අපි හිතාගෙන හිටියාටත් වඩා දැන් දැනගෙන ඉන්නවාටත් වඩා "ප්‍රේමයක මතකය" හරි ගැඹුරුයි රවීන්ද්‍ර.
ඒක තුවාලයක් !! කොයිතරම් රිදුනත් ආයෙ ආයෙ පාරවන්න ආස හිතෙන සැරව ගලන තුවාලයක්.. ඉතින් තව වතාවක් ඒක පාරවගන්න ඔයාට මේ ලියමන කියවන්නම වෙනව.
නෑ ! මම මේ තුවාලෙන් විඳවන්න ලෑස්ති උනා නෙවෙයි. මේ මම තුවාලය පවා විඳිමින් ඉන්න සංක්‍රාන්ති කාලයක්..
ඔයාට පාරවගන්න නුවමනා උනත් පරණ සැරව ටික අහක් කරලා තුවාලෙ අළුත් කරගන්න මට මේ මොහොතෙ උවමනයි.ඒක හරියට නිදි අතරේ අපිටවත් නොදැන හිතේ තියෙන දේවල් හීනෙකින් කියැවෙන සාංකාවක් වගේ!!
ජීවිතේ ඉමිහිරිම අත්දැකීම් අමිහිරිම මතක වෙන්න යන්නෙ කොයිතරම් කෙටි තත්පර ගාණක් ද.. එක තත්පරේට කියැවෙන වචන හතරක් හොඳටෝම ඇති.
"ඔයා දෙවැනි එයාට විතරයි"
කොයිතරම් ලේසිද ඒක එහෙම කියන්න ; ඔයා දන්නවා.
කොයිතරම් අමාරුද ඒක අහන් ඉන්න කියලා ඔයා දන්නවාද කියා මම දන්නෙ නෑ.
ඉතා සිනිඳු රෙද්දකින් මහලා ගොඩාක් මහන්සියෙන් හරිම ලස්සනට පබළු අල්ලපු අළුත්ම අළුත් ගවුමක් එකපාරටම කීතු කීතු වලට ඉරලා දාන විදියේ හැඟීමක් ඒක.
"මට සමාවෙන්න"
එහෙම කියලා ඔයා කඩයකින් අළුත් ගවුමක් ගෙනැත් දුන්නා. ඒත් ඒ මම ආස කරපු ගවුම නෙවෙයි. කඩයකින් ගන්න උවමනාවක් තිබුණා නම් මම මටම කියලා මේ තරම් මහන්සි වෙලා ගවුමක් මහගන්නෙ නෑ. ඒක තේරුම්ගන්න ඔයාට එදාත් අද වගේම උවමනා උනේ නෑ.
පබල්ලක් අල්ලන්න උවමනා තැනකට රේන්දයක් අල්ලලා තේරුමක් නෑ ; ඒක ඒ හැටි ලස්සන නෑ කියලා ඔයාට තේරුම් කරන්න ඇති තරම් මන් මහන්සි උනා. අන්තිමට හති වැටිලා බැරිම තැන ඉරුණු ගවුම අරගෙන හතරට පහට නවලා මම කබඩ් එකක පරිස්සමින් අඩුක් කරා. කපුරු පෙත්තක් බැරිවුනේ තිබුණෙ නැතුව මිසක් අමතක වෙලා නෙවියි. ඊට පස්සෙ තෑගි ලැබුණු කිසි ගවුමක් මට අර තරම් හිතට ඇල්ලුවේ නෑ. ඉතා කෘතවේදිව උනත් ලැබුණු හැටියේම ඒවා මම ප්‍රතික්ෂේප කලේ ඒකයි.
බලෙන්ම වාගේ ගවුමක් අන්දන්න හැදුවත් ආයේ ආයේ ඉරෙනවට බයේ මම නූල් පොටක් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ. නිරුවත වඩා පහසුයි කියලා මම තනියම තීරණය කරා. ඒත් නිරුවත තරම් වත් තීරණය පහසු උනේ නෑ. සමහර මිනිස්සු රෙදි උස්සන් එන්නෙ මහපු ගවුම් අරන් වෙළඳාමේ යන්න. මූට්ටුවක් උනත් දාන්න පුළුවන් වාර ගණනක් තියෙනවා. දිරපු රෙද්දක් උනත් පරිස්සමින් මහල දෙන ශිල්ප මන් හොඳ හැටි දන්න විත්තිය ඔයා විතර දන්නෙ වෙන කවුද. ඒත් කොයිතරම් දක්ෂ සන්නාලියෙක් උනත් ඒ රෙදි ගැන හැඟීමක් ආදරයක් නැත්තං ඒ ගවුම් වලින් ඒ හැටි කදිම නිමාවක් බලාපොරොත්තු වෙන්න බෑ.
යටිපතුල් ගෙවෙනකම් උනත් මහන්න හිතේ හයියක් තිබුණත් ඉරන ඉරන හැම වතාවෙම අඬ අඬ මැසිම පාගන්න මගෙ කකුල් කැමති උනේ නෑ. ඇරත් මගේ මැසිමේ ඉඳිකටු මොටවෙනකම් මහන්න පුරුදු වෙලා තිබුණෙ අර සිනිඳු ගවුම් විතරමයි. රළු ගොරෝසු රෙදි වලට මගෙ අල්මාරියෙ කවදත් ඉඩක් තිබුණෙ නෑ.
ඉතින් මම මැසිම පැත්තකට දාල ගොතන කට්ට අතට ගත්තා. මන් ගාව තිබ්බ ලස්සනම මතක වලින් මම උණුසුම්ම සීත කබාය මැහුව. නිරුවතින් හිටිය මට සිසිරයට කියලා තිබුණේම එච්චරයි. ඒක හරිම ප්‍රයෝජනවත් උනා. එකතු කරපු බොත්තම් වගයක් තිබිලා ඒක විකුණලා මම කපුරු පැකට් එකක් ගත්තා.
"ඒක ඉරුණත් පුස්කන්න මහපු ගවුමක් නෙවී"
විටින් විට වෙනස් වෙනස් නැවුම් පාරවල් වලින් ආයෙමත් දිගහරිමින් නවමින් දිවිහිමියෙන්ම මන් ඒ ගවුම පරිස්සම් කරා.
පාට වියැකී ගියත් සිනිඳු බව අඩුනැති ඒ ඉරුණු ගවුමම ඇඳගෙන ,ගොතාපු සීත කබායෙන් ඉරුණු තැන් වහගෙන ගිම්හානේ අමාරුම දවස් පවා ගෙව්වා. ගිම්හානෙක සීත කබායක් ගැන ඔයාට හිතාගන්නවත් පුළුවන් ද?
ඔව් ! ඒක හරි අසීරුම තෝරාගැනීමක්.
කාලෙකට පස්සෙ අද හවස ආයෙමත් මම ඒ ගවුම ඇන්දා.
No comments:
Post a Comment