔබ පසුපස ඇදෙමි.. "
මා හමුවේ ඇගේද ඈ හමුවේ මගේද මානය නිරන්තරයෙන් ගැටුමකට ලක් වූ බව සැබෑ ය.. එයට මැදි වී ඔබ බොහෝ සේ පීඩාවන්ට ලක් වූ බව සැබෑ ය.. නමුදු අවසන ඔබ විසින් ඔබේම කොටසක් යැයි කිවූ මා ඔබ දෙදෙන'තර මා තුන්වැනියෙක් පමණක් බව හැඟවූ දා මා මුළුමනින්ම කඩාවැටිණි.. මාගේ මානයට සිදූ වූ දෙයක් වත් සොයාගත නොහැකිව අතරමං වීමී..
වරක් ඔබ කියූවක් සියුම්ව මා රිදවමින් නිතොර මගේ හදවත පෙලයි.. ආදරයේදි මා ඇයට පමණක් දෙවැනි බව ඔබ දෙවරක් වත් නොසිතා කීවේ ඔබට අප දෙදෙනකු සිටියත් මට සිටින්නේ ඔබම පමණක් බව වත් සිහිපත් නොකරමිනි.. දෙදෙනාටම එකසේ ආදරය කරන බවක් කියූ මුවින්ම අවසානය වන විට මා සිටින්නේ කොතැනක ද කියා ඔබෙන්ම විමසා දැනගතිමි.. එදින කෝපයක් නොනැගිණි.. මා ගැනම උපන් ආත්මානුකම්පාව නිසා බිඳීමකට පමණක් ලක්වෙමින් සිටියෙමි. ඒ මා මුළු හදවතින් ඔබ පෙර කියූවක් විශ්වාස කළ බැවිනි..
නමුදු මා යමක් කිව යුතුමය.. ඔබ කී ලෙසින් මා ඇයට පමණක් දෙවැනි වන්නෙමි.. නමුදු ඇයට නොදෙවෙනි ආදරයක් මම ද දුනිමි..
ඒ ආදරය තවමත් ඔබේ හදවතේ කොහේ හෝ අඳුරු කොනක ඇති බව මම සිතමි..
මා ඇයටත් ඇය මා හටත් සම කළ නොහැකි බැව් කී ඔබ,ඇගේත් මගේත් ආදරය අපටම පමණක් සුවිශේෂී යැයි කී ඔබ,අවසානයේ දී ඇයට පමණක් මා දෙවැනි වීමට සොයාගත් නිර්ණායකය කුමක්දැයි දැනගැනීමට මසිත ට කුහුලක් තිබේ.. එය දැනගත් දිනෙක මා හට හිත හදාගැනීමට කාරණාවක් වත් ලැබෙනු ඇත..
ඉරණමෙන් මා හට වුණු අතපසුවීම ඇයට පසුව මා හට ඔබ මුණගැසීමට සිදුවීමයි.. එය දෛවයේ කුරිරු මුණගැස්වීමක් බැවි මින් පෙරත් මා ඔබට කියා ඇත.. එහිදීද මා දෙවැනි වීමී..
එහිදී ඇයට දෙවැනි වූ පමණින්ම මේ සා දඬුවමක් මට ඉසිලිය හැකිද.. මා ද ඇය වැනිම ගැහැණියකි.. ඇට ලේ මස් දැරූ කයකි.. ඔබේ උණුසුම මගේ සිත ද සොයයි.. ගැහැණියක වීම මගේ වරදක් ද.. මගේ ගැහැණු බව මා හට මතක් කර දුන්, මගේ ස්ත්රීත්වය අවදි කල ඔබ වෙතට පමණක් සිත පිදීම මා කළ වරදක්ද..
මා නොදැන සිටි ආදරය මා මින් පෙර අත් නොවිදි උණුසුම මා හට අකුරු කළේ නුඹය.. ඒ ගැන මා සැමදා ඔබට කෘතගුණ දක්වමි..මාගේ හැඟුම් මා හටම කියා දුන් නුඹේ වෙන්වීම ගැහැණියක ලෙස කෙලෙසින් දරාගත යුතුදැයි තවම නොදනිමි..
මා මෙහි ලියන කිසිවක් ශෝකයෙන් මිසක ද්වේශයෙන් නොලියමි.. ඒ ඔබට ආදරය කොට මා ලැබූ වටිනාම ගුණයයි.. අපේක්ෂාවනට වඩා උපේක්ෂාවන් උතුම් බව මේ ආදරයේදි උගතිමි.. ඔබේ ඒ උතුම් වූ ආදරයට නම් මා සදා ණයගැති වෙමි.. ජීවිතයේ බොහෝ දේ දෙස මා දැන් බලන්නේ හෝ බැලීමට උත්සහ කරන්නේ උපේක්ෂාසහගත සිතිනි...
දැන් ඇයට දෙවෙනි වුවද පරාජය වුවද මට සොවක් නැත.. මන්ද ආදරයේ සත්යවාදි බවෙන් මා පැරදී නැත.. තවමත් මාගේ මානයෙන් කොටසක් ඉතිරි බව මෙයින් ඔබට පසක් වනු ඇත. ඉහත කී ලෙසින් මා නොදත් කාරණය එනම් ඔබේ නිර්ණායකය පමණක් දැනගැනීමේ කුහුල හැරුණු කොට අන් කිසිවක් නොවිසමි..
හැකි නම් එය කියා දී යන්න ඔබේ හේමන්තයෙන් එකමෙක දවසක් මට දෙන්න..
-රොෂෙල් ෆර්නැන්ඩු-
Labels:
හේමන්තයෙන් දවසක් 🌹❤️
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment