Saturday, June 29, 2019
ඉර පුපුරන දවසක් ආවත් ආදරෙයි ශාරදා !!!
ජීවිතේ එක්ක සටන් කරන අසාධ්‍ය රෝගියෙක් රැගෙන යන ගිලන් රථයක් වගේ හදිසියෙ කුටියට කඩාවැදී හමාගෙන යන සුළඟකට ඉඩ දෙන්න ජනෙල් තිර එහා මෙහා වෙවී ඉඩදුන්නා.
සුළඟට මෙච්චර හදිසි යන එනගමන් කවුළු වලින් එක්කාසු කරගන්න සුසුම් වලටත් දැන් හොඳටෝම අසාධ්‍ය ඇති.
මට එහෙම හිතුණා.
එහා මෙහා වෙන තිර අතරින් පෙරීගෙන හඳ එළිය කාමරේට වැටිලා උපදින මන්දාලෝකය ඇහැට හරි සෞම්‍යයි. ඒ පිරිසිඳු එළිය යහනටත් ඉන් අනතුරුව හදවතටත් ගලන බව මට දැනෙනව.
හඳ එළිය ගලනවා කියන්නෙම කොහේ හරි ඉරක් පායලා එළිය දෙනවා කියන එක!!
ජීවිතේ කියන්නෙත් අන්ධකාර අහසක් දැන්. සඳ කියන්නෙ මල ලෝකයක්. ඒ වරදත් මගෙයි. පිළිගන්නම්!! සඳ සදිසි මගෙ ආදරේ අප්‍රාණික වෙච්ච රැයකත් ඔයා ඈතින් ඉඳන් එළිය දෙනවා ශාරදා.
ඔයා කොහේ හරි ඉඳන් එළිය දෙන නිසයි අඳුර ඉරාගෙන සෞම්‍යව හඳ එළිය මේ තරම් පිවිතුරුව ගලන්නෙ. ඒ බව මම නොදන්නවා නෙවී.
සඳ එළිය සිසිල්. කොහේ හරි ගිනිගන්න දහවලක ඔයා දැවෙමින් ඉන්නවා ඇති.
ඒක සිතීම පවා වේදනාවක් උනත් නොසිතා ඉන්න හැමවෙලාවකම මම උත්සහ කරනව.
සඳ සිහිලෙ තරමටම ඉර ගිනිගන්නවා ඇති. හිතට අසහනයක් දැනෙනව. මම සුරුට්ටුවක් පත්තු කරනවා. ඒත් සුරුට්ටුවක් දැල්විලා අළුවෙලා යන ගින්න ගැන වත් තේරුම්ගන්න බැරි මම කොහොමද ශාරදා ඔයාගෙ ගින්න නිවන්නෙ.
ඔයා දැවි දැවී පායන දහවල නිසයි මගේ මේ රැය මේ තරම් සෞම්‍යව සිහිල්ව ගෙවී යන්නෙ. ආදරේ මහ පුදුමාකාරය අනන්තයි කියලා නිහඬ එළියකින් පවා ඔයා කියාදෙන හැටි.. ඒක වේදනාත්මක චමත්කාරයක් වගෙම ඔයාගෙ ආදරේ උත්තරීතර උනු තැන.
ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් වග මන් නිතරම වචනයෙන් කීවට ක්‍රියාවෙන් ඔප්පු කළේ ඔයා. හිත දන්නව ඒ ඔයාගේ ආදරේ අමාරුම පරිච්ඡේදය. ඒක දැන දැන කියවන එක පිහිතුඩකින් ගැඹුරු වණයක් හාරනව වගෙයි ශාරදා. ඒ තරම් කියවගන්න අමාරුයි. ඒත් මම අමාරුවෙන් හරි කියවනවා ඒ පරිච්චේදය ඔයා ලීවෙ මම වෙනුවෙන් බව දන්න නිසා. ඒක කියවලා ඔයාට ස්තුතියි කීවොතින් ඔයා කළ අනන්ත කැපකිරීම් වලට මදිපුංචිකමක් කළා කියන හැඟීම ඇති වෙන නිසා මිසක මන් කරබාගෙන ඉන්නේ ඒ මොනවත් නොදැනම නෙවී.
නින්දත් නොනින්දත් අතරේ අඩුනැතිව නොසන්සුන්කම තියෙන වෙලාවක් කියන්නෙම බිම් බෝම්බයක් උඩින් කකුලක් තියාගෙන ඉන්නව වගෙ මොහොතක්. හැඟීම් කියන වයර් පැටලුනු බිම්බෝම්බය උඩින් කකුල තියාගෙන ඉන්න අසීරුම වෙලාවක ඔයාගෙ මතකය කියන්නෙ මාව ආපස්සට අදින පියවරක්. පියවරක් කියන්නෙ කකුල එතැනින් ඉවත්වීමක්.
ඔව් අවසානය පිපිරීමක්.
මට දැන් ඕනෙත් ඒකම තමා.
හඳ එළියක් මාව ගෙනිච්ච දුරක්. සුරුට්ටු කොටය බිමට දාලා පාගනවද එළියට විසික්කරලා ජනේලෙ වහනවද කියල වත් තීරණයක් ගන්න බැරි තරම් හිත මේ වෙලාවෙ නොසන්සුන්. මට කළුවරේ ඉන්න බෑ ශාරදා. ඒ බව ඔයා විතර වෙන කවුද දන්නෙ. හඳට පණ දීලා දැවෙන ඉර වීම තෝරගන්න තරම් ආදරයක් ඔයාගෙ හිතේ මේ අන්ධකාරලෝකය ගැන ඇති උනේ කොහොමද? ඒ ගැන හිතල හිතලම මාත් මේ සුරුට්ටුව වගේ ටික ටික අළු වෙලා යාවි.
ඉර පුපුරන දවසක් ආවත්;
ආදරෙයි ශාරදා !!
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..
-රොෂෙල් ෆර්නැන්ඩු-
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් !
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී..
ඔබ එලෙස කීවා.. ඔබට මිදී එන්න හෙවණැල්ලක් තිබුණා.. ඒත් මට මිදී එන්න හෙවණැල්ලක් වත් තිබුණෙ නැහැ. එවකටත් මා හුදෙකලා කයක් ව සිටියා.. මගේ හෙවණැල්ල ලෙස මට සළකන්නට තිබුණේ පවා නුඹම විතරක්ම වූවා.. නුඹෙන් මිදී මට යන්නට මාවතක් තිබුණේ නෑ.. කවර කලෙකවත් මට එවැනි විකල්ප මාවතක අවශ්‍යතාවක් දැනුනෙත් නෑ..
ඔබව හමුවන්නට යැයි ඔබ ඇරයුම් කළා.. මා ඒ ඇරයුම භාර නොගත්තත් ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මගේ හදවත ඒ සඳහා අවිඥානිකව බොහෝ කල් සිට බලා සිටින්නට ඇතැයි යන්නයි මාගේ කල්පනාව. පැහැදිලිවම මට ද ඔබව හමුවන්නට වුවමනාවක් තිබුණා. නමුත් ඒ බොහෝ කාලයක අවසානයේත් අවසාන දවසක. ප්‍රමාද නොකරම හමුවීම ඔබට වුවමනා වූවක්. අප්‍රමාදව ඔබ මා හමුවන්නට ආවා.. ඔබේ හෙවණැල්ලෙන් ඔබ මොහොතකට මිදුනා.. එවකටත් හුදෙකලා ආත්මයක්ව හුන් මා එය අදටත් සිහිකරන්නේ ඉමහත් කෘතවේදිවයි...
එහෙත් ඔබ ඔබේ හෙවණැල්ලෙන් මිදී ආයේ මා වෙනුවෙන්මද එසේත් නැති නම් ඔබම වෙනුවෙන්දැයි අදටත් මට පැහැදිලි අදහසක් නෑ... ඒ කෙසේ නමුත් කල්පයකින් අල්පයක් සා වූ ඒ මාහැඟි මොහොත වෙනුවෙන් මා ඔබ ගැන බෙහෙවින්ම කෘතවේදි බව නම් කිවයුතුමයි..
පළමු මුණගැසීමම අවසාන මුණගැසීමත් වේවා යැයි හදවතින්ම මා ප්‍රාර්ථනා කළ බව පිරිසිඳු ඌල දිය තරමටම සත්‍යයක්. නමුත් එය අපේක්ෂා කළ අයුරින් සිදු නොවූ බවද අසීරු සත්‍යයක්. එය ඉතා මිහිරි හෝ අමිහිරි යැයි වටහාගත නොහැකි වකවානුවක්. ඔබට නිරන්තරයෙන් උවමනා වූයේ ඔබේ හෙවණැල්ලෙන් මිදී ඔබම වෙන්නටයි.. ඔබම පමණක් වෙන්නටයි.. "නිදහස" ඔබගේ ප්‍රියතම භාෂාව බව මා දැනසිටි කරුණක්. මගෙ සහජාසයෙන් ඔබව අවබෝධ කරගැනීම ඒ තරම් අසීරු වූයේ නෑ..
බොහොම වැදගත් ජීවිත මුණගැසීම් සැලසුම් කර තිබෙන්නේ ශරීරයන් එකිනෙකාට හමුවීමටත් පෙර ආත්මයන් විසින් වගට කොයියෝගේ තර්කය මා තදින්ම විශ්වාස කරා.
(Important encounters are planned by the souls long before the bodies see each other. -Paulo coelho-)
අදටත් ඒ විශ්වාසයේ කිසිඳු වෙනසක් නෑ. ඔබ සදාකාලිකවම මාගේ ප්‍රියතම ආත්ම සඟයා බවට මා හඳුනාගෙන අවසන්.
ඔබට ඔබම වීමේ නිදහස ප්‍රේමයටත් වඩා අවශ්‍ය වූ බව මා දැන සිටියා. ඒ නිදහස මගෙන් ලැබෙන බව ඔබ දැන සිටියා. නිර්ලෝභීවම ඒ නිදහස ඔබට මවෙතින් පිරිනැමීම මගේ ප්‍රේමය ලෙස ඔබ කල්පනා කළා විය යුතුයි. මාගේ කල්පනාව වූයේ ඔබේ ආත්මය නිරන්තරයෙන් ප්‍රීතිමත්ව තැබීම පමණයි.
ඔබේ ප්‍රීතිමත් දෑස් වලින් මගේ ආත්මය එක්තරා නිවීමක ප්‍රහර්ෂයක් අත්වින්දා. ඒ නිවීම වෙනුවෙන් පමණක් මා ඔබට ප්‍රේම කළා කිවහොත් එය අර්ධ සත්‍යයක්. සැබැවින්ම මා හට අවශ්‍යය වූයේ ඔබේ ආත්මයද ප්‍රීතියෙන් පුරවමින් මගේ ආත්මය තෘප්තිමත් කිරීමටයි. කුමක් හෝ අතිශයින්ම බර නමුදු පූර්ණ වශයෙන් හිස් හැඟීමක් ඔබේ හදවතේ ගැඹුරෙහි කැලතෙන බවට මට සංවේදනය වූවා. ඒ හිස් බව පිරවීමේ උමතුවක් මා තුළ වූවා.
නමුදු එකී හිස්කම වූයේ ඔබ තුළමද එසේ නැතිනම් මගේම හුදු අභ්‍යන්තරයේද යන්න අද මට ඇතිවන කල්පනාවක්. ඒ කුමක් වුවත් ඔබේ ඇසුර මා ප්‍රිය කළා. ඔබ ද එසේ බව මා දන්නවා. කුමක් හෝ නැති වූ යමක්, ඔබට අහිමි වූ වටිනා යමක් අපගේ ඇසුර තුළ ඔබ හෙව්වා. මා විසින් එය සොයාගත්තා. අප විසින් එය බෙදාගත්තා. එය "ප්‍රේමය" නමින් අප විසින් බෞතිස්ම ස්නාපනය කළා.
නිදහස් මිනිසෙක්ව හැසිරීම ඔබේ ප්‍රීතිය වූවා. ඔබට මා ඉදිරියේ එය වඩා පහසු වූවා යැයි මම කල්පනා කරනවා..
ඔබ ඉතා කැමැත්තෙන් මිදී ආ ජීවිතේට මා කිසිවකින් නොමිදී ආවා.. මගේ හෙවණැල්ල ඔබ ලෙසින් සිතන්නට මට උවමනා වුනා.. එය එසේ වන බවට ඔබ මට හැඟීමක් දුන්නා.. එය මගේ හුදු ඉල්ලීමකින් තොරව ඔබ විසින්ම මට දුන් හැඟීමක්.. එවකට සැනසීමක් වූ ඒ හැඟීමම පසු කලෙක මාගේ වේදනාව වන බවට අංශු මාත්‍රයක සැකයක් නොතිබුණු හෙයින්ම පසු කලෙක පැහැදිලිවම එය ඉතා තදබල වේදනාවක්ම වූවා.
නමුදු වෙන්වීම මේ තරම් කටුක වූයේ ඔබ මගේ ම බවට පසක් කළ ඒ හැඟීම ම නොවෙදැයි මා ඔබෙන් අසන්නේ නැහැ. අප එකිනෙකාට අයත් බව ආත්මයන් විසින් සැලසුම් කළ සත්‍යයක්. ඔබ සහ මම විසින් එය පිළිගෙන තිබීම අපගේ වේදනාවන්ට හේතුවක්. එපමණයි.
කාලය සෘතු එක්ක කෙලිදෙලෙන් ගෙවී ගියා.. වසන්තය මුලදි තිබුණු ඔබේ පිබිදීමට සිසිරය කෙරෙහි සූදානමක් තිබුණෙ නෑ. සිසිරය පටන් ගන්නටත් පෙරම වසන්තයේ අගභාගයේදී ඔබ සෙවූ ඔබට උවමනා කළ ජීවිතයම ඔබ ට නීරස වූවා.. එය ඔබේ ස්වාභාවය බව මම එවකටත් දැනන් සිටියා.. ඔබ නැවත ඔබේ පෙර සෙවණැල්ල පසුපස්සේ ඇදුනා.. එසේ නොමැති නම් ඔබට නොදැනිවම ඔබේ සෙවණැල්ල ඔබ පසුපසින් නිරන්තරයෙන් හඹා එමින් තිබුණා.. ඔබට එයින් මිදීමට අවකාශයක් තිබුණේ නෑ.. එය වටහාගත් ඇසිල්ලේ ඔබ යළිත් මට මගේ හෙවණැල්ලක් කරා යන්නටැයි ඇරයුම් කළා..
මිදී යන්නට හෝ නොමිදී ඉන්නට මට මගේ කියා හෙවණැල්ලකටත් සිටියේ ඔබම පමණක් බැව් ඔබ අමතක කළා..
පසු වූ වසන්තයේ කදිම සැඳෑවන් වල හෙවණැල්ලෙන් මිදී එන්නට යැයි ඔබ විසින් මට ආරාධනය කළ සෑම වරෙකදීම අමුතුවෙන් මිදී එන්නට මටම කියා හෙවණැල්ලක් නොසිටි වග ඔබට අමතක වූවා.. එසේත් නැතිනම් ඔබ එය අමතක කළා.. එය ඉතා සහාසික අමතක කිරීමක් යැයි පවසනවාට වඩා මා කැමති ඔබ එය අමතක කළේ මහත් ආයාසයෙන් බව සිතන්නටයි.. එසේ සිතන්නට මට ඕනෑකමක් තිබුණා.. එය ඔබෙ කෙරෙහි මා තුළ වූ අසීමිත ආදරය විය හැකියි මා අනුමාන කරනවා විනා ඒ ගැන පැහැදිලි හැඟීමක් ද මේ වන විට මා තුළ නැහැ..
මා ඔබේ සෙවණැල්ල නොවන වග ඔබ මට පැහැදිලි කළා. එහි අර්ථය මා සමුගෙන යා යුතු බව වීම නිසා පමණක් මා අතිශයින්ම වේදනාවට පත් වූවා. නමුදු එය පැහැදිලිවම සත්‍යයක්. මා ඔබේ සෙවණැල්ල නොවේ. මා ඔබේ සෙවණැල්ලද පසු කර ගිය ආත්මීය බැඳීම වග ඔබ විසින්ම මට පවසා තිබුණා. එය මා අමතක නොවනු පිණිස මතක තබාගෙන තිබුණා. ආත්මීය ස්පර්ශය ශරීරයනට වටහාගත නොහැකි තරමේ අවබෝධයක්. අප අතර වූ ගණුදෙනුව ආත්මීය බව අප දෙදෙනා විසින්ම අවබෝධ කොටගෙන තිබුණා. නමුදු ඔබ ඒ සත්‍යය සිතෙහි අඳුරු කොනක ලා සෙවණැල්ලත් ආත්මීය සහයත් පිළිබඳව අසීරු තක්සේරුවක නියැලෙමින් සිටියා.
තක්සේරුවේ වෙහෙස නිසාම ඔබේ දෑස් වල ප්‍රීතිය නිවී යන්නට ආසන්නව තිබුණා. ආත්මීය සහය ප්‍රේමයේ යුතුකම බවත් එය ක්‍රියාවෙන්ම අත්‍යවශ්‍ය මොහොත එළැඹී ඇති වගත් මගේ සහජාසය විසින් මට සැලකර තිබුණා.
හදවතෙන් උනන තෙත හැඟුම් හසරැල්ලකින් වසාගෙන මා සමුගෙන ආවා. ඔබ වෙනුවෙන් එය මා කළ යුතුව තිබුණා. ඔබේ දෑසේ ප්‍රීතිමත් බව ප්‍රේමයට වඩා මට වැදගත් බව අවබෝධ වෙමින් තිබුණා. මතු හමුවීමක් යළි සැලසුම් වනවා නම් ආත්මීය සඟයා වගෙම හෙවණැල්ලත් එක් අයෙක් විය යුතුම වග.. ඒ මමම සහ ඔබම පමණක් විය යුතුම බවට වූ අවිහිංසක ප්‍රාර්ථනාවක් සුසුම් මතින් වා තලයේ පාවෙමින් තිබුණා.
ඔව්.. අපේ හමුවීම ඈත දුර දිගු දවසක කෙටිම කෙටි රාත්‍රියක් !!!
මතු ආත්මයේ හමු වන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ..
-රොෂෙල් ෆර්නැන්ඩු-
එක රැයක්
සඳ තරු එළි දහසකුත් තිබියදී ඝනදුර සොයමින් සිත වල්මත්ව පාව යන්නේ
ආදරයේ අන්ධකාර බව පසක් කරලමිනි..
කිසිම දිනක මම නුඹව මුදු සඳ එළියේදි නුදුටිමි.. මඳ අඳුරේ සිටම බලා උන්නෙමි..
ඒ නුඹේ ආදරයේ රුව අඳුරේ සිට බලා සිටින මට සඳ එළියෙන් ලස්සනට පෙනෙන නිසාය..
සඳ සිසිලස උරා ගත් ඔබේ පුළුල් උර මඬලේ රැයක් පුරා නිදි නොලැබ වැතිරී සිටින්නට ප්‍රිය කෙළෙමි.. මගේ ආදරයේ සුවඳ මලින් නුඹේ හදවතම අහුරන්නට මට උවමනා විණි..
නමුදු මා පින් මඳ ඇත්තියකි ...
තව යමක් කිවයුතු නොවේ යැයි සිතමි..
සුන් වූ පැතුම් ගෙන තවත් නිදි නැති රැයකට ඇරයුම් කෙළෙමි..
මඳ පවන් රැල්ලකට වුව සැලී බිම වැටෙන තරමට හදවතේ දළු බිදී ගොස්ය..
කිසිදාක ආදරය තනි නොකෙරූ මා අද ඒ ආදරය නිසාම තනිවී ගොසිනි..
සරදම් කෙරූ ආදරය..
තවමත් මා නුඹ හා නොමනාප වීමට නොකැමැත්තෙමි..
හුදෙකලා මට හුදෙකලාවෙන් මිදුනු එකමෙක රැයක් උවමනාය.
එපමණකි !
-රොෂෙල් ෆර්නැන්ඩු-
සුපුන් විල
ඉඩෝරය විසින් ඉරා දැමූ විල් හදවතෙක බිඳුණු පතුලත සිපගත්තේ අයාලේ යමින් ගමන් උන් වළාකුළු පමණි.
දඟකාර සුළඟ දුටුවනම වැළඳගනු පිණිස දිවයන වළාකුළු කිසිදා විල්තෙරේ නැවතුමක් සෙව්වෝ නොවූයෙන් විලෙහි නේකවිධ වේදනා දැක දැකත් වියළි ඉසව්,ඉරිතැළුම්, කඩතොළු පෙන්වමින් මවාගත් අමනාපයෙන් යුතුව යන්නට ගියෝය.
සිත් සේ සිපවැද සිත් සේ හැරයාම පිණිස මවාගත් වළාකුළු කෝපයෙන් අකුණු පුපුරා අහස ගිගිරුම් දෙන විට අසරණ වූ විල් ඇස පමණක් හඬාගෙන වැටුණි
නමුදු
දැන් මා යළිත් වරක් විලකි.
කඳුළු වලින් පිරුණේ වුව කම් නැත.
මා සුපුන් විලකි.
ඉරිතැළුම් සඟවා කුමුදු පුබුදවමින් මතු මතුද සිනාසෙන්නෙමි.
-රොෂෙල් ෆර්නැන්ඩු-
ඔබ නැතිව ගෙවෙන දවස්...
බිරිඳක නොවීමී.. එහෙත් බිරිඳක් ද වීමී..
සිතා ඉවර කල නොහැකි තරමේ හැඟුම් සමුදායකින් බරවුණු මගේ හිත ඔබව එපා යැයි කියමින්ම යළි යළිත් ඔබවම අයැද සිටින දිහා නිරුත්තරව මාගේ ආත්මය බලා හිදී..
අද දිනත් ඔබ විසින් මගේ ආදරය පිළිබඳව අපමණ වූ ප්‍රශ්න ඇසුවේ මා සිත නැවත වතාවක් රිදවමින්.. එලෙසින් ඇසුවේ මා ඔබට දක්වන ආදරය පිළිබඳව ඔබ තුළ වූ අවිශ්වාසය නිසාම ද නැතිනම් මාගේ ආදරය පිළිබඳව අපමණ වූ විශ්වාසක් ඇතුවා වුව එය පිළිගැනීමට තරම් දිරිගැන්වීමක් ඔබ තුළ නොවූ නිසාදැයි තවම නොදනිමි..
අපමණ වූ සෙනෙහසක් ඇතිව අතීතයේ අප කළ කී දෑ පිළිබඳව තවමත් මා හද තුල නම් ශේෂ වී ඇත්තේ අසීමාන්තික ගර්වයකි.. පිටුවක ලියා නිම කල නොහැකි තරමේ මතකයන් හදවතේ අඳුරු කොනක තනි කොට මා පියවර නගන්නේ හිස් වූ දෑසකින් වුවත් බරවුණු හදවතකිනි..
ජීවිතයේ ගමන් මාවත රළු පරළු වුවත් බොහෝ නැවතුම්පොළවල් ඉතා මුදුකමින් අප වැළඳගත් අයුරු අප අමතක කළ යුතු නොවේ.. මගේ දයාබර නවාතැන්පල නම් නුඹම මිස අන් කවරෙකුද..
උණුසුමත් සිසිලසත් එකවර සදමින් ඔබ මා රැගෙන ගිය ප්‍රේමයේ කෙළවරක අප අපේක්ෂා කල පමණටත් වඩා කඳුළු රැදී තිබිණි.. එනමුදු සීතලක් මට අමුතුවෙන් නොදැනුනේ කඳුළු වල සීතල මට නුහුරක් නොගෙනා නිසාවෙනි.. කොහොමටත් මගේ තෙත් වූ හදවතට වියළි බව ආගන්තුකය..
මිහිරාන.. ජීවිතයම මට කඳුළක්ම වූවත් සඳහටම මම ඔබ වෙතටම සිත පුදමි.. හිතුවක්කාරියක සේ ඔබටම සිත පුදමි.. එයින් රිදුන ද බිඳුන ද මට කම් නැත.. මන්දයත් ඔබට ආදරය කිරීම උදෙසාම මා තවම හුස්ම ගන්නා බැවිනි..
නමුදු මේ හෝරාව වෙන්වී ඇත්තේ සමුගැනීම උදෙසාය..
ඉතින් මම නික්මෙමි..
හදවතේ සියලු ස්මරණයන් ඔබෙ නමටය..
හදවතේ රැඳුමට වතේ මුණගැසීම අවැසිම නොවන බව මම මෙන්ම ඔබද දන්නා බව හඟිමි..
ආදරය සුසුමෙහි තවරා ප්‍රියය
ඉතින් මම නික්මෙමි..
රොෂෙල් ෆර්නැන්ඩු-
දාසි
මගේ
ආලෙන්
පිරුණු
බන්දේසි
කළා
නොඅසා
ඇයට
වෙන්දේසි
නැතේ
දැමුවේ
නුඹට
කොන්දේසි
භාරි
ශ්‍රීමත්
නිවසේ
මන්
දාසි
-රොෂෙල් ෆර්නැන්ඩු-
ආලෙන්
පිරුණු
බන්දේසි
කළා
නොඅසා
ඇයට
වෙන්දේසි
නැතේ
දැමුවේ
නුඹට
කොන්දේසි
භාරි
ශ්‍රීමත්
නිවසේ
මන්
දාසි
-රොෂෙල් ෆර්නැන්ඩු-
වැමෑරීම
මල් කරාමය
නොනැවතී වමාරයි
ඉඳිකටු හී දහසක
වේදනා පසක් කර
සීත දිය සීරාව
ගත ඇනී තෙමා යයි
සයනය උරාගෙන ය
සොරාගත් පැල්ලමක්
දෙකලවා බේරමින්
හද දියව ගලා යයි
දහදියෙන් මත්ව හිඳ
ඇසදියෙන් තෙත්ව ගිය
කොට්ට උරයෙන් හැමූ
විලවුන ද පලා යයි
මල් කරාමය
නොනැවතී වමාරයි
පලා ගිය මල් සුවඳ
ළඟ දිනෙක වමාරයි
-රොෂෙල් ෆර්නැන්ඩු-
අහසින් වැටුනු ළමයි
තාරකා සාදයකි
අතරතුර
කළු කුහර අහුමුළු වලින්
ඇසිනි නෙක කෙඳරිලි
රොමාන්තික දිලිසුමකි
ඉනික්බිති ශේෂ වූ
පිළිස්සුම් හා
තරු දුහුවිලි පමණි
වල්ගය වනා
චන්ද්‍රිකාවක නැඟී
පලාගියෙන් ධූමකේතුන්
පෙන්වූ තරු රටා
හීන පමණකි
තරුවලට තරු පෙනිනි
තරු කඳුළු නොබලා ම
හෙනහුරන් රැස් දමා
වළල්ලෙන් පන්නා දමති
තනියට කියා කුස දැවුම පමණි
අයාලේ සරමින්
පැහැදුල්ව සිනාසී
දැවුම් සඟවාගති
හුදෙකලා ප්‍රසූතියකි
පෘථිවි කුණු බක්කි දිලිසුනි!
අනාරාධිත යැයි කියා
විශ්වයේ දොර වැසුනු
උල්කාශ්ම කැබලිති වැනි
ලස්සනම ඇස් පොඩිති
වැටුණු තැන්වල ම පියවුනි
ඉර උදාවකි
අනාථ තැනිබිමකි!
නම නොදන්නා
බොහෝ මල් පිපුණි
-රොෂෙල් ෆර්නැන්ඩු-
අප්පච්චි !
පිච්චියක් සොයා සෙයිලමෙ අව්වෙ පිච්චි පිච්චි
තාච්චි අදිමින් අපෙ දිවි සරි කල අප්පච්චි
හිච්චිටයි මටයි හාච්චි දී නුඹ පිටවෙච්චි
වෙච්චි දේ නොදත් බිමෙන් සිමෙන්ති මල් පිපිච්චි
කාසය ම මිසක් කිසිදා හැංඟුවෙ නෑ කාසි
නාසය ම බැඳන් පෙනහළු හංඟනු බෑ ලේසී
මාසය ක් දෙකක් තහනම නොතකා වෙවි වීසි
වාසය ට හදන වැඩ බිම තිබුණද තෙත පාසි
ආදරේ වගේම බැරිලු හංඟන්නට කැස්ස
සාගරේ තරම් ගැඹුරුද ඔය හැටි පපු අස්ස
යන්තරේ වගේ වැඩ සඟවන් නොතකා වැස්ස
මන්දිරේ තනා නිවනට ගොස් අපෙ උළුවස්ස
-රොෂෙල් ෆර්නැන්ඩු-
ප්‍රේමයේ සන්ධ්‍යාවක..
කවුළුපියන්පත් වසා දැමූවෙන් තිරයෙන් පෙරී එන අඳුර පාරිශුද්ධය. පහනේ දුර්වල ලා කහ පැහැයත් නිහඬබවත් කුටියට ප්‍රමාණවත් බැව් සිතෙන කදිම සන්ධ්‍යාවකි. සෞම්‍ය වටපිටාවත් ගතට සුවදායි සිහිලසකුත් පමණක් ඉතිරිකර රාත්‍රිය සඳ වෙතට පවරා හිරු බැස යන මෙවන් වූ සන්ධ්‍යාවනට මා අතිශයින් ප්‍රිය ය.
සිතුවිල්ලේ විශ්වය පුරාම සක්මන් කිරීම මොහොතකට නවතා භාවනාවක සමවැදුනා මෙන් සන්සුන් මනසින් නිහඬබවත් සාමයත් මොනතරම් අස්වැසිල්ලක් දැයි හඟිමින් හිඳිමි.
එය සාම්බ්‍රානි සුවඳින් ළය ම සනහන කෝවිලක හෙමින් පියවර තබන දෙපතුලකට දැනෙන සීතල තරම් වූ සනීපවත් බව ද සිනිඳු වැලි අතුරාලූ මළුවේ පිරිත් සජ්ජායනාවක් අසමින් වියළි බෝ කොළ අමදින විට දැනෙන සැනසුම ද එසේත් නැතිනම් දේව ප්‍රතිමාවක් පාමුල තැබූ රෝස කුසුමකින් නැහැපුඩුව තෙමාලන මල් සුවඳ තරමින් වූ නිවීමක්දැයි නොදනිමි. නමුදු එක් දෙයක් පමණක් දනිමි. ඒ මේ හැඟීමට මා අතිශයින් ප්‍රිය වග ය.
ගෙවී යන සැන්දෑවන් ගොඩක් අතුරින් මෙය දුර්ලභ සන්ධ්‍යාවකි. ඔහේ ගෙවී යන කලබල සැන්දෑවකට වඩා මෙවන් නිසසල සන්ධ්‍යාවක යම් බර තැබීමක් ඇත. එතරම් ම ගැඹුරු ය. එපමණින් ම මිහිරි ය.
රාත්‍රිය වෙනුවෙන් ම අවදි වූ නිශාචරයන්ගේ හඳුනා නොගත් ශබ්දයන් ඇරුණුකොට සමීපව ඇසෙන්නේ මඳ සෙලවීමකටත් මිහිරිවට සුළං ගීතිකා ගයන්නා වූ සුළං සීනු හඬ පමණි. ඒ හැර වුවමනාවෙන් කන් දුන්නොත් හද ගැස්ම පවා ඇසෙන තරමේ අපූර්වතම නිහැඬියාවකි.
මේ මා අතිශයින් ප්‍රිය කරන මොහොතය. මගෙ ලොව ය. මට අයත් සීමාව ය. ඉතා කුඩාවටත් ඉතා මිහිරිවටත් මා තනාගත් මගෙ ලොව ය. ප්‍රේමයත් ජීවිතයත් පිරික්සන මගෙ ම වූ සන්ධ්‍යාව ය. හුදෙකලාව ය.
ඉතා පරණ බව හේතුකොට මනා ලෙස මැදී ගිය තුනී සිනිඳු ඇඳ ඇතිරිල්ල මත මම ප්‍රවේශම් දෑතින් පිරිමැදුමක් තබමි.
බොහෝ ඈත මතකයන් සීරුවෙන් අත්ල කරා ගලා එන බව දැනෙමින් තිබේ. එසේ ගලා ආ සොඳුරු හසරැල්ලක් සරැළි නඟමින් අත්ලෙහි හැපී බිඳී විසීරි යනු දැනුනෙන් මා අත් මිටිකොට ගතිමි. නමුදු ඒවා මා අත රැඳුනේ නැත. මගේ අතැඟිලි අතරින් විසිරී පැන යන හසරැලි බිඳිති මට ද සිනාසෙන්නට ඇත. මගෙ බොළඳකමට මම ද සිනාසීමි.
"යන්නම් ගතින් අරගෙන හිතින්"
ඔබ අවසානයේ ලියා එවූ විද්‍යුත් තැපැල් පණිවිඩයක අකුරු දෑස මත ලියැවෙන්නට ගියේ තත්පරයෙනුත් ඉතා කුඩා මොහොතකි.
"බලා හිඳිමි අල්ලාගැනීමටත් අතහැරී.."
පසුව ආ තව පණිවුඩයක තිබුණේ ඔබේ හදවතේ එවකට පැවති සැබෑ උවමනාව ය.
ආදරණීය රුවක් සැනෙකින් ඇදී මැකී යන්නට විණි. දෑස තෙත්වුනාදැයි නොදනිමි. නමුදු ඔබේ පණිවුඩ පෙනුනේ යාන්තම් බොඳවී වග හඟිමි.
දැනුදු මෙන්ම එවකටත් ඔබේ කෙහෙ කැරැල්ලක පවා තිබූ මායාව කුමක්දැයි වටහාගන්නට මට ප්‍රමාණවත් කරුණු තිබුණේ නැත. රළු කටහඬෙක පවා මෘදු හදවතෙක සරය ඇසුනෙන් මා ඔබට තදින් බැඳුනා වන්නට ඇත.
නොනැවතී අඳුර කුටියට ගලා එන්නා සේ ඔබ කෙරෙහි වූ ප්‍රේමය මගේ රුධිරයෙහි දියව ගත පුරා ගලා යනු සෙයකි. ඒ මාගේ හැඟීම ය. මගේ කෙසඟ අතෙහි වෙලී තිබුණු ඔබේ අතක වූ උණුසුම සියුම් නහරක් පවා හොඳින් හඳුනන වග දනිමි. ඒ මාගේ විශ්වාසය ය.
ඔබේ වූ හෘදයාංගම බවටත් ළයම පොඟවා තෙමාලිය හැකි සෙනේවන්තකමටත් දැනුදු ප්‍රේම කරමි. ඒ කාලයක් පුරා සැනසෙන්නටත් පසුව ආ දුෂ්කර සමයෙක වැනසෙන්නටත් මට හේතු වූ ප්‍රේමය ය. මා අතිශයින්ම බොළඳ තැනැත්තියක බවට පත් කළ පසුකලෙක ජීවිතාබෝධය ලත් ප්‍රේමය ය. කාලයක් විඩාවට පත් කළ ද නොනැවතී දරාගන්නට හේතු වූ ප්‍රේමය ය.
ඉතින් ඔබට නොනවත්වා ප්‍රේම නොකර සිටීමට මට හේතුවක් නැත.
හුදෙකලාව විඳවන්නට බොහෝ "මතකයන්" හේතුවන බව සත්‍යයකි. නමුදු හුදෙකලාව විඳින්නට නම් ප්‍රේමය අවැසි ය. ප්‍රේමය විඳවීම සඳහා නොවන බව දැනුදු සිතමි. එය පවතින්නේ විඳීමට පමණකි. ප්‍රේමයක මතකයක් දරන්නට අපහසු නමුත් ප්‍රේමය පිරිනැමීමක් දරාගත හැකිය. ප්‍රේමය ලැබීමට වඩා පහසු ප්‍රේමය පිරිනැමීම බව තේරුම්ගැනීමට කාලයක් අවැසි නමුදු ඒ කාලය අවසන ප්‍රේමයේ ඉමිහිරිම එලය මුණගැසෙන බව දැනගතිමි. ඒ නම් දරාගැනීම ය. දරාගැනීම උදෙසා බලාසිටීමේ කාලය තරමක් අසීරු ය. පසුකළහොත් ඉනික්බිති ජීවිතේ සීරුවට ය.
එකට එක්ව හෝ තනිව ප්‍රේමයක් පවත්වාගෙන යාම සැබවින්ම පහසුවකි. එය නිම කලේ නම් ජීවිතය අපහසු තැනක් වන්නට තිබිණි. ඉතින් ඔබට ප්‍රේම නොකර සිටීමට මට හේතුවක් නැත!
දයාබර රවීන්ද්‍ර,
මේ මගේ ප්‍රේමයේ සන්ධ්‍යාව ය
මම ඔබට අතිශයින් ප්‍රේම කරමි!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
Friday, June 14, 2019
තරු විසුළ රැය 🌟
කෙස්ස ගස්ස ගස්සා
උරිස්සෙන් පෙන්නනා නොරිස්සුම
මුසාවකි ! පිට දිගේ ලෙහී ගිය
මම මඳක් ඈත් කර ඉව කරමි
කුමන මන්දාකිණිය ද
පළමුවත් දෙවැනුවත් තෙවැනුවත්
නොනැවතී සිපගත යුතු
ළමැද ඉහළට උස්ස උස්සා
හුස්ම ගන්නා පරිස්සම
පස්ස හරවා උන්නාට මොකද
උවනතේ සියලු රේඛා
ආපස්සට කියවමි මම
සැනෙකින් ඇඳී මැකී ගිය
හරි ම මැද්දෙන් ලිස්ස ලිස්සා
මගේ ඇස් අවුස්සා මොනවාද හඟිස්සන
උන උනා ගලන්නේ දාහය ද තරු පිනිද
නොදන්නෙමි මම
පැහැදුල් ය ප්‍රාණ නාළිය
කිසිදු විටෙකදි මුව නොඋස්සා
වදනකුදු නොදොඩන
මම වෙමි ය ඔබෙ නිශාචර බස්සා
ඔබ සිරුරේ මුද්‍රිත
ඔරායන්ටත් ඔරවන
රැය කෙටි ද මෙතරම්
ආලෝක වර්ෂ තත්පරෙන් ගෙවීයන
නුඹ මගෙම කරගෙන
එකදු තරුවක් මඟ නොහැර
විශ්වය ම විඳිමි මම
-රොෂෙල් ෆර්නැන්ඩු-
ගසෙක ප්‍රේමය
ගඟට ම මුල් ඇද ඇති ගං ඉවුරේ සිටවූ ගසක් මෙන් මම ඔබ අසල සිටිමි. එනයින් ගිම්හානය කෙරෙහි වූ බිය අතහරිමි.
නිරන්තර තෙත හැඟුම් උනන්නේ ඔබෙනි. එහෙයින් මේ ආලයට කොල පරවී යාම ඉතා දුර ය. නොනැවතී මල් දරමි ❤️
ඔබට ඉසින්නට මල් නොමැති කලෙකත් ඔබ මා අසලින් නොනැවතී ගලන බව දනිමි. මල් වරන කාලයෙකත් සැනසෙමි.
මා අසලින් ඔබ ගලා යන්නේ සෑම විටම අලුත්ව ය. පිවිතුරුව ය. විටෙක සැඬවත් විටෙක මුදු ලෙසිනුත් ගලන ඔබේ රිද්මය මම හොඳින් හඳුනමි. එයට ම අනුගත වීමත් බැඳීමත් සියල්ලම ප්‍රේමයෙනි !!
ගලායෑමක් කෙරෙහි ප්‍රේමයෙන් බැඳීම ම අපූරුම වග හඟිමි. එකම ගඟ දෙපාරක් ගලන්නේ නැති බැවිනි.
මඳ සුළං සෘතු සේම සැඬ සුළං සෘතුවකත් ඔබ දෙසටම නැමෙමි. ගඟ පතුලතට එබෙමි. ඔබේ හදවත කියවමින් නිවෙමි. සැනහෙමි. මඳ සුළං හා එක්ව ඔබට මල් ඉසිනු සේම සැඬ සුළං හා ඔබ වෙනුවෙන් යුධ වදින්නට ද ඉතින් මට හැකි ය.
ඔබ ප්‍රේමයෙන් පිරෙන කලෙකත් වියරුවෙන් උතුරා යන කලෙකත් එක සේ දරාගන්නට මා හදවත නමැති ඉවුර නොවෙනස් වූ ප්‍රේමයෙන් ඔබ වෙත ලියා දී තිබේ. මාගෙ දුර්වලකම සේම ශක්තියත් වෙමින් ඉතින් ඔබ ට ගලා යා හැකි ය.
අතුපතර හිස නමා ඔබ ළයේ උණුසුම සොයන කෙටිම තත්පරයෙක ඔබ විසින් ප්‍රවේශමෙන් මා හිස සිඹින මොහොත මිහිපිට මා හට ඇති සොඳුරු සුයාමය බව මෙතෙක් මා ඔබට කියා නැත.
ඔබ විසින් දඟකාර පෙණ බිඳිති ඉසිමින් මා මුවඟ හසරැල්ලක් මවනා'තර මා අත්විඳි ප්‍රීතියත් ; ගෙවුනු හැම දිනයෙකම පවා පළමු සකුණ ගීයට පෙර වරක් මා වැළඳගත් ඒ අරුමැතිම අරුණැල්ලකත් මාගෙ වූ නිවීම ඔබට මා මෙතෙක් කියා නැත.
නමුදු අසා සිටීම අපහසු තරමට ම කියා සිටීම ද අසීරු යමක් ඔබ විසින් දත යුතු ය. මා විසින් කිවයුතු ය.
ඔබේ ගමනෙහි නිමාව සාගරය කෙරෙහි ය. ඉතින් ඔබ යා යුතු ය. ම'විසින් දරාගත යුතු ය.
පොරොන්දුවකි !!
එතෙක් ඔබ යනෙන මඟ පුරාවට ඔබේ හුදෙකලාව ට හේතු නොසදමි. මා විසින් අවදි කරන කුසුමෙක පියල්ලක් ගානෙම හිමිකම ඔබ වෙත ය. ආදරේ තවරාලු සුවඳත් මුදු බවත් ඔබ වෙතට ය. ඉතින් ඒවා ඔබට රැගෙන යා හැකි ය.
ඇතෑම් වෙහෙසකර දවාලෙක දිරාපත් ව ඔබ වෙතටම ඇද හැලෙන කහ පැහැති තුරු පතක් පවා ඔබව තනි නොකර සිටින්නට බැඳී තිබේ. ඒ ඔබට කිසිදු විටෙක අසීරු හැඟුම් නොදැනෙනු පිණිස ය!
ගඟකට ගසක් හා එක්ව ගමනක් නැත. නමුදු ඒ ප්‍රේමයෙක කෙළවර නොවේ. අවසානය කරා ඔබේ ගමන මා පසුකරමින් යා යුතුම නම් ඔබ යන්න. එතෙක් ඔබේ නොතනියට මේ කුසුම්පත් ද රැගෙන යන්න..
ඔබට සෙවණ වීම ම පවා ඉමහත් ප්‍රීතියක් බැව් පමණක් දැනගන්න!!
එලෙසින්ම යම් දිනෙක ඔබ සිඳී යා නම් මා ද කැටුව යන්නැයි නොබියව කියමි. මක්නිසාදයත් ඔබ සමඟ එක්ව විසීම තරමට ම එක්ව මියයාමට තරම් ප්‍රේමය විසින් තවදුරටත් මා නිර්භීත කොට තිබේ.
-රොෂෙල් ෆර්නැන්ඩු-
Tuesday, June 11, 2019
මැණික 💎
අඩවන් දෑස කීවේ.. ජීවිතේ අරුතමයි සංවරයි මැණික මාගේ..
ඈතින් කවුරු හරි අහන රේඩියෝවකින් මගෙ හිත පිටතට අරගෙනම කොනිති ගහනව..
ආසම ගීතයක් උනත් පුළුවන් හැම විටම නාහා ඉන්නෙ ඇහේ උල්පත් ඉක්මන් වැඩි නිසාමයි..
"මැණික"
ඒක කොයිතරම් ආදරණීය ඇමතුමක්ද
හෙමින් මම ඇහේ තෙත හැඟුමක් පිහිදමින් හිතනවා..
මැණික කියලා සඳහන් වෙන ගොඩක් ගීත හිතාමතාම මඟෑරලා ඉන්න කාලෙක ඉඳන් හිත පුරුදු කරගෙන උන්නු මගේ මතකය මොහොතකට නිදි බිඳගෙන.. වෙන අයට නින්දේම පේන නපුරු හීන මට පේන්නේ හදිසියෙම නිදි බිඳුනු ඒ වගේ වෙලාවක.. හිත අවදියෙන් තියාගෙන ඒ වගෙ රිදුම් දෙන හීනයක් දකින එක කොයිතරම් වේදනාකාරිද...
"මැණික.."
ඒ වචනය කනට වැටෙන සමහර වෙලාවක අනික් කනින් පිටවෙන්න කලින් හදවත පැත්තෙ රවුමක් දාලා සියුම් රිදුමකින් කොනිත්තලා යන වග ඔයාට මම ඉස්සර කිව්වෙත් නෑ..
ඔයා කවමදාවත් මට මැණික කියලා කතා කරලා නෑ රවීන්ද්‍ර..
මම ඒ තරම් නොවටිනා කෙනෙක් ද ඔයාට.. එහෙනම් ඇයි ඔයා ඒ මැණික අතෑරලා මන් වගෙ නොවටිනා කෙනෙක් පස්සෙ වැටුණෙ.. මට හිතින්ම කෙඳිරෙනව.
ෆෝන් එක අතට ගන්නේ කෙටි පණිවිඩයක් සටහන් කරන්න
"ඇයි මම මැණිකක් නොවෙයිද ඔයාට.."
පණිවිඩය තාවකාලිකව නොයවා මම ආපහු ෆෝන් එක පසෙකින් තියනවා..
ඇයි මට එකම එක දවසකට හරි මැණික කියලා කතා නොකෙරුවෙ..
හීන් හුස්මක් පෙණහළු වලින් පිට වෙනවා එක්කම උගුර වියළිලා හිර වෙනව දැනෙනව.
වතුර වීදුරුවක් එක හුස්මට බීගෙන බීගෙන ගිහින් නළලෙන් ඉනුව දාඩිය බිඳු මම පිහිදලා දැම්මා..
කොයි වෙලෙත් ගිනි අරන් දැවෙන්නේ ඉරට කවුද ඒ තරම් ගින්දරක් දුන්නේ.. පපු මැද්දෑවෙ ගිනි කන්ද අමාරුවෙන් සක්‍රීය වෙන්න නොදී ඉන්න උත්සහ කරන මට ඉබේම හිතෙනවා..
"ඇයි මම විතරක් මැණිකක් නොවුනෙ?" ජනෙල් කවුළුවෙන් පිටත ලෝකය දිහා බලන් මට හිතින් නිහඬවම කෑගැස්සෙනවා..
"මැණිකට වත් නොකීව මගෙ ජීවිතේ ගොඩක් දේවල් ඔයයි දන්නෙ ශාරදා..."
ඔයාගෙ ඉස්සර වචනයක් හදවතට තවමත් ඇහෙනවා..
ඔයාගෙ ඒ ගැඹුරු කටහඬ මගේ හදවත පුරා ගලාගෙන යනවා..
"ඔයයි මැණිකයි දෙන්නෙක්.. දෙන්නට දෙන්න කොයිම විදියකින් වත් සම කරන්න බෑ.. දෙන්නට දෙන්නගෙ සුවිශේෂි ඇවතුම් පැවතුම්.. මට ඔය දෙන්නම විශේෂයි.. ඒත්...
"ඒත් ?"
එයාගෙන් මට නොලැබුණු මන් ආස කරන මොකක්දෝ යමක් මට ඔයාගෙන් ලැබුණා.. එයත් මට ගොඩක් ආදරෙයි.. කිසිම වචනයක් කියන්න බැරි තරම්.. ඔයාගෙන් මට ලැබුණේ මන් කැමති විදියේ ආදරයක්.. අවබෝධයක්.. සමහරක්විටෙක මම මේ තරම් ඔයාට ළංවෙන්න ඇත්තේ ඒ නිසා..
කොයිම විටෙකත් ඒකට හේතුවක් අහන්න එපා.. මොකද මට ඒ ගැන කියන්න හේතුවක් නෑ..
එයා නිසා ඔයාගෙත් ඔයා නිසා එයාගෙත් ආදරේ පොඩ්ඩක් වත් දෙවැනි වෙන්නෙ නෑ..
මට වෙලාකට හිතෙනව මම මහ නරුමයෙක් කියලා ශාරදා... ඔයාලා දෙන්නම මට උපරිමයෙන් ආදරෙයි.. ඔයාලා දෙන්නටම මා අතින් අසාධාරණයක් වෙනව වෙන්න පුළුවන්. ඒත් මගෙන් පෙරළා ඔයාලටත් ඒ ආදරේ මට පුළුවන් හැම විදියෙන්ම පුළුවන් හැමවිටෙකම දෙන්නයි මට ඕනි.. මට ඒක කරන්න අමාරු උනත් මම හැමවිටම ඒකට උත්සහ කරනවා..මන් දන්නව.. ඒක වරදක් වෙන්න පුළුවන්.. ඒත් ඒකයි ඇත්ත..
ඒ කොහොම උනත් එයාට වඩා ඔයා අවබෝධයෙන් මගෙ හිතට එබෙනවා.. ඒ නිසයි මම මේ තරම් ආදරේත්.. මට අතහරින්න බැරි මේ බැඳීම ඒ ආදරේ නිසාමයි.. කෙනෙකුට කරදරයක් වෙන තරමටම ඔයාට ආදරේ දෙන්න පුළුවන් හිතක් තියෙනවා ශාරදා.. ඒක මම එදත් දැනගෙන හිටියා.. හෙටත් ඔයා මට ඒ තරම්ම ආදරේ වග මම දන්නවා.. මගෙ හිතේ තියෙන සේරම දේවල් මට කියන්න බෑ.. කියලා අඬන්නත් බෑ.. මන් පිරිමියෙක්.. ඒත් මගෙ හිතේ ගොඩක් දේවල් මැණික ඉස්සරහදි වඩා නිදහස් වෙන්නෙ ඔයා ඉස්සරහ.. මොකද මගෙ ඕනෑම ස්වරූපයක් ඔයා තේරුම්ගන්න බව මම දන්නවා.. මොනම අවස්තාවකදී උනත් ඔයා මාව ඉවසන බව මට විශ්වාසයි.. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි..
"මම ඔයාට ආදරෙයි.."
"කොච්චරක්ද??"
"ඔයාට ඕනේ තරමටම ශාරදා.."
"හ්ම්ම්.."
"මම දන්නෙ නෑ මේ බැඳීම කොතනින් කොහොම කෙළවරක් දකියිද කියලා.. ඒත් මම මැරෙනකම් ඔයා මගෙ හදවතේ හොඳම තැන ඉන්නවා ශාරදා.. ඔයත් ඒ බව හොඳාකාරවම දන්නවා.."
ගොඩක් ඉස්සර ඈත දවසක ඔයා කීව ඒ වචන කාලෙකින් මගෙ කල්පනාවෙ එහෙ මෙහෙ සක්මන් කරන්න අරන්..
ඒ තරම් විශ්වාසයක්, අවබෝධයක්, ආදරයක් ඇතිව ළං කරගත්තු මම ඇයි රවීන්ද්‍ර මැණිකක් විතරක් නොවුනෙ..
ඒ කොයිතරම් දේවල් මතකයට නැඟුණත් මගේ ස්ත්‍රී මානය ආයෙමත් අහන්නේ එකම ප්‍රශ්නය..
"ඇයි මම ඒ තරම් වටින්නෙ නැතිද.."
අඹ ගහේ කොළ අතරින් ඉර එළිය වැටිලා බිම හෙවණැලි රටා හදලා එකම චමත්කාරයයි.. හුළඟක සළකුණක් වත් නැති නිසා පොඩ්ඩක් වත් හෙලවෙන්නෙ නැතුව ගල් ගැහිලා ඉන්න ඒ හෙවණැලි මේ මොහොතෙ මගෙ හිතට කොයිතරම් සමානද.. ඒ උනත් ඒ හෙවණැලි රටා හරි නැවුම්.. ඇහැට ප්‍රියයි..
කාශ්ටක දවස් වලත් ලස්සනක් හොයමින් මම මගේ හිත නිදැල්ලේ මුදාහරිනවා..
මේ තරම් වෙලා නිශ්චලව තිබුණු මිදුලෙ හෙවණැලි හෙමින් නටන්න අරගෙන.. හීන් සුළඟක් මගෙ මූණෙ ඇවිත් හැපෙනවා.. හුළඟේ ආව මල් පියල්ලක් දෙකක් මගේ කම්මුල හෙමින් ඉඹලා බිම වැටෙනවා..
මැණික කියලා කතා නොකෙරුව පමණින් ඔයා මට නොවටිනා කෙනෙක් නෙවී ශාරදා..
"ඇත්ත මම කවමදාවත් ඔයාට මැණික කියලා කතා කරලා නෑ.."
"ඔයා මට ඊටත් වඩා වටිනවා"
මගේ හදවත පුරුදු ආදරෙන්ම ඉඹලා සුළඟ ආ ලෙසම ආයෙමත් හමාගෙන යන්න යනවා..
සුළඟ එක්කම හමාගෙන යන්න ඇත්නම්.. මට හිතෙනවා.. හිත පිටතදී වඩා ඇතුළාන්තයෙදියි පරිස්සම්..
සටහන් කරපු කෙටි පණිවිඩය නොයවාම මම ජනෙල් පියන් වහලා ආයෙමත් ඇතුළට ආවා..
-රොෂෙල් ෆර්නැන්ඩු-
ලිලී මල්
එක්තරා දවසක මම පළකළ මිටියාවතෙහි මහනෙල් මල ( lilly of the valley ) ගැන පාඨයක් කියැවූ මගෙ සමීප මිතුරියකගේ අදහස උනේ ලිලී මල අහිංසක ලෙස පෙනෙන නමුත් විෂ සහිත මලක් බව.. ඒකට ප්‍රති පිළිතුරක් ලෙස මම දන්නා කරුණු කීපයක් සමඟ එහි ඇති ඖෂධීය ගුණය ගැන සඳහන් කළා. ඒ කතාව එතැනින් නිමයි.
මේ කාරණාව මන් හිතන්න පටන් ගත්තු නිමිත්ත තමයි ඒ. මගෙ මිතුරිය දක්ෂ බුද්ධිමත් ළමෙක්.. මන් මෙතනින් එහාට කියන්න යන කාරණාවට ඈ කිසිසේත්ම සම්බන්ධයක් නැති බව මා ඔබට කිව යුතුමයි.
ඇත්තටම ලියන මම වගෙම කියවන ඔබත් පෞද්ගලිකව ලිලී මල් ආකාරයෙන් යුතු මිනිසුන් නේද කියන කාරණාව හිතන්නට මම පෙළඹුනා කීවොතින් නිවැරදියි. අපි හැමෝම මිශ්‍ර සිතුවිලි ගති පැවතුම් ඇති මිනිසුන්. බොහොම පියකරු සුවඳවත් ආත්මයන් හිමි විටෙක විෂ සහිත විය හැකි පෘථග්ජන මිනිසුන්. අපි හැමෝගාවම අඩුවැඩි වශයෙන් ඒ ස්වාභාවයන් තියෙන බවයි මගේ පෞද්ගලික හැඟීම.
ලිලී මල කියන්නෙ බොහොම පියකරු මලක්. මිටියාවත් වල පිපෙන ඒ මලේ සුවඳ බොහොම අගයෙන් ඉහළයි කියායි මා අසා තිබෙන්නෙ. රුව ගුණ වගෙම වර්ණයෙන් ඉහළ මේ මල ඖෂධීය වටිනාකමෙන් ඉතා අගනා මලක්. මිනිසුන් වන අපත් එහෙමයි. මිනිසත්බව ලබා ඉපදීමම ඉතාමත් වටිනා අවස්ථාවක්. ඒත් ලිලී මල් වන අපි තවත් ලිලී මලක් දිහා බලන කෝණය, අපි දෙන නිර්වචනය කෙබඳු ආකාරද..
කොයිතරම් ලස්සන උනත් සුවඳ උනත් ඖෂධීය බවෙන් වටිනාකම වැඩි උනත් අපි ගොඩක් වෙලාට දකින්න උත්සහ කරන්නේ ඒ හැම ධනාත්මක ගුණයකටම වඩා ඒ මලේ තියෙන විෂ සහිත කොටස. අපි හැමවිටම කෙනෙක් දිහා බලලා දෙන නිර්වචනය තුළ ගොඩාක් වෙලාවට ඉස්මතු වෙන්නෙ ඈ හෝ ඔහු සතු සෘණාත්මක කොටස.
"මම" නමැති ලිලී මල සුවඳවත් පියකරු ආකාරයෙන් දකිමින්ම බොහෝ විට අපි අපිට බාහිර ලිලී මලෙක දකින්නේ උග්‍ර විෂ සහිත බවක්. සරලවම කීවොතින් අනුන්ගේ අඩුපාඩුවක්. ඒ දකින අඩුපාඩුව තුළ අපට මඟහැරෙන්නේම ඒ අඩුපාඩු අභිබවා ඔහු හෝ ඇය ළඟ තියෙන නොමිල වටිනාකම්.
කෙනෙකුගේ රූපයෙන් පටන් අරන් ගතිගුණ චර්‍යා සිතුවිලි පවා අපි දකින්න උත්සහ කරන්නෙ අපිට උවමනා ආකාරයට මිසක් සැබැවින්ම ඒවා පවතින ආකාරයට නෙවී.
රූපය සම්බන්ධව නිදසුනක් ගත්තොත් අපි කෙනෙකු පමණට වඩා මහතයි එසේත් නැතිනම් කෙට්ටුයි , උස වැඩියි, කොට වැඩියි ඔය වගෙ මොකක් හරි ඒ අදාල කෙනාගෙ අඩුපාඩු හුවා දක්වමින් සමාජය ඉස්සරා අපහසුතාවයන්ට ලක් කරනව.
කිසිම අඩුපාඩුවක් නැති බොහොම ලස්සන කෙනෙක් නම් එක්කො වපරයි, එයාගෙ නහය ඇදයි ඔය වගේ මොකාක් හරි අඩුවක් හොයන්න පෙළඹෙනව. එහෙම කියන්න කුමක් හෝ දෙයක් නැති විටෙක පවා එයාගෙ චරිතය හොඳ නෑ වගේ දෙයක් හරීම නිර්ලෝභිව කියලා ඒ කෙනාගෙ අඩුවක් කෙසේ හෝ සොයාගන්නවා.
කිසිම අඩුපාඩුවක් නැති බොහොම ලස්සන කෙනෙක් නම් එක්කො වපරයි, එයාගෙ නහය ඇදයි ඔය වගේ මොකාක් හරි අඩුවක් හොයන්න පෙළඹෙනව. එහෙම කියන්න කුමක් හෝ දෙයක් නැති විටෙක පවා එයාගෙ චරිතය හොඳ නෑ වගේ දෙයක් හරීම නිර්ලෝභිව කියලා ඒ කෙනාගෙ අඩුවක් කෙසේ හෝ සොයාගන්නවා.
ඒක සාමාන්‍ය මිනිස් චෛතසිකයෙ ස්වාභාවය කියලා අපිට බැහැර කරන්න බෑ. මොකද ඒක පවතින්නෙ අපිට පාලනය කරන්න පුළුවන් මට්ටමේ නිසා.
කෙනෙකුට සතුටු හිතෙන විදියේ දේවල් ගොඩක් කියන්න පුළුවන්කම තිබියදිම අපි බොහෝ විට කරන්නෙ ඒ කෙනාට අහිමි කුමක් හෝ දෙයක් ගැන කියලා ඒ කෙනාව මානසිකව රිදවීමට ලක් කිරීමක්.
කෙනෙක් නිසි වයසෙන් විවාහ වෙනකොට ඒ විවාහ මංගල උත්සවයට එන අවිවාහක කෙනෙක් දුටු පමණින් තවමත් අවිවාහක නොවෙදැයි විමසනවා. සමහර විට හිතා මතා අන් අය ඉදිරියේ අපහසුතාවයන් වලට ලක් කරනව. අලුත විවාහ වූ යුවලක් නම් තවම දරුවෙක් ගැන අදහසක් නැතිද කියා විමසනවා. සමහර අවස්ථා වල එසේ විමසන්නේම දරුවෙක් නැතිව අවුරුදු කීපයක් ඒ හා සමානවම වේදනා උසුලපු කෙනෙක් වීම තමයි මෙහි තියෙන වඩාත්ම කණගාටුවට කරුණ.
තමන් කාලයක් අත්වින්ද කම්පනය අහවර වූ සැනින් සියල්ලම අමතක කර දමන ඔවුන් තමන් වගෙම වේදනාවක් නිහඬව දරාගෙන සිටින කෙනෙකුට මිතුරුකමේ දෑතක් යොමු කරනවා වෙනුවට කරන්නේම මිතුරු වෙසින් කළ හැකි ලොකුම නින්දාව හෝ අවමානය.
අපහසුතාවයට ලක් වන පරිදි ඕනෑවටත් වඩා අනෙකුගේ පෞද්ගලිකත්වයට මැදිහත්වෙන කෙනෙකුට බොහෝ දේ ඒ වන විටත් මඟහැරී තිබෙන්නට පුළුවන් අවස්තාද එමටයි. තමන්ගේ ඒ අඩුපාඩුකම් වසාගන්න මුවාවෙන් අනෙකුගේ අඩුපාඩුවක් ඉස්මතු කරන්න උත්සුක වෙනව. මා දකින කෲරතම දේ එයයි.
සමහරක්විටෙක විවාහ වෙන්න ප්‍රමාද වූ කෙනා විවාපත් කෙනාට වඩා උපාධියක්, රැකියාවක්, වෙනත් අරමුණක් ළඟා කරගත් අයෙකු විය හැකියි.
දරුවන් නොලැබූ කෙනෙක් ඊට පෙර දරුවෙකුට අවශ්‍ය දේවල් ගොඩනගාගන්න කාලය වැය කරා විය හැකියි. ඒත් අපි හැමවිටම උපාධියක ජයග්‍රහණය, රැකියාවක උසස්වීම දැක දැකත් විමසන්නේ තවමත් අවිවාහක බව. තමන්ගේම නිවසක් වාහනයක් ලබාගෙන ඊළඟ පියවර තබන අයෙකුගේ දකින්නේ දරුවෙකු නොමැති අඩුපාඩුව. බොහොම පියකරු සිනාවකට වඩා අපි දකින්නේ අඩුපාඩු සහිත අඟපසඟ.
හැම අයෙකුටම තමන්ගේම කියා කතාවක් තිබිය හැකියි. සමහරු එය බෙදාගන්නා විට තවත් අය එය සඟවා තනිව දරාගන්නවා. අපි දෙයක් කටින් කීවාට පසු එය නැවතත් කට ඇතුළට ගන්න පුළුවන් දෙයක් නෙවී.
දෙපැත්ත කැපෙන ආයුධයක් වගේ ඕනෑ අතකට නැවෙන අස්ථි රහිත දිව පාලනයක් සහිතව භාවිතා කරන්න බැරි කමක් නෑ.. ඒ සඳහා විචාර බුද්ධියම අවශ්‍ය නෑ. කරුණාවන්ත හිතක් බොහොම ප්‍රමාණවත්.
ඒ නිසා කෙනෙකුගෙන් දෙයක් විමසන්න කලින් කෙනෙකු ගැන අදහසක් පළ කරන්න කලින් මොහොතකට සිතුවා නම් අපි මේ කියන දෙයින් මේ කෙනාට සියුම්ව හෝ හිත් රිදීමක් ඇතිවෙයිද කියලා , එසේ රිදවීමක් ඇති නොවෙන තැනට ඒ දේ නොකර ඉන්නත් අපිට ඕනෑතරම් අවස්තාව තිබෙනවා නම් තවත් ඇයි අපි එලෙස නොකර ඉන්නේ යැයි ඉතා ආදරයෙන් මම ඔබෙන් අහන්න කැමතියි.
සිනහවකින් බොහෝ දේවල් දරාගෙන යන මිනිසුන් අතරේ පවා ඇතුළාන්තයෙන් රහසින් අඬන මිනිසුන් ඕනෑතරම්. කෙනෙකුගේ අගයන්න ඕනෑතරම් දේවල් තිබියදි ඒ කෙනා වේදනාවට පත් කිරීමක්, අපහසුතාවයට ලක් කිරීමක් මා පෞද්ගලිකව දකින්නේ පියකරු බවට යටින් ඉහළ යන උග්‍ර විෂ සහිත කෲරත්වයක් හැටියට.
අපිට පුළුවන් නන් ලිලී මලක් ලෙස විෂ සහිත බව අඩු කරලා අපේ ඖෂධීය ගුණය වගා කරගන්න ලෝකය මීට වඩා බොහොම ලස්සන තැනක් වෙන බව මට විශ්වාසයි.
ඒ වගෙම අපෙන් බාහිර ලිලී මලෙක විෂ දකිනු වෙනුවට පියකරු බව, සුවඳවත් බව අගයන්න අපිට පුළුවන් නම් සරලවම කීවොතින් අනුන්ගෙ හොඳක් දකින්න හැමවිටම උත්සහ කරනවා නම් මා විශ්වාස කරන්න සියල්ලටම වඩා ඔබට ළඟාවෙන්නෙ ඔබේම හුදු අභ්‍යන්තර සැනසීමයි.
අපි කරන්නට පෙළඹෙන හැම යහපත් ක්‍රියාවකටම පදනම වුණු ප්‍රේමයේ එක ගුණාංගයක් තමයි අනුන්ගේ නපුර වෙනුවට යහපත සෙවීම. අපි අනෙක් අයට ප්‍රේම කරන තරමට ඒ දේවල් ක්‍රියාත්මක කරන්න එය පහසුවක්.
බයිබලයේ තියෙන ප්‍රේම පාරමිතාවෙ පාඨයකින් මා මෙය මෙලෙස ඉවර කරන්න කැමතියි.
ප්‍රේමය අවිනීත නොවේ
ආත්මාර්ථකාමී නොවේ
හනික නොකිපේ
නපුර සිතේ ධාරනය කර නොගනීයි
ආත්මාර්ථකාමී නොවේ
හනික නොකිපේ
නපුර සිතේ ධාරනය කර නොගනීයි
"ප්‍රේමය අනුන්ගේ වරද ගැන ප්‍රීති නොවී හරි දේ ගැන ප්‍රීති වෙයි"
ප්‍රේමය සියල්ල උසුලයි.
1 කොරොන්ති 13 ( 5 : 7)
විෂ කොටස් බැහැර කරමින් සුව කිරීමෙ ගුණය වැඩි කරගනිමින් මිහිරි සුවඳවත් පියකරු ලිලී මලක් වෙන්න අපි හැමෝටම පුළුවන්. ❤️
-රොෂෙල් ෆර්නැන්ඩු-
ප්‍රේමය නම් වූ මෝස්තරකාරි...
"ප්‍රේමය" නම් වූ මෝස්තරකාරියට ලියමි.. ❤️
එක එක දිනට එක එක වේශයෙන් හැඳපැළඳගෙන මා බලන්නට ඇවිත් යන
ඔබට සියවසක් නොව කල්පයක් සැරසෙන්නට වස්ත්‍ර ඇති බව දනිමි..
ඔබට සියවසක් නොව කල්පයක් සැරසෙන්නට වස්ත්‍ර ඇති බව දනිමි..
සෘතුවෙන් සෘතුව ගෙවීගෙන මා මහළු විය කරා ඇදෙන විටත් ඔබ එදා වාගෙම අදත් හෙටත් කල්ප ගාණකට පසුත් මා මුල්වරට ඔබ හැඳිනගත් ඒ තාරුණ්‍යයේ වතින් සැරසීගෙන නිසොල්මන්ව සිටිනා වග දනිමි..
නවතාගත නොහැකි තාරුණ්‍යයේ ඔබ පමණක් නතරවී සිටින වග දනිමි..
වියපත් මා ඔබේ වයස නොඅසාම ඔබේ නිර්මල වූ පියකරු බව කිසිත් අඩුවක් නොමැතිවම තවමත් විඳිමින් සිටින්නේ එනිසාවෙනි..
වියපත් මා ඔබේ වයස නොඅසාම ඔබේ නිර්මල වූ පියකරු බව කිසිත් අඩුවක් නොමැතිවම තවමත් විඳිමින් සිටින්නේ එනිසාවෙනි..
දිනයකින් තවත් දිනයකට ඔබ ජීවිතයට ඇරයුම් කරන්නේ අන් කවරදාකවත් නොදුන් තරමේ නැහැඹුල් හැඟුම් අටෝරාසියකිනි..
ඔබ තරම් මෝස්තරකාරියක මිහිපිට තවත් සිටිය ඇහැකිද.. ඔබ ගාව ඇති තරම් වර්ණවත්බවක් මේ මිහිපිට කිසිවෙකුට හිමිව තිබිය හැකිද.. ඔබ තරම් අතැරයාමට අසීරු අන් කිසිදු බැඳීමක් මිහිපිට තවත් ඇතිද..
ඔබ තරම් මිහිරියාවක් සේම ඔබ තරම් වේදනාවක් උපදවාලන අන් යමක් මේ මිහිපිට ඇතැයි ඔබ සිතනවාදැයි අසමි.. ඔබ තරම් සියුම්ව හදවත ස්පර්ශ කරලන ඒ සා ඇවිලීමක් ඒ හා නිවීමක් තවත් මෙලොව තිබෙන්නට හැකිද.
ඔබ තරම් වේගයෙන් සිතුවිටෙක සිතුසේ වෙනස්කම් පාන නේක වේශයන් මවන සුරූපිනියක් තවත් මෙහි ඇතිද.. ඔබගේ ඇතෑම් මෝස්තර වලට වශිකෘතව සිසිරයේ මිදීගිය ගංඟාවක් සේ හිරිවැටුණු හදවත් කොතෙක් නම් ඇතිද..
දෑස් අඳවන තරමේ මනෝහරබවක් උසුලමින් ජීවිතය කරා ඇවිත්, සිතුනෝතින් නතරවී එසේත් නැතිනම් නොනැවතී, ඔබ යන්නේ කිනම් ඉසව්වක් කරා දැයි සිතන්නට වත් ඉසිඹුවක් නොතබාම නොපෙනී යෑමට හැකි ඔබ තරම් මායාවක් තවත් මිහිපිට තිබෙන්නට හැකිද..
දවසක් දවසක් ගානේ ඔබ පැළැඳ එන මෝස්තර ලූ පිළි විටෙක උනා දැමූවත් නිරුවත් වන්නේ ඔබ හා බැඳෙන අනෙකාගෙ හදවතම පමණක් නොවෙද..
නිසල දිය යට වූ ගැඹුරුම තැන් පවා ස්පර්ශ කරන්නට ඔබ තරම් නිර්භීත වූ වෙන යමෙක් සිටින්නට ඇහැකිද..
නිවෙන තැන් අවුලවන්නටත් ඇවිලෙනා විටෙක නිවන්නටත්.. එකවරම නිවි නිවී ඇවිලෙන්නටත් ඔබ තරම් හපනියක් තවත් සිටීද..
වරක් ඔබ විසින් වසඟයට ගත් අයෙක් ඔබ අතැරදමා යන්නට සිතාවිද.. ඔබ හැර ගියත් හුදෙකලාවේ සිට ඔබෙ දෙස බලා නිමේෂයක හෝ නුහුල්ලා සිටිනු ඇතිද..
ඔබ සිටිනා තුරු තනිකමක් නැත්තා සේම ඔබ තරම් තනිකමක් දනවාලන අන් කිසිවෙක් මෙහි සිටිත්ද..
අසීරුම මොහොතක ජීවත් වීමට අරමුණක ආලෝකයක් විය හැකි නුඹටම පමණක් මරණීය වේදනාවක අන්ධකාරය ලෙසත් වෙස් ගැනීමට ඇහැකි වීම පුදුම සහගතය..
කර්කශම ජීවිතය පහසු කරවන විටෙක හුදෙකලාව හා එක්වී හුස්ම හිරකරවන ඔබගේ හැඟීම් විරහිතභාවය ගැන අතිශයින්ම මවිත වෙමි..
දින සති ගණන් ඔබ පළඳින ඇඳුම් විටෙක වටහාගත නොහැකිමය.. එකම දිනෙක වුව පැළඳුම් කිහිපයක හැඩ බලමින් නැවුම් හැඟුම් ගෙනාලිය හැකි මා දුටු අපූරුතම විටෙක වටහාගැනීමට අසීරුතම යුවතිය ඔබ බව කියමි..
පෙම්වත් වූ වසන්තෙක නිමාවේ වියෝවෙන් ගිලන් වූ ගිම්හානයෙ පවා මා ඔසවාගෙන යමින් හේමන්තයට ඇරලවා ඉනුත් නොනැවතී මා හැර යමින් එමින් මා තනි කෙරූ නොකෙරූ මතුවෙමින් යටපත් වූ නමුදු නොවෙනස්වූ තරුණ මෝස්තරකාරිය ඔබම පමණැයි..
මායාවේ පවා යථාර්ථයක් මවාලිය හැකි මෝස්තරකාරියට මම මෙපමණක් කියමි..
මේ හේමන්තයයි.. දැන් මා මහළුයි.. නමුදු ඔබ හැඳිනගත් මුල් වසන්තේ පරිද්දෙන්ම පණ ගැහෙන හදවත තවමත් තරුණයි..
ඒ අන් කිසිවක් නොව ඔබ නිසයි..
ඒ අන් කිසිවක් නොව ඔබ නිසයි..
ඉතින් මේ ආදරයේ සැඳෑවේ අන්තිම කඳුළත් ඔබෙ නමටයි..
-රොෂෙල් ෆර්නැන්ඩු-
ආමන්ත්‍රණය දයාබර පන්හිඳටය..
ජීවිතේ එකට අකුරු කෙරූ නුඹ හිටිහැටියේ යන්නට ගොස් ය. තනිවම නොවේය.. අකුරු ටිකත් අරගෙනමය.. නමුදු ඔබ යමක් මෙහි තබා ගොසිනි.. අකුරු වලට අරුතක් දුන් වදන්, ලියන සිත හා තවම මෙහිය.. සිතුවිල්ලේ වදන් සිරවිලාය.. අකුරක් ගානේ රැගෙන ගියද ඔබට යමක් අමතකවීය.. අකුරු ගෙන ගියත් ලියන්නේ මා බව ඔබ අමතක කර ගොසිනි..
අකුරු නැතිව මට ලියන්නට නොහැකි සේ කවි හිතක් නැති අකුරු ඔබටද වැඩක් නැත..
ඔබ මෙහි ඉතිරිකර ගිය වදන් දැන් ඔබ සොයන්නේ නැත.. සොයන්නේ තේරුමක් පමණි.. අකුරු කැටි කොට ලියූ වදනක අර්ථය සොයන්නට නුඹ මෙහි නැත.. නුඹ අර්ථය වෙනුවට වචනය සොයා ගොසිනි..
ආදරය සොයා නුඹ හැර ගියේ ජීවිතයම බැව් මම නුඹට කියමි.. එය නැවත නැවතත් මම නුඹට කියමි.. ආදරය වෙනුවෙන් නුඹ අහිමිකරගත්තේ නුඹෙම ජීවිතය බැව් නුඹටම අමතක විණි.. එය මතකයට නැගෙනා තුරු සුළඟට මම පරණ කවි කියමි..
හුරුපුරුදු තාලෙන් සුසුම් තබමින් පෙර ලියූ කවි නොවරද්දා නොවරදවා කියමි.. පරණ කවි දැන් වියළිලාය.. හැඟුම් තවමත් තෙත් ය. තෙත හැඟුම් ගෙන පරණ කවි තෙමමි.. නුඹ අකුරු ඇහිදිමින් නික්මයන අතරවාරයේ නුඹ පිස හමන තෙත හුළං ඒ බව ඔබට රහසේම කියනු ඇත..
නුඹ කවියෙක් නොවේය.. කවි නොලියන කවියෙකුගේ කිවිඳිය මමය.. කිවිඳිය අකුරු කෙරූ කවියද නුඹය.. කවියක් නොවූ කවියම නුඹය..
කවියක් හරියට රුධිරය වාගේය.. ලියන්නට ලියන්නට උනනවාය.. නොසිඳෙන උල්පතක් වාගේය.. සිත නමැති පන්හිඳෙන් නොසිඳී ගලන කවි උල්පත නුඹ නිසාය.. නමුදු නුඹට නොවේය.. නමුදු නුඹ නිසාය..
මම නුඹට එන්නට යැයි යළි නොකියමි.. නුඹ එන වග පමණක් සිතමින් සිත හදාගනිමි.. එය රැවටීමක් වෙන නොවෙන එක නුඹ අතේය.. විශ්වාසය තබා ගැනීම මා අතේය.. නුඹ ආවත් නාවත් මම කවි ලියමි.. නොනැවතී ලියමි.. අකුරු නැති කළ ලියන්නේ කෙලෙසදැයි නුඹ මෙහි සිටියානම් සුපුරුදු නිහඬ බැල්මකින් අසනු ඇත.. පෙර ලියූ කවි , හිතත් හා මා සතුය.. ලියූ පරණ කවි ලිහමින් අළුත් කවි ලියන්නට හැකි වගක් එවිට මම නුඹට මතක් කරමි..
නුඹට කිවිඳියක් මුණගැසුනේදැයි මම නොඅසමි.. නුඹ හසුරුවන්නට දන්නේ මා බැව් දැන දැනම එසේ ඇසිය යුතු නැති බව දනිමි.. අකුරු රැගෙන ගියත් ඉන් ඵලක් නැති බව ඉතින් ඔබ වටහාගන්නා තුරු නිහැඬියාවකට තුරුල් වෙමි.. සුපුරුදු කවියක් නැවුම් තාලයකින් උරුවම්බාමි.. කවියක් ලියන්න කිවිඳියක ගන්නා වෙහෙස කවියේ රසයට කැටිවුණු බව, කවියක සැඟවුණු දුක මැනැවින් දන්නා නුඹ හැකිනම් නෑවිදින් ඉන්න යැයි කියමි..
ආවොතින් වැළඳගන්නටත් නාවොතින් කවක් ලියන්නටත් සිතට පුරුදුකර අවසන්ය.. ඉතින් ඒ හිතේ බලා සිටීමක් ඉතිරිව ඇත්තේ නැත.. ඇත්තේ තේරුමක් ඇති යමක් ලියන්නට පරණ කවියක් දෙකක් ලිහා දැමීමක් පමණකි.. සිතුවිලි අතරේ සිර කර ගිය කවි සිත තරමක් නිශ්චලය..ගැඹුරුම තැන් ඇඳිනගෙනය.. නිහැඩියාවට පෙම් බඳිනවාය.. කවි සිත උණුසුමට මෙන්ම සීතලටද එක ලෙස ඔරොත්තු දෙනවාය.. හිනාවක් වගෙම කඳුළකටත් එහි ඉඩක් ඇත.. තාරුණ්‍යයට මෙන්ම වියපත්වීමටද සූදානම් ය.. වසන්තයට වාගෙම සිසිරයට කවි ලියන්නටත් ඈට දැන් හැකිය.. ඉතින් නුඹ එන්නට ඕනෑම නැත.. නෑවිදින් ඉන්නට කාරණාද නැත..
නමුදු නුඹට තවමත් නොවැටහුණු කාරණාවකි.. මා ද වටහාගත්තේ ස්වල්පයකි.. වැටහුණු අල්පයද සාගරයක් සදිසිය..
ඉතින් මම ඔබට රැළි නඟමින් කියමි..
ඔබ හැරගිය තැන පටන් මට ඔබ මුණගැසිණි
ඔබ අතැරදැමූ තැනෙහි පටන් ජීවිතය ඇරඹුනි..
ඔබ අහිමි වූ පටන් මට ඔබ හිමිවුණි..
ඔබෙත් මගෙත් අතර අවකාශය කාලය යැයි නම් කරමි.. කාලය අවකාශයක් නන් මම එය තරණය කරමි..
ඔබ ප්‍රමාද වෙන තරමටම ඔබට ආදරේ වෙමි...
මම නුඹට ආදරේමි.
එපමණකි !!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
මියැදෙන්නට බලා සිටිය ආදරයක්..
වසන්තයක මුලදීම පෙමට ඇරයුම් කළෙන්..
මීළඟ වසන්තය තෙක් වත්
පැවැත්මක් නොමැති බැව්
දැන දැනම වුව..
කිසිවෙකුගේ විෂ කැවූ
හුස්ම පොදකට වත්
අසු නොවෙන තරම් රහසින්..
ප්‍රේමයේ මුදු කුසුම පිපෙන්නට ඇත..
ආදරයෙන් දළුලා
සුවඳ ඇති තරමට තවරලා
එය පරවී ගිය බවත් ඇය දනී..
විකසිත වූ ලෙසින්ම පරවී යන්නට
සිදුවන බවක් ඇය දැන සිටියාය..
ඒ නමුත් ඈ සුවඳ බෙදුවාය..
ඈ මලකි.....!!!
සුවඳ දී පරව යනු හැර
මලක් අන් කුමක් කරන්නද...
යෞවනියගේ මලින් බරවුණු
සොඳුරුතම කාලය
එසේ ගෙවී යන්නට ඇත..
මිහිමත ගෙවූ මිහිරිතම අවධිය එම
වකවානුව බවට ඇගේ සිතේ මතක කුසුමක් පැලවිනි..
ඇයට කෙතරම් ආදරේදැයි
දිනක් මල ඇසුවාය..
මලට "ඕනෑ තරමට" ආදරේ බැව් කියැවිණි...
හිතට ඇති තරමක් ආදරය දෙන්නට පොරොන්දූ වූ ඇගේ ඉරමල
වසන්ත කාලය ගෙවෙන්ටත් පෙරම
ගිම්හාන සුළඟින් කාශ්ටක විය..
සුළඟ දිගේ ගලා ආ දීප්තිමත් කිරණින්
ඇගේ ආදරයේ සුමුදු මල් පෙති
එකිනෙක මිලාන විය..
සැබැවින්ම එය මියෙන්නට පිපි ආදරයකි..
ඒ බැව් දැන උන්නෙන් ඈ නිහඬවම
කඳුළක් හෙලන්නට ඇත..
කාටත් රහසේ ඈ පිපුණු සේම
නිසලවම.. හුදෙකලාවේ..
ඇගේ නික්මයාම ද සිදුවිණි..
ඈ නැති බවක් දැනී ඉර මලත්
ඈ සොයන්නට ඇත..
ඒ නමුත් ඒ වසන්තයේ අගභාගයයි..
ගිම්හානය පැමිණ තිබිණි..
ගිම්හානය පුරාවට ඈ තනිවන්නට ඇත..
ඈ පරවී වැටුණු තැනින්
යළි මල් පිපුණේ නැත !!
ඉතින් මම..
"ඇගේ ආදරය" මිහිදන් කළෙමි.
-රොෂෙල් ෆර්නැන්ඩු-
තරුවක් වීම 🌟
විශ්වයම ඔබව අන්ධකාරය වෙතට තල්ලු කළද බලාපොරොත්තුවේ පහන් එළි ඔබ හා තිබෙන තුරා ආලෝකය ඔබ පසුපස්සේ නිරන්තරයෙන් හඹා එනු ඇත. ❤️ ලොවක් එකතු වී ඔබව අඳුරේ ගිල්වමින් වෙහෙසට පත්කිරීමට උත්සුක වන විටෙකද නිහතමානී සෞම්‍ය වූ එළියකින් සිනාවක් දැල්විය හැකි නම් වෙහෙසට පත් වන්නේ ඔබ පෙළන්නට තතනන අන්ධකාරය විනා ඔබ නොවේ. හැකි සෑම විටෙකම අන්ධකාරය වෙත මඳ සිනා එළි පාන්න. එයින් නැගෙන මඳ ආලෝකයෙන් වුව අන්ධකාරය පහව ගොස් ජීවනයේ ආලෝකය ඔබ කරා ළඟාවනු ඇත.. 💛💛💛
විදුලි බුබුළු දහස් ගණනකින් ආලෝකමත් වූ කුටියක සැනින් විදුලිය ඇණහිටුවීමකින් අඳුරේ ගිලෙන්නට තත්පරයක ප්‍රමාදයක් ගත නොවනු ඇත.නමුදු එකම එක ඉටිපන්දමකින් එම තත්ත්වය සහමුලින්ම වෙනස් මඟකට යොමුකරමින් කුටියේ අඳුර මකාලිය හැකි බවද අප අමතක කළ යුතු නැත. ☺ ජීවිතයේ ඇතෑම් විටක අප විසින් කොයිතරම් ආලෝකය දුන්නද අප අඳුරේ ගිලෙනකම් බලා ඉන්නා අන්ධකාරයේ සෙවණැලිද නැතුවාම නොවේ.. 🙃 ඒ හැම විටෙක පවා ඔබ ආලෝකයක් මිස අන්ධකාරයක් නොවන බව සිහියේ තබා ගත යුතුය. 💖 කොයිතරම් ඝනදුර පෙළන්නට ආවත් ආලෝකයේ ක්‍රියාවන් අත්නොහැරිය යුතුය. එවිට ආලෝකයට නතුවීම විනා අන්ධකාරයට කළ හැකි කිසිවක් නොමැත. 🙂 අඳුරේ මායාවන් අපට එරෙහි වන වාරයක් පාසා ආලෝකයම පමණක්ම පෙරළා දෙන්නට තරමේ සිතක් අප තුළ පවත්වා ගත හැකි නම් කිසිදාක අප සතු ආලෝකයේ ප්‍රභවයනට හානි කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙනු ඇත. 😇
සියල්ලටම වඩා වැදගත්ම කරුණ වන්නේ ඔබ ආලෝකයක් විනා අන්ධකාරයක් නොවන වග #තරයේම මතකයේ තබා ගැනීමයි.
සියලු අන්ධකාරයේ ක්‍රියා ගැන කම්පාවී දොසක් නඟනවා වෙනුවට ආලෝකයේ නිශ්චල වූ සිතකින් ඉවසීමෙන් බලා සිටිය හැකි නම් ජීවිතයේ ඔබ විසින් යා යුතු මාවත නිරායාසයෙන් විවර වනු ඇත. අන්ධකාරයෙන් වැසී ගිය කළු කුහර මාවත් වල පවා නොබියව ඇවිද යාමට ඔබේ ආලෝකය විසින් ඔබට මඟ සලසනු ඇත. ඔබේ ඉවසීමේ කෙළවර විසින් ආලෝකයේ සිහසුන කරා ඔබව රැගෙන යනු ඇත. එබැවින් ඉවසීමෙන් රජ වෙන්නැයි මම ඔබට කියමි. කුරිරු යැයි මතුපිටින් පෙනෙනා බොහෝ අන්ධකාර හදවත් වලට පවා වඩාත් අවැසි දේ ආලෝකයේ මාවත්ම පමණක්ම යැයි මම විශ්වාස කරමි. එබැවින් අන්ධකාරයේ ගිලෙන විශ්වයක තරුවක් වන තරමේ ආශිර්වාදයේ ආලෝකයයක් තවත් නැතැයි මම ඔබට කියමි.. 🙂 🌟 🌟 🌟
සඳ හැරදා අහස වසා
තරු නිවා දමා
හිරු ගිය තැන නැතිය ළකුණු
අදුරේ ලොව නිමා
විශ්වයෙනුත් ඉවත හෙළු
තරු මඬලකි මා
නමුත් දොසක් නොපවසාම
එළිය බෙදමි මා.. 🌟
තරු නිවා දමා
හිරු ගිය තැන නැතිය ළකුණු
අදුරේ ලොව නිමා
විශ්වයෙනුත් ඉවත හෙළු
තරු මඬලකි මා
නමුත් දොසක් නොපවසාම
එළිය බෙදමි මා.. 🌟
රොෂෙල් ෆර්නැන්ඩු-
Sunday, June 9, 2019
හාදුවක කතාවක්..
ඒ කොළ හැලෙන කාලයේ දවසක් ය.. 🍁🍁🍁
අවසාන වරට ඈ විසින් මුවින් නොඉල්ලාම නිරායාසයෙන් ඔහුගෙන් හාදුවක් ලත් දවස එය විණි.. අවසාන වරට පිරිමියෙකු විසින් ඈව සිපගත් දවස එය බව ඈ නොසිතන්නට ඇත.. එයින් පසු ඇගේ සීතල කම්මුල් මත උණුසුමක් තියන්නට කිසිවෙකු ආවේ නැත.. යළි ඒවිදැයි දන්නේද නැත.. ඔහු හැර වෙන කිසිවෙකුට ඒ සඳහා අවසරයක් නොමැති හෙයින් උණුසුම් කාරුණික හාදුවක් පිළිබඳ බලාපොරොත්තුවක් තබා ගැනීමටද ඇයට ද නොහැක..
එබැවින් ඈ ආදරය කරන අයෙකුගෙන් සිපගැනීමක් ලත් අවසාන දවස ලෙස එය ඇගේ මතකයනට එක් කර ගන්නට ඇත.. උදාවන වසරක් පාසා ඒ දිනයට ඇගේ මතක අළුත් වී සීරූවට හදවත පාරා යලි හදවත පතුලට ඒ හැඟුම ඇගේ ආදරය සමඟින් සැඟව යනු ඇත..
අනතුරුව උදා වූයේ බිම වැටුණු වසන්තයේ මල් හිම සුළඟේ ඈතකට පාවයන දවසක්ය..
🍂🌸🍂🌸🍂🌸🍂🌸🍂🌸🍂🌸🍂🌸🍂🌸🍂
ඒ ඈ විසින් ඔහුව අවසන් වරට සිපගත් දවසයි.. කළුවර රෑක දුර ගමන් ගන්නා බසයක සමුගන්නට පෙර ඔහු නොඉල්ලාම ඈ ඔහු මත හාදුවක් තැබූ දිනයයි..
එය ඔහුට අවැසි නොවන්නටත් ඇත. නමුදු ඈ හදවතින්ම ආදරය කරන ඔහු සිපගන්නට ඈට උවමනාවක් තිබිණි. ඇගේ හදවත පුරාවටම දැනෙන ලෙස ඈ ඔහු මත හාදුවක් තබා පිටව ආවාය. ඒ ඔහු ගැහැනියකගෙන් ලත් අවසන් හාදුව නොවන බව ඈ දනියි.. නමුදු ඒ ඈ පිරිමියෙකුට දුන් අවසන් හාදුවයි..
ඉන් පසු උණුසුමක් තබා හැඟීමක්වත් ඇවිත් යන්නට නොසිතන ජීවිතයේ ශීත සෘතුවට ඈ නික්ම ගියාය.. ගිම්හානය ඇයට අත වැනීයේ "නුඹට ආදරය අකැපයි" කියමිනි.. වස්සානයේ සීතල ඈට ගින්දරක් පමණි.. ඒ සීතල වැහි වැටෙන වෙලාවක හිරිවැටුණු දෙතොලත් ගිම්හානයේ දී ඉරිතැලුනු හදවතත් පමණක්ම ඇගේ තනියට සිටි බැවිනි.. පෙම්වතුනට මල් පිපෙන කුරුළු ගී ගැයෙන සොඳුරුතම වසන්තය ඇයට දැන් සිහිනයක්ම පමණි.. හුදෙකලා හදවතක මිහිරියාවක් ඇත්නම් ඒ යළි නොඑන වසන්තෙක ඉමිහිරි මතකයක සුවඳ පමණි..
එනමුදු ආදරය අපූර්වතම බැඳීමක් බව ඈ තවමත් සිතයි..ඒ ඇගේ හිතුවක්කාර ආදරයේ හැටිය.. සීතලෙන් ගල් ගැසී ගියද ඈ යළි යළිත් කීවෙම ආදරය පිවිතුරුම ඉමිහිරි හැඟුමක්ම බවය
මේ අළුත් මල් පිපෙන වසන්තයේ දවසකි..
ඉනික්බිතිව ඈ හාදුවක් ලද්දේ නැත...!!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
උපැස් යුවල
එය මතක වස්තුවක් ලෙස මා සන්තක වූයේ ඔහු තරුවක් සොයා අහසට ගිහින් හත්දොහොකුත් ඉකුත් වූ පසුවය.. ඔහු පරිහරණය කළ ඒ මහාර්ඝ වස්තුව පරිස්සමින් මාගේ පැරණි එකතුන් අතරට එක්කරගතිමි.. ගතින් වෙන්ව ගිය ද ඔහු මා ළඟ තවමත් සිටිනා හැඟීමක් මවා ගන්නට එය මහත් උපකාරයක් වූ දවස් අනන්තවත් ය හැරයාම් මේ තරම් බැරෑරුම් ලෝභ උපදවනා ආකාරයේ හැඟීම් බව මුල්වරට ජීවිතයට දැනෙන අයුරින් මට කියාදුන්නේ ඔහු විය යුතුය. ඇතෑම් දිනක කාන්සියෙන් විඩාපත් මොහොතක මා එය බහා ඇති පෙට්ටිය විවෘත කර ඒ මහාර්ඝ වස්තුව අතට ගනිමි.
ඒ ද බොහෝ පරිස්සම් සහගත හැඟීමෙන් ය. එය ස්පර්ශ කරනා වාරයක් පාසා මා හට ඒ සනීපවත් හිස පිරිමැදුම යළි යළිත් විඳ ගත හැකිය. එය අතට අරන් දෑස් පියාගත් කළ අඳුරු ඇසිපියන් යට පසුගිය අතීත වකවානුවක වූ ආලෝකයේ දවස් මට මවාගත හැකිය. දැනුදු ඕනෑම අඳුරු තත්පරයක ඇස් පියාගත් වනම ඒ ආලෝකය විසින් මාගේ අඳුර පහ කරන බව උදක්ම මම විශ්වාස කරමි.
තවමත් ඒ කරුණාවන්ත මනුෂ්‍යයා මා හැර ගියේ නැති බව මම දනිමි. ඔහුගෙන් මාගේ ආත්මයට ඇතුළු වූ යහපත් හැඟුම් සමුදායන් වලින් පෝෂණය වෙමින් ජීවිතය ඇහිදිනා චමත්කාරජනක ඔහුගේ පළමු මිණිබිරිය මම වෙමි.. නැත.. වඩාත් වාසනාවන්ත මිණිබිරිය මම කීවොතින් එය වඩා නිවැරදිය..
මන්ද ජීවිතේ වැඩිම කාලයක් ඒ අපූරුම මිනිසා ඇසුරේ හැදුනු වැඩුනු වාසනාවන්තම දරුවා මම වූ බැවිනි.. ඉතින් මා එසේ කීවාට එහි වරදක් නැත.. පසුගිය දින අයිවෝ ඩෙනිස් මහතාගේ අභවප්‍රාප්ත වීමත් සමඟ යළිත් මා හට ඒ උපැස් යුවල අතට ගන්නට උවමනාවක් දැනුනි.. ඒ ඔබ මතක් වූ නිසාය. ඔබේ ඇවෑමෙන් පසුවත් ඔබේ පරපූරේ ගෞරවාන්විත, ඔබේ මිනිස් සුවඳම ඔවුන් ළඟත් ඇතැයි සැළකෙන කිහිප දෙනෙකු අතරින් ඔහුද එක් සුවිශේෂී චරිතයකි. ඔබ මට කුඩා කළ ගැයූ ඒ ගීත අතර ඔහුගේ ගීතද බොහෝ තිබීම නිසා මට යම් දැනෙන අන්දමේ කණගාටුවක් අයිවෝ මහත්මයා ගැනද උපන් බව සත්‍යයකි. ඒ ඔහු ගේ රූපකාය ඒ පැරණි සුවඳවත් බව ඔබ ගාව තිබුණු සුවඳම බව කාලයක් තිස්සේ දැනුනු නිසා විය යුතුය.
ඉතින් නැවතත් පෑරුණු හිතින් සුමිහිරි මතකයක් අවුස්සාලීමට මා යළිත් එය අතට ගතිමි..
ඇතෑම් වියෝවන් හි මතකාවර්ජනයන් බොහෝ සේ මිහිරිතමය. ඒ මතක අතර බලවත්ම මතකය තවමත් නුඹම විය යුතුය.
දෙමටගොඩ පොළට මගේ අතින් අල්ලාගෙන එක්ක ගොස් ඇසට ලස්සනටම පේන පිළිවෙලින් අතුරාපු රතු පාට තක්කලි, ඇස නිවන කොළපාට අමුමිරිස්, දම්පාට වම්බටු , අල ගෝනි පිරුණු විසිතුරු ලෝකයට මා එක්ක ගියේ ඔබය. වායුසමනය කළ සුපිරි වෙළෙඳසැලකින් ඒ මිහිරියාව කිසිදාක නොලැබෙන බව නම් කිවයුතුමය. සෙනඟ ගැවසෙන උරින් උර ගැටෙන ඉරිදා පොළේ මා ගැටුනේ ඉඟටි අතරය.. කුඩා බට්ටියක වූ පොඩි බැබුනා දවස් වල ලස්සනම මතක රැස් වූ තැනක් වූයේ ඉරිදා පොළය. එක අතක බඩු රැසක් සමඟ අනික් අතින් එල්ලී උන්නේ ඔබේ ආදරණීයම හුරතලා වූ පොඩි බැබුනාය. අදටත් මා ඇයට තරමක් ඉරිසියා කරමි. අද උස්මහත් වී වැඩී සිටියාට කුඩා කළ විඳි ඒ මිහිරියාව ඈගෙන් දුර ඈතක වීම එක හේතුවක් පමණකි.
පෝලිමට වූ එළවළු කඩ අතර ඔබ නිතරම එළවළු මිලට ගන්නා කඩයට යන විට මා ප්‍රීතියෙන් ඉපිලෙමි. ඒ කඩේ අයිතිකාර අයියා මා අලගෙඩියක් තක්කාලි ගෙඩියක් ගත්තා කියා මුකුත් කියන්නේ නැත. ඇසට ලස්සනම විසිතුරු පාටින් ඇතිරූ එළවළු ගෙන මෙහා කොනේ පොල් කඩයට ඔබ ගිහින් පොල් මිලට ගන්නා අතරේ පුංචි අත් වලින් දෝතින්ම ගත් පොල් ගෙඩියක් සොලවමින් "සීයේ සීයේ මේකත් හොඳ පොල් ගෙඩියක්" කියා මා කියන්නේ මා ද පොල් තෝරන්නට දන්නා ලොකු කෙල්ලක් වග පෙන්වන්නටය. කලටි පොල් ගෙඩියක් තෝරා එය හොඳ බව කීවත් මාගේ ආඩම්බරයට හානියක් නොකර ඔබ සිනාසී හිස වනන්නේ කුඩා දරුවෙකු හා හැසිරෙන්නේ කොහොමද කියා සඳහන් වූ ළමා මනෝ විද්‍යා පොත් කිසිවක් නොකියවාමය. දරුවෙකු හා යහපත් ඇසුර ඔබ තරම් හොඳින් කිසිවෙක් නොකරන්නට ඇති බව වැටහෙන විටත් ඔබ මා හැර ගිහින් ය. පොල් තෝරා ඒ පොල් අතර යකඩ උලකින් රෙදි පටි යවා ඒවා ගෙනයන්නට ලේසි වන පරිදි පොල් කඩේ වැඩ කරන කොල්ලා ගැටගසනා'යුරු පවා එකල මට ආශ්චර්යමත් දෙයක් වූ හැටි සිතනවිටෙක අද මගේ මුවඟට සිනාවක් නැඟෙන්නේ නිතැතිනි. මට ඔසවා ගත හැකි කුඩා එළවළු බෑගයක් ඔබ මගේ අතට දෙන්නේ මාගේ පෙරැත්තය නිසා ය.
ඉනික්බිතිව මා රැගෙන ආයෙමත් මෙහා කොනට එන ඔබ කරවල කඩයට එද්දි පොළක වූ විවිධත්වය, ඒ ඒ තැන් වලට ආවෙනික වූ සුවඳ කුඩා කළම මම හඳුනාගතිමි. ඔබ වඩාත් ප්‍රිය කළ බොම්බිලි කරවල ආච්චි අම්මා බඳින්නේ එයට ආවේණික වූ ගන්ධය ගැන දොසක් නොනඟා ය. උම්බලකඩ, කට්ට කරවල, බල කරවල, හාල් මැස්සො පිළිවෙලින් අසුරාපු පෙට්ටි කඩයට කඩ දෙක තුනකට මෙහායින් කොස් ගහ යට මස් කඩේ අසල මිනිසුන් පොරකන නිසා ඔබ එනතුරු කොහේවත් නොයන ලෙස අසලකින් ඔබ මා තබා යන්නේ බඩු මලු ටික මා දෙපා අසල රඳවමිනි.
මස් වලට අමතරව නිතර යන එන පාරිභෝගිකයෙකු ලෙස හිතවත් වූ ඔබ වෙනමම මස් කටු අරගන්නා බව මා එකලද දැන උනිමි. ඒ අල්ලපු ගෙදර වූ රෝසි නමැති බලු පැටවා වෙනුවෙනි. ඔබගේ ඒ කාරුණික බව එයින් පවා මා අත්දුටුවෙමි. විටෙක බලුපැටවා වෙනුවෙන්ම මස් කටු පිස ඔබ දුන් හැටි මා මතකයේ ඇත. බත් සමඟ හොඳින් අනා සතෙකුට පවා ඔබ කෑන දුන්නේ බොහොම පිළිවෙලින් බව මා මතකයේ ඇත.
මස් කඩයෙන් පසු ආයෙමත් මෙහා කොනට ඒම මට නන් මහන්සියක් නොව විනෝදයක්ම පමණකි. එකළ පොලේ යාම මට දිව්‍යලෝකයට ගියා හා සමාන මිහිරි අත්දැකීමක් වූ බව මට මතකය. ඩේවිඩ් එකෙන් මා ආසා කරන පරිප්පු කඩල හා ඔබත් ආසා කරන බූංදිද රැගෙන පාර පැන එහා පැත්තේ ශාන්ත මැතිව් පාසලට ටිකක් මෙහායින් වූ කෙසෙල් කඩයට අපි යන දවස් අදටත් මට වචනයෙන් ප්‍රකාශ කළ නොහැකි තරමේ සතුට දනවන මතකයන් ය. ඔබ මා රැගෙන යන එකම ගමනක් වුව එකළ මට විශ්ව විද්‍යාලයක් වෙන්නට ඇත.
සුපිරි වෙළෙඳසැලක තල්ලු කරන් යන කරත්තයක ඉන්දවූ කුඩා දරුවෙකුට වඩා මා කොයිතරම් වාසනාවන්තදැයි අදටත් සිතෙන්නේ මා ඒ අත්දැකීම් ඇසුරේ කොයිතරම් විචිත්‍රවත් වූ ළමා කාලයක් ගෙවුවා දැයි සිහිපත් වීමෙනි.
"අපි ශෝට් කට් එකෙන් යමු" කියා ආයෙමත් මෙහා කොනට විත් ඒ අසල වංගුවේ වූ සරුවත් කඩෙන් සව් සව් ඇට දැමූවෙන් උඩ පැන පැන නටන රසම රස සරුවත් බී ආයෙමත් නිවසට නොනැසුනු සතුටින් මා එන්නේ මඟ දිගට අතොරක් නැති මාගෙ ප්‍රශ්න වලට වෙහෙසක් නොපෙන්වා උත්තර බඳින ඔබේ කරුණාවන්ත බව නිසාවෙනි. ආයූර්වේදය පහු කරත්ම එන බෙහෙත් සුවඳ විඳින්නට ආස කළ නිසා ඉස්කෝලේ පාරට නොහැරී ඔබ ආයූර්වේද පාරේ ගමන් කරන්නේ මා මුවින් නොඉල්ලාම වුවත් මාගෙ සතුට රැඳී ඇති තැන් ඔබ දන්නා නිසා විය යුතුය.
මේ යටකී විස්තර ඔබේත් මගේත් එකම එක ගමනක පවා අල්පමාත්‍රයක්ම පමණකි. තාරාවො බලන්නට, හරකුන් එළුවන් බලන්නට, ඔංචිලි පිට්ටනියට එක්ක ගිය ගමන් අතර වූ රස කතා ලියන්නට මා පසුබහින්නේත් කෙළවරක් දැකිය නොහැකි නිසාමය. මේ සියලු මිහිරි මතක අවදි කරන ඔබේ උපැස් යුවල හා මට තරමක තරහක් ද විටෙක නැතුවාම නොවේ.. ඒ ක්‍රමයෙන් ඔබ වියපත් වූ බවට එය එක සාක්ෂියක් වූ හෙයිනි.
පසු කාලයේ හාන්සිපුටුවට වී ඔබ බයිබලය කියවූ හැන්දෑවන් වල ඔබට උපකාර වූ උපැස් යුවල මේය. චූටිතරු පත්තරේ සියල්ල සම්පුර්ණ කර වැඩ පෙන්වීමට ඔබට පත්තරේ දෝතින්ම දික් කල පොඩි බැබුනාගෙ වැඩ බැලීමට උපැස් යුවල ඔබට ඕනෑ විය. පුස්තකාලයෙන් ගෙනා ලේඩි බර්ඩ් සළකුණු සහිත ඉංග්‍රීසි පොත් වල කතා කියා දීමට උපකාරි වූ උපැස් යුවල මෙය උනත් ඔබේ අලෝකයේ ඇස් තරමක් වියපත් බවට සිහිපත් කළේද ඒ උපැස් යුවලමය. වයසට ගියත් පිරිසිඳුවට පිළිවෙලට ඉන්නට ආස කළ ඔබ හිස කළු කළ හෙනා නිසාත් නිතොර සිනාමුසු මුහුණින් විනෝදයෙන් ගයමින් විසිළු කරමින් සිටින නිසාත් ඔබ ඒ තරම් වයස නැති බව සිතන්නට මගේ සිත ආස කළත් ඒ ආසාවට බාධා ඇති කල උපැස් යුවල මේය. සමහරක්විටෙක මා හට මඳ අමනාපයක් ඇත්තේ ඒ උපැස් යුවල නිසා ඔබ වියපත් වෙන බව තදින් දැනුනු නිස විය යුතුය. ඔබ වයසට යනවාට මා කොයිතරම් අකමැති වූවත් ඔබ ක්‍රමයෙන් වියපත් වූ බව සිහිකරවන උපැස් යුවල මේය. නමුදු මා එය පරිස්සම් කරමි. ඒ ඔබේ සුවඳ කැවූ මා සතු වටිනාම සම්පත එය බැවිනි. ඔබේ දෑස් අතර බොහෝ කල් රැඳී උන් සුමිතුරා බැවිනි.
ඒ නමුත් දැන් දැන් හැන්දෑවට මා දකින්නට අකමැති තවත් දර්ශනයකි.
හවස හයට විතර සාලයේ පුටුවකට වී උපැස් යුවලක් පැළඳගෙනම බයිබලය කියවීමට තාත්තාද පටන් ගෙන ඇත.
-රොෂෙල් ෆර්නැන්ඩු-
මාළු ටැංකි
ජීවිතේ සමහර අවස්තාවල සමහර මිනිස්සු හරියට ටැංකියක ඇති කරන මාළු වගෙ. මුළු ලෝකෙම තියෙන්නෙ ටැංකිය ඇතුළෙ බව හිතාගෙන,මවාගෙන එකම සීමාවෙ පිහිනමින් වැටෙන දෙයක් ඔහේ කකා ජීවත් වෙන්නන් වාලේ ජීවත්වෙනව. කවුරුහරි ටැංකිසුද්දෙක් ඇවිත් ඉන්න වපසරිය පිරිසිඳු කරල දෙන නිසා හිතෙන හිතෙන පරිදි අහංකාර නොහික්මුණ විදියට තමන් ජීවත්වෙන වටපිටාවම අපිරිසිඳු කරනව. වීදුරු වලින් ආවරණය කරපු පෙට්ටියක් ඇතුළට වෙලා සීමිත පිරිසක් වටකරගෙන උදම් අනමින් සාටෝප දොඩවන්නෙ ගැඹුරු නිල් මහ සාගරේ අඩුපාඩු ගැන.
ඔක්සිජන් ටිකත් බටේකින් ගන්න ඔවුන් ටැංකියට විතරක් පොර උනාට කුණාටු ගැන මොනවාද දන්නෙ. ඇතෑම් විට තමන්ට වඩා විශාල මසුන්ගෙන් දිවි රැකගනිමින්, තමන්ට අවශ්‍ය කෑම තමන් විසින්ම වෙහෙස මහන්සි වී සපයාගනිමින්, නැව් බෝට්ටු වල දැති රෝද වලට හසුවෙවී තුවාල වෙමින් වගෙම හැකි උපරිම ආරක්ෂා වෙමින් බිලිකොකු වලට නොරැවටී යන මුහුදු ජීවිතේ මාළුවෙකුට කොයිතරම් අමාරුද.?
ඒ සියල්ල දරාගෙන උනත් මුහුදකින් මාළුවෙකු එකතු කරගන්නෙ අත්දැකීම් විතරක් නෙවී ජීවිතයත් යථාර්ථයත්. කුණාටු අතරෙ උනත් ගැඹුරු නිල් මහා ලස්සන ලෝකය ඔවුන් අත්විඳිනව. ඇත්තටම ඔවුන් ජීවිතේ සැබෑ ලෙස ජීවත් වෙනව. ඉතින් ඒ වගේ මුහුද දන්න මාළුවෙක් හදිසියෙ ටැංකියකට ගෙනත් අතෑරියත් ජීවත් වෙන පිළිවෙල දන්නව. මොකද ඌ මුහුදත් ටැංකියත් අඳුරන නිසා. හැබැයි අහංකාර ලෙස ටැංකියක පොර වෙන මාළුවා හදිසියෙ වත් ගිහින් මුහුදට අතහැරියොත් කුමකින් කුමක් වේවිද. දෙඩූ කටමැත සහ අහංකාරය මිස මුහුදේ ජීවිතේ හා ඔට්ටු වෙන්න ඒ තරම් පහසු වෙන්නෙ නෑ. කට නිසා ඉක්මනට නහින්නෙ අන්න ඒ වගෙ අහංකාර මමත්වයෙන් යුතු මාළුවො.
ඒ නිසා ලස්සන කොරපොතුත් පිහිනන ආරත් වරළ් දෙකකුත් තිබූ පමණින්ම සැබෑ මාළුවෙකු වෙන්න බෑ. ව්‍යාජ ජීවිතයකට හිර වෙලා නොමිලේ ලැබෙන සම්පත් නිසා අහංකාර වෙමින් "මම පොර" මානසිකත්වයෙන් ටැංකියක ඉඳන් මුහුද ගැන තක්සේරු කර කර ඉන්නවට වඩා හොඳයි අසීරු උනත් චමත්කාරජනක වගෙම කුණාටු සහිත මුහුදක සැබෑ මාළුවෙක් වගෙ ජීවත්වෙන එක.
ටැංකිය ලස්සන කරන්න වෙරළෙන් ඇහිදන් ආව සිප්පිකටු ගැන පුරාජේරු කියනවට වඩා වටින්නෙ සැබෑ මුතුවක් තනන්න බෙල්ලෙක් විඳින දුක ගැන අවබෝධය තියෙන මාළුවෙක් වෙන එක.
ටැංකියේ ස්විච් එක දාන්න අමතක උනු දවසක ඉන්නන් වාලේ ජීවත් වෙලා මැරිල යන මාළුවෙකුට අන්තිම මොහොතෙත් පණ අඳිමින් පසුතැවිලි වෙන්න කාරණා ඕනෑතරම්.
ජීවිතේ අසීරුතා මැද උනත් යථාර්ථයට මුහුණ දෙමින් මුහුදක ඉපදිලා මුහුදෙම ඔට්ටු වෙලා මුහුදෙම මැරෙන දවසකත් සැබෑ මාළුවෙකුට කණස්සල්ලක් ඉතිරි වෙන්නෙ නෑ. මොකද ඒ මාළුවා ජීවිතයටත් මුහුදටවත් ණයක් නෑ.
-රොෂෙල් ෆර්නැන්ඩු-
කියන්න පෙර සිතා බලන්න..
රූපය කියන්නෙ අප බොහෝ විට සැළකිලිමත් වෙන දෙයක්. විශේෂයෙන්ම බාහිර ස්වරූපය කියන්නෙ පුද්ගලයෙකුගෙ අනන්‍යතාවයට අදාල වල කරුණක් වගෙම ගැහැණු පිරිමි භේදයක් නැතුව අප ඒ ගැන උනන්දුවෙනව වගෙම අප බොහෝ විට දකින්නට කැමති වෙන්නෙත් ඇසට ප්‍රියමනාප දේවල්.
කියවන ඔබත් ලියන මමත් අපි බොහෝවිට කැමති ධනාත්මක වචන අහන්න, යම් විශේෂ ඇගයීමක් ලබන්න, උදෑසන මුණගැහෙන කෙනෙක් ඔබට "ඔබ අද හරිම ලස්සනයි" කියා පැවසූවොත් ඒ දිනය පුරා ඔබ ඉන්නෙ බොහොම ප්‍රබෝධයෙන්. නමුත් අපි කෙනෙකුගෙන් ඇගයීමක් ලැබීමට විනා පෙරලා කෙනෙක් අගයන්න තරමක් මැලියි.
ඒ වගෙම නිතරම අනික් පුද්ගලයෙකුට අපහසුතාවයක් ඇති වෙන අන්දමේ වචන අපගේ මුවින් පිටකරන්න දෙපාරක් නොසිතන බහුතර සමාජයක සැබෑ ලෙස ඇගයීමට පාත්‍ර විය යුතු යමක් දුටුවොතින් ඒ සඳහා අව්‍යාජ ප්‍රකාශනයක් කරන්නේ බොහොම කුඩා පිරිසක්.
ඒ වගෙම අද කාලයේ මම දකින දෙයක් තමයි මිනිස්සු ගොඩක් වෙලාවට සැබෑව ප්‍රතික්ෂේප කිරීම. අපි දකින යථාර්ථයට වඩා අපි දකින්න කැමති මායාව පස්සෙ යන්න අපටවත් නොදැනිවම මේ සමාජ මාධ්‍ය හරහා යම්කිසි පෙළඹීමක් ඇතිවෙලා තියෙනව. ලියන මාද ඇතුළත්ව කියවන ඔබත් සචේතනිකව වේවා අචේතනිකව වේවා ඒ පෙළඹීමට ජීවිතේ වරක් හෝ යටපත් වුණු අය බව නිසැකයි.
මෙහිදි රූපය කියන කාරණාව ගත්තම බොහෝ විට ස්ත්‍රී පාර්ශවය සාපේක්ෂව වැඩිපුර ඒ ගැන උනන්දු තරමටම සංවේදි. ඒ සංවේදිබව නිසාම බොහෝ විට කඩාවැටුණු තරුණියන් , ගැහැණුන් අප අතර ඕනෑතරම්. තමන්ට උපතින්ම හිමිවූ සමේ පැහැය , මුහුණුවර, රූපකාරය නිසා පිරිසක් සතුටු වෙනකොට තව පිරිසක් අසතුටු වෙන තත්වයක බියුටි කැම්, යූ කැම් ආදී ඇප් භාවිතයන් තාක්ෂණයත් එක්කම සමාජයට එකතු වෙනව. ඒ ඇප් භාවිතය නිසා පැහැය තරමක් තද පැහැති යුවතියන්ට පැහැපත් තමන් බලාපොරොත්තු වෙන පැහැයත් , පැහැපත් වූවත් කුරුලෑ , ලප කැළැල් නිසා අපහසුතා වින්ද යුවතියන්ට පැහැදිලි සමක් සහිත මුහුණකුත් ආදි නොයෙක් නොයෙක් ආදර්ශක රාශියක් හිමිවෙනව.
මෙතෙක් කල් ඔවුන්ගෙ රූපයන්ට අපහසුතා ඇති වෙන ප්‍රතිචාර දැක්වූ අයගෙන් පිරිසක් "Wow" " පට්ට" මාදිලියේ ප්‍රතිචාරයන් දක්වන කොට ඉනුත් තවත් පිරිසක් ඉන්නව තවදුරටත් හෙළා දකිමින් "බියුටි කැම් නිසා හොඳයි, අපො පිටි ගෑව වගේ, ගෝරි ගාලද සුදු උනේ" වගේ සමච්චල් සහගත වදන් භාවිතා කරමින් රිදවන.
මේකප් සහිත පින්තූරයකට "අපෝ මෙයා පිටි නාලා වගේ " වැනි ප්‍රතිචාර දක්වන ඇතෑම් අය ඒ පුද්ගලයාම මේකප් හෝ බියුටි ඇප් එකකින් තොරව සාමාන්‍ය ඉන්නා පරිදි පින්තූරයක් දැමූවත් ප්‍රතිචාර දක්වන්නෙ " අපෝ දැන් නන් හොඳටම වයසට ගිහින් වගේ, අර බලන්න මූණෙ රැලි, ඇස් වල ගැහිලා , වැනි සෘණාත්මක අදහස් වලින්. අදාල පින්තූරයේ පෙනී සිටින්නා අවිවාහක නම් ප්‍රතිචාරය ඊටත් එහා ගිය දිගුවක් වෙන අවස්තා ඕනෑතරම් , "දැන් නන් කල වයස හරි වගේ පෙළවහක් කරගත්තා නන් හරි, වැනි විවිධ වූ ප්‍රතිචාර වලින් යුක්තයි.
මා දකින්නේ ඔවුන් කිසිම ආකාරයකින් මනුෂ්‍යයෙකුට නොරිදවා ඉන්න බැරි කොට්ඨාසයක් ලෙසින්.
ඉහත මා කී ක්‍රියාකලාපයන් සියල්ලෙන්ම සිදුවන්නෙ අපට අපවම අහිමිවීමක් වගෙම වෙනසකට ඇත්තේ දෙවනුව කී පිරිස නිසා ඒ අහිමිවීම තරමක් වේදනාකාරි වීම පමණයි.
මනුෂ්‍යයෙක් ඉන්නා හැටියට ඔවුන් භාරගැනීමට අප සූදානම් වූවා නම් , මවාගත්, බලෙන් ආරූඨ කරත් රූපකායට වඩා කෙනෙකුගේ සැබෑවට ආදරේ කිරීමට මොහොතක් හෝ සිතුවා නම් තවදුරටත් හිත් රිදීම් නොතිබේවි.
මේ ඇප් භාවිතයන්, බාහිර ආලේපන වැනි නොයෙකුත් දෑ භාවිතයට මිනිසුන් පෙළඹෙන්නෙ තමන්ට තමන් ගේ රූපය ප්‍රමාණවත් නොවුනු තැනක, නැතිනම් වැඩිදුර ආලෝකයක බලාපොරොත්තු සහිතව.
ඉහත සියල්ලටම මිනිසුන් පෙළඹීමට මූලික කාරණාව යහපත් ඇගයීමක් ලැබීමට ඇති කැමැත්ත.
ඒ ඇප් භාවිතයේ වත් ඇගයීමක් ලැබීමට ඇති කැමැත්තේ වත් කිසිදු වරදක් නෑ. වරද තියෙන්නෙ කොතනද. අප අපෙන් බාහිර අයෙකුට ප්‍රතිචාර දක්වන ආකාරයේ නොවේදැයි මා ඔබෙන් විමසනව.
උපතින් තද පැහැයෙන් යුතු යුවතියක් දිගින් දිගටම සුදු වෙන්නට කල්පනා කරන්නෙ අප බොහෝ පිරිසක් විසින් කාලෙක සිට එල්ල කරන ප්‍රතිචාර වල පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස නොවේද, උසින් තරමක් අඩු තරුණයෙක් තමාට වඩා උසින් වැඩි අයෙකු අසල සිටගෙන පින්තූරයකට පෙනී සිටින්න දෙපාරක් සිතන්නේ ඇයි කියා ඔබ වරක් සිතුවාද.
අප විසින් සමාජයේ එක එක පුද්ගලයාට අපට ඕනෑ හැටියට ලේබලයන් ගැසීම මා දකින තවත් දුර්වලතාවයක්. වෛද්‍යවරයෙක් නම් මේ ආකාරයෙන් විය යුතුයි. ගුරුවරියක් නම් මේ ආකාරයෙන් විය යුතුයි ආදි විවිධාකාර ලෙස. රැවුල් විලාසිතාවත් අපිළිවෙල කොණ්ඩයත් නිසා අයෙක් ගංජා බොන රස්තියාදු කැම්පස්කාරයෙක් ලෙසත් මනාව කොටට කැපූ කොණ්ඩයත් ඇසේ දෘෂ්ටියේ යම් ආබාධයක් නිසා පළඳින උපැස් යුවලත් නිසා යම් පිළිගත් වෘත්තිකයෙකු ලෙසත් අප විසින් මිනිස්සුන්ට ලේබල් ගසනව. චෙක් ෂර්ටයක බොත්තම් අපිළිවෙලට දැමූ තරමක් අවුල් හිස කෙසින් යුත් පුද්ගලයෙක් හා බොහොම වැදගත් යැයි සම්මත ආකාරයෙන් හැඳ පැළැඳි පුද්ගලයෙක් සසඳමින් ඔවුන්ගේ සැබෑ අභ්‍යන්තරය මේ මේ ආකාරයෙන් මෙසේ විය හැකි යැයි පවා අනුමාන කරන අවස්‍තා පවා මේ සමාජයේ සුලබයි.
අප යම් කෙනෙකුගෙන් ඇගයීමක් ලබන්නට කැමති සේම අපෙන් ද යම් ඇගයීමකින් මනුෂ්‍යයෙක් සතුටු වනවා නම් වියදමකින් තොරව පිරිනැමිය හැකි එවන් වූ ආදරයක් දෙන්නට අප ප්‍රමාද වන්නෙ ඇයි. අඩුපාඩුවක් දුටුතැනක එය කීමට මැලි නොවන අප ඇගයීමක් කළ හැකි යමක් දුටු විට නුදුටු සේ මඟහරින්නේ ඇයි. ඔබ ඔබගේ හදවතටම තට්ටු කර බලන්න. ඔබේ එක වචනයකින් තව කෙනෙකුට දිරිමත් කිරීමක් එකතු කරනවාද තවදුරටත් අධෛර්යයට පත් කරනවාද කියා.
වරද තියෙන්නේ ඇප් භාවිතයේවත් ආලේපන වලත් පින්තූර වල වත් නොවෙයි. වරද තියෙන්නෙ යමක් ඔබ දකින ආකාරයේ සහ ඔබ එය භාරගන්නා ආකාරයේ.
රූපය, ආගම, ජාතිය කුලය වැනි කෙනෙකුගේ අතිශය සංවේදි කාරනා සමච්චලයට ලක් නොකර ඔවුන් ඔවුන් හැටියටම භාරගැනීමට හැකි නම් හිත් රිදීම් අවම වෙන මේ ලෝකය වඩාත් ප්‍රියමනාප තැනක් නොවේදැයි මා ඔබට යෝජනා කරනව.
ඔබේ රූපයෙන් ඔබ කොයි ආකාරයෙන් හිටියත් මනුෂ්‍යයෙක් හැටියට ඔබට මා ආදරෙයි කියා කියන්නට හැකි දවසක ව්‍යාජ හිනාවකට වඩා අව්‍යාජ සතුටු කඳුළු වල වටිනාකම ඔබට දැනේවි.
ප්‍රියමනාප දේ දකින්න නම් ප්‍රියමනාප දේ කරන්න කටයුතු කිරීම අප සතු කාර්‍යයක්. ❤️
-රොෂෙල් ෆර්නැන්ඩු-
මගෙ පහන
මගෙ හදවතේ පහන ඔබය. මම ද එහි පහන්තිරය වෙමි. ආදරයේ තෛලයෙන් මාද අවුලුවාලමින් ඔබ ආලෝකයෙන් දැල්වේ. ඇගේ සුසුම් වැදී විටෙක ඔබ නිවේ. මම ද නිවී යමි. ආලෝකය නිවී අන්ධකාරය පැතිර යයි. එවිට මගේ හදවත ගිනි ඇවිලී මම දැවෙමි. ඔබ නිවුණු විට එම ශෝකයෙන් මා දැවෙන බව ඔබ දනී. මම යළිදු ඔබ දල්වමි. මා ඇවිලෙමින් වුවද ඔබ දල්වාලන්නට ඇළුම් කරමි. එයින් මගේ ගත විඩාපත් වුවද නික්මෙන ආලෝකයට මා ප්‍රියකරන නිසාවෙනි. නිවෙන හැමවිටෙක මා ඔබ දල්වන්නේ ඔබ නැති සොවින් මා හදවත පත්තුවෙන බැවිනි.
ආදරයේ තෛලයෙන් පෙගී පහන්කඩ පහන් දල්වා සැමට ආලෝකය බෙදයි. පහනක් දැල්වීමට තෙල් තිබීම ප්‍රමාණවත් නොවේ. එයට පහන්තිරයද අවැසිය. එනයින් මා දැල්වී ඇවිලී අළුවී නිවී යමි. එවිට පහනේ තෙල් ද සිඳි ගොසිනි. නිවුනු පානකට සුළඟින් විඩාවක් නැත.සුළඟ නිරතුරුවම හමා විත් ඔබ පෙළන බව දනිමි. එබැවින් මා තවත් නොදැල්වීම ඔබ අඳුරේම තබා රහසේම නිවී යමි. එයින් ආලෝකය නිවී ගියද පහන හෝ නිවී සැනසෙනු ඇත. ඔබ විඩාපත් වනු දැකීම මට වේදනාවකි. ඉතින් මඳ කලක් ඔබ හා දැල්වී මා අළු වී යන්නේ නිරාමිස ප්‍රීතියෙනි.
මන්ද ඔබ මා දැල්වූ මගේ පහනය.
____________________________________________
ඔබ ඇගේය
ඔබ මගේය
හිමිකම ඈටය
අයිතිය මා වෙතය
හිමිකම දෙන්නේය
අයිතිය නොදෙන්නේය
ඔබ ඇවිලෙන්නේය නිවෙන්නේය
ඈ නිවෙන්නේය නිවෙන්නේය
ඔබ අවුලන්නේය නිවෙන්නේය
මා නොනිවෙන්නේය වැලපෙන්නේය
ඔබ මගේය
හිමිකම ඈටය
අයිතිය මා වෙතය
හිමිකම දෙන්නේය
අයිතිය නොදෙන්නේය
ඔබ ඇවිලෙන්නේය නිවෙන්නේය
ඈ නිවෙන්නේය නිවෙන්නේය
ඔබ අවුලන්නේය නිවෙන්නේය
මා නොනිවෙන්නේය වැලපෙන්නේය
මේ සා අයුක්තියකට ඔබට සමාවක්!!!
ඔබ එයට නුසුදුසුය
සුදුසුකම් ලබන්නේය
ඔබ එයට නුසුදුසුය
සුදුසුකම් ලබන්නේය
ඔබ ඈ නිවන්නේය
ඔබ මා දවන්නේය!!!
ඈ නිවෙන්නේය
ඔබ නිවෙන්නේය
මා නිවුනා සේ හිදින්නේය
ඔබ එයින් සැනසෙන්නේය!!!
ඔබ මා දවන්නේය!!!
ඈ නිවෙන්නේය
ඔබ නිවෙන්නේය
මා නිවුනා සේ හිදින්නේය
ඔබ එයින් සැනසෙන්නේය!!!
ඇගේ හැගීමක තෙත
ඔබ සිඹින්නේය උරන්නේය
මගෙ හැගුම් පෙරන්නේය මනින්නේය
හාදු දී ඈ තවන්නේය පිසින්නේය
මා තනිව හඬන්නේය දොඩන්නේය
ඔබ සිඹින්නේය උරන්නේය
මගෙ හැගුම් පෙරන්නේය මනින්නේය
හාදු දී ඈ තවන්නේය පිසින්නේය
මා තනිව හඬන්නේය දොඩන්නේය
ඈ නිවන්නේය ඔබ නිවන්නේය
මා දවන්නේය තනිවේය
ඈ තෙත ගැහැණියකි ඈ තෙත්වෙලාය
මා ද තෙත ගැහැණියකි වියළිලාය !!
ඔබ ඈ තෙත්කළේය ඔබ ඈ තෙත්කළේය
ඔබ මා තෙත්කළේය ඔබ මා වියළුවේය
මා දවන්නේය තනිවේය
ඈ තෙත ගැහැණියකි ඈ තෙත්වෙලාය
මා ද තෙත ගැහැණියකි වියළිලාය !!
ඔබ ඈ තෙත්කළේය ඔබ ඈ තෙත්කළේය
ඔබ මා තෙත්කළේය ඔබ මා වියළුවේය
ඔබ ඇයට ආසක්තය ඇය ඔබට ආසක්තය
ඔබ මටද ආසක්තය මම ඔබට ආසක්තය
ඔබ ඇවිලෙමින් නිවෙන්නේය
ඈ නිවෙමින් දැවෙන්නේය
මා නොනිවම දැවෙන්නේය
හැගීම් තෙතබරියම්ය
නමුදු වහා ඇවිලෙනා සුළුය
ආදරයකි
බැදීමකි හැඟීමකි
සම්ප්‍රයෝගයකි
විප්‍රයෝගයකි
වේදනාවකි
ගින්නකි!!
මා දැවෙමි
ඔබ මටද ආසක්තය මම ඔබට ආසක්තය
ඔබ ඇවිලෙමින් නිවෙන්නේය
ඈ නිවෙමින් දැවෙන්නේය
මා නොනිවම දැවෙන්නේය
හැගීම් තෙතබරියම්ය
නමුදු වහා ඇවිලෙනා සුළුය
ආදරයකි
බැදීමකි හැඟීමකි
සම්ප්‍රයෝගයකි
විප්‍රයෝගයකි
වේදනාවකි
ගින්නකි!!
මා දැවෙමි
ඔබ නිවමි
-රොෂෙල් ෆර්නැන්ඩු-
තලාක් !!!
තලාක් !!!
මගෙ ජීවිතය මලක් සේ පිපුණාය. ඔබ දෝතින්ම නෙළුවේය.. මලක් සේ රැගෙන මුදු සුවඳ උරා ඒ දෝතින්ම පොඩිකර අහකට විසීකලේ ඔය අත් ය.. ඔබ දෑතේ මිරිකුණු ප්‍රේමය ය.. ඔබ දෑතේ මිරිකුණු ප්‍රේමිය ය..
මා ජීවිතයම ගෙන යළි අතරමඟ පෙති සලා ඔබ විසින් මට කළ අසාධාරණයේ තරම ඔබට නොතරම්ය.. ඔබ තවම එය නොදන්නේය.. එය තේරුම් යන්නට තව කල් මදි බව විතරක් කියමි.. එපමණකි...
මට ඔබව අමතකම කරන්නට ඕනෑය.. මා එළවා දැමූවාටත් වැඩියෙන් ඉවත දමන්නට ඕනෑය... ඒ හා සමානව ළඟ රඳන්නට ඕනෑය.. ජීවිතේ කරගන්නට ඕනෑය.. ආදරය කරන්නට ඕනෑය .. වෛර කරන්නට ද ඕනෑය.. හිත හදන්නට ඕනෑය බනින්නට ද ඕනෑය.. සමාව දෙන්නට ඕනෑය.. නොදෙන්නට ද ඕනෑය.. මට දුක් දුන් ඔබ දකින්නට ඕනෑය..මා රිදවූ ඔබ මතකෙන් අමතක කරන්නට ඕනෑය.
ඔබ නිසාවෙන් බිම පරවී වැටුණු "මල්" හැම තැන විසිරිලා ගොසිනි..
ඔබ නිරුවත් දෙපා වලින් ඒ මල් අමදිනවා යැයි කියමින් ඒවා පාගා පොඩිකර දමන'යුරු ඇස්මත ඇඳී බොඳවී යමින් තිබේ..
ප්‍රේමය අපරාජිත මල් උයනකි
නමුත් ඔබ පරාජිත ප්‍රේමවන්තයෙක් පමණි.. මා මෙලෙස කියන්නේම ඔබ රිදවන්නටමය.. ඉතින් ඔබටත් රිදෙන්නට ඕනෑමය..
මල් තලන්න ඔබට ඇහැකි නම් බඹරිදු පෙලන්න මලට ඇහැකි බව ද කියමි..
මා ඔබ දෑතේ පොඩිවී පරවී මිරිකී ගිය මලකි..
ඔබ නිසා පරාජිත ප්‍රේමයකි.. ප්‍රේමියකි..
මේ ඔබ නිසා හැඬු ඇස් ය
ඔබ හැඬවූ ඇස් ය
ඔබට ආදරේ දුන් ඇස් ය
ඔබ ආදරේ පැහැරගත් ඇස් ය
ඔබට නොරිදවූ
ඔබ රිද්දූ ඇස් ය
ඔබව මතක නැති නොකළ
ඔබ අමතක කළ ඇස් ය
ඔබ එනකල් බලා සිටි ඇස් ය
ඔබ අත්හළ ඇස් ය
ඇරුණු ඇස් ය
පියවෙනා ඇස් ය
ඔබට මතක නැති ඇස් ය
-රොෂෙල් ෆර්නැන්ඩු-
මඟ දිගේ..
ඕලු නෙළුම් නෙරිය රඟාලා...
කිකිණි හඬන වළා නගාලා...
පෙර පාසල් අවදියේ පටන් මා ප්‍රිය කළ ගීතයක මියුරු තාලය බටනලාවකින් ගලා ආවේ නොසන්සුන් කලබල නගරේ සන්සුන් මොහොතකට සිත සනහාලන මිහිරියාවකිනි.. මම විමසිලිමත් දෑසින් හාත්පස විචාරා බැලීමී.. උමං මඟට පිවිසෙන මාර්ගයේ පඩිපෙළ අභියස මිහිරි වාදනයේ හිමිකරු මා සිටින දෙසට විරුද්ධ දෙසින් පඩිපෙළ පාමුල බිම වාඩිවී ගත්වනමය.. දෙනෙත් පියවිලාය. අතැඟිලි මත හරි අපූරුවට බටනලාවක් සිරවිලාය. මියුරු ගීයක් වැයෙන නමුදු රිද්මයෙන් කියැවෙන්නේ කියාගත නොහැකි රිදුමක් යැයි මා සිතට හැඟවී ගියෙන් වඩාත් විමසිලිමත් වූයෙමි. අඳ දෙනෙතත් අතැති බටනලාවෙන් ගලා එන සොඳුරු රිද්මයත් ජීවිතේ කටුක බව කියාදෙන්නේ සියුම්ව රිදුමකින් හදවත පිරිමදිමිනි. මා සිටගෙන සිටිනා පඩිපෙළ පාමුළ අන්ධ මවක් කුඩා දරු දෙදෙන තුරුළු කරගෙනම කලබලයේ එහා මෙහා දුවන ජීවිත වලට අතපාගෙනය. ඔහු ඇගේ සැමියා විය යුතුය. හය හතරක් නොදැනම වීදියට සින්න වූ අහිංසක පැටවුන් දෙන්නාගේ පියා විය යුතුය.
කුඩාවට හිල් සෑදුණු ටින් බෙලෙක්ක පිඟාන මතට මහ වරුසාවේ සද්දයද පරයා හරි සද්දෙට ඉද හිටෙක රුපියලක් දෙකක් වැටේ.. නොනවත්වා බටනලාව වැයේ. ඇතෑම් දවසක සද්දෙට වැටෙන රුපියලක් ගානේ එකතු කර මිලට ගන්නා බත් මුලක හොදි හිල් වූ බෙලෙක් පිඟාන අතරින් බේරෙන විටත් අර අම්මා දෑතින්ම ඒ වසා දරුවන්ට හරි හම්බු කරගත් සියල්ලෙන්ම හැකි තරම් කුස පුරවන්නට වෑයම් කරනවා විය හැක.
වෙහෙසකර දවසක නිමාවෙන් කාර්යාල නිමවී ධාරානිපාත වැස්සටද අසුවී තෙතබරියම් වී ගෙදර යාමට ඉස්පාසුවක් නොමැතිව බෙරිකර ගත් මූණු දහස් ගණන් එහා මෙහා දිවෙයි. බටනලාවේ මිහිර විනා ශබ්දයවත් ඔවුන්ගේ කන වැකෙන්නේ නැතුවා නිසැකය. බෙලෙක් පිඟානට වැස්ස නිසා තවත් අඩු සැලකිල්ලකි. අතොරක් නැතිව හැල්මේ දුවන ඒ ජීවිතද දියවෙන්නේ නිවසට වී සිටිනා කුසගිනි දැනෙනා දරුවන් උදෙසා විය හැක. එබැවින් බටනලාවේ තාලය නොඇසීම පිළිබඳව දොසක් නැගිම එතරම් සාධාරණ නොවේ.
එක් පසෙකින් දරුවන්ගේ කුස පිරවෙනු වස් දස අත දිවෙනා ජීවිතය. තවත් පසෙකින් බටනලාවක් යදින්නේද දරුවෙකුගේ කුසගිනි නිවීමට බත් කටකි.
මහපාරේ හැම තැනකම ජීවිතය යදින්නේ මවුවත්කමත් පියවත්කමත් නොවේද.. ඔවුන් සිඟන්නන් ලෙසින් නොව දෙමව්පියන් සේ එකලෙස ඇඳින්නෙමි.
ඔබ හතිලමින් නිනව්වක් නැතිව දුවන අතරවාරයේ ජීවිතයේ තවත් පැතිකඩක් නොමසුරුව උගන්වන මොවුන් වැන්නවුන් දෙසත් තත්පර කිහිපයක බැල්මක් හෙලීමට අමතක නොකරන්න. රුපියලකින් නොහැකි නම් කරුණාවන්ත සිනහවකින් හෝ සංග්‍රහ කිරීමට තරම් කාරුණික වන්න. ඔබගේ එක දයාබර බැල්මක් පවා ඔවුන් හට දිරිගැන්වීමක් විය හැකි බැවිනි. අවසානයේ බෝහෝ දේ හිතේ දරාගෙන මම ද අනික් වැන්නවුන් සේම තදබදයේ වුව හැල්මේ දුවන්නට සැරසෙන, ඉහින් කනින් දහදිය පෙරාගත් මඟින් ගෙන් උතුරා ගිය බසයට ගොඩවුනෙමි.
අවසන මා උගත් කරුණකි...
ගීතයකට සුමිහිරි තාලයක් ඇත.. එනමුත් දුකට රිදුමක් විනා රිද්මයක් ඇත්තේ නැත..
-රොෂෙල් ෆර්නැන්ඩු-
මාවතේ මල්
ගැහැණු ළමෙක් කියන්නෙ මලක් වගේලු
පුංචි දවස්වල මා ළඟින් තියාගෙන
තාත්තා කියන්නෙ එහෙම.. ඒත් මොන මලක් ද කියලා නම් කීවේ නෑ තව..
හැමෝම ආස කරන, ලස්සන පාටින් තියෙන..සුවඳ පිරුණු, නටු අග කටු තියෙන
ඒත් ලස්සනම..
රෝස මලක් වාගේ ද 🌷🌷🌷
එහෙමත් නැතිනම්..
ඕනෑම තැනක පැළවෙන ලේසියෙන් මැරෙන්නෙ නැති ඉඩෝරෙත් එක්ක
හරි හරියට ඔට්ටු වෙන..
නියං කාලෙටත් නොසෙල් වී ඉන්න
සිරුර පුරාවට කටු වාගෙම වතුරත් තියෙන පතොක් මලක් ද.. 🌵🌵🌵
මල් ගැන කියන්න ගියොත් කාරණා එමටයි
තාත්තා හරි.. ගැහැණු ළමයි මල් වාගේ තමයි.. අවාරෙට පිපුණොතින් ඉක්මනින් පරවෙනවා..
මල් කැකුලක් කලින්ම පිපුණොතින් ඹමරුන් ඇවිත් රොන් අරන් මලේ ලස්සනම කාලේ වෙනකොටත් මලට රේණු තියා මලේ සුවඳ වත් නෑ..
දවසක්දා මං බස් එකේ යනකොට මන් දැක්කා ඉස්ටේසමේ අයිනකට වෙලා දුර ඈත දිහා බලන් ඉන්න රෑට පිපෙන මලක්..
කාටවත් අයිති නැති කඩුපුල් මලක් නැතිනම් සේපාලිකා මලක්..
රෑට පිපෙන මලක්.. ඒත් මේ ගිනි දවාලේ..??
එහෙම තමයි තාත්තේ.. දැන් මෙහෙ මල් පිපෙනවා අවේලාවටත්.. මල් ගස් වල හැදුනාට සල්ලි ගස් වල හැදෙන්නේ නෑනේ..
එයින් සතියකට විතර පස්සේ බිනර පෝයට
වතුසුද්ද මල් ටිකකුත් වට්ටියක පුරෝලා මන් ගියා පන්සල්.. මෙන්න වැඩක්.. එදා අවේලාවේ ඉස්ටේසමේ ගිනි දවල් පිපුණු කඩුපුල් මල බුදුන් නමදින්න ඇවිත්..
එදා තරම් විසිතුරු නැති හින්දමද මන්දා තරමකට වැහැරිලා වාගෙයි මට පෙණුනේ..
වත්සුණු නැතුවට , තරමක් මැලවිලා වගෙත් පෙණුනට හඳ එළියට ඈ හරි පින් පාටයි කියලයි මට නම් හිතුණෙ..
කඩුපුල් මල් පිපුණු විගසින් පූජා කලොතින් පින් මල්ලයි කියලා අත්තම්මා ඉස්සර කියනවා..මට ඒක මතක් උනා..
ඈ දෝතින්ම මල් වට්ටියක්ම පූජා කරලා "පූජේමි බුද්ධං" කීවේ සංසාරේ කොතැනක වත් ආයේ මලක් වෙලා නූපන්නෙමි වාගේ..
කඩුපුල් පිපෙන්නෙ රෑට.. නිශාචරයින් ඈට හරි කැමතියි.. ඒත් ඒ රෑට... උදේට පරවෙනවා.. උදේට ඈ දැක්කත් නොදැක්ක ගානට ඉගිලිලා යන්නේ රෑ පුරාවට ඇගේ සුවඳ විදගත් නිශාචරයින්මද කියලත් ඈට හිතෙනවා ඇති.. ඒත් ඒ කඩුපුල්ම තමයි අපි බුදුන් වදින්නත් නෙලාගන්නේ..
සංසාරේ පුරාවට කඩුපුල් පිපෙන්නෙ රෑටනේ..
බුදුන්ට පූජා වුණත් නිවන හරි දුරයි නේද තාත්තෙ..
තව දවසක් කොටුවේ ලංගම බස් නවත්වන තැන මං දැක්කා තවත් හෙන්දිරික්කා මලක්..
ඒ මල විතරක් නෙවෙයි.. මල් කැකුලත් අරන් ඇවිත්.. මල් පොහොට්ටුවකුත් වඩාගෙන..
කොයි ආත්මෙක පව් ගෙවන්නද මේ පිපිලා තියෙන්නේ.. මට හිතින් කියැවුනා..
දෙබරෙක් මලට කිට්ටු කලා.. අනේ අර කැකුල අතට මල් පොහොට්ටුව දීලා කැකුලට හාදුවකුත් දීලා පරිස්සමින් ඉදින් කෙල්ලෙ කියලා හෙන්දිරික්කා මල කොහේටද යන්න ගියා..
මේ මල් කවදා බුදුන් පිදෙන්නද තාත්තේ..
කලාපෙ වැඩ ඇරිලා හති දම දම එන කැලෑ මල්.. හොඳටම තෙහෙට්ටුවෙන්
ඒ උනත් ලස්සනයි.. පියකරුයි.. සුවඳයි!!!
මුහුණේ ගෑව වත්සුණු යට කදුළු කතා එමටයි..
තමන්ගේ එව්වෝ කැලේ පරවෙන්න නොදී රැකගන්න
කලාපෙ මැෂින් වල නේක මල් මෝස්තර මහන අහිංසක කැලෑ මල්..
පාර දෙපැත්තෙම ඹමරුන්.. කොහොමහරි මලක් නෙලාගන්න බලාගෙන..
බිම බලාගෙන යන තරමට පරිස්සම්..
තාත්තා හිටියනම් එහෙම කියයි..
මම කොහේ යන්නද කියලා හිතා ගන්න බැරිව පාරට බැස්සා..
වාහන තදබද අස්සේ පුංචි පුංචි පිච්ච මල්
බඩගින්නට අතපානවා...
උන් ගාව සුවඳ නෑ දැන්.. වාහන දුමාරෙට කළුපාට වෙලා..
"සතුටින්ම ඉන්නෙ සුදු පිච්ච මල්.."
නංගීට "ප්‍රියංවදා" කියලා නම දැම්මෙ ඇයි කියල ඇහුවම තාත්තා කීවෙ එහෙමයි! හැබෑටම මේ සුවඳ සමන් පොකුරු නේද.. මට හිතින් කියැවුනා..
මට ගෙදර මිදුල මතක් උනා.. !!!
නිල් කටරොළු බුනීල මල් මිදුල පුරා පිපිලා..
පිච්ච වැලේ සුවඳ ගෙදර පුරාවටම...
අම්මා මල් වවන්නේ ඇහේ තියාගෙන..
මන් ගමට එනවා තාත්තේ....!!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
-කිරි මුට්ටිය ගඟේ ගියා-
සිහිනයේ කුමුදු මල් පැළඳ
සයනයේ සුමුදු සඳ නිදිද
සිඹිමි මම ආදරෙන් වැළඳ
නුඹ ගාව ඇයිද මෙතරම් සුවඳ
හෙල්මැලි පවා හඬන රාස
සුදුමැලි වෙලා කොපුල් රෝස
කම්මැලි වෙලා නැති ය ඕස
සියුමැලි ය තව තුනයි මාස
පා සුතරලේ දඟය උකුලත පුරා
ආ හැටියේ යනවාද හදවත ඉරා
වා තලයේ සුසුමන් ය මිහිමත උරා
මා හිටියේ ප්‍රේමයෙනි කුසමත දරා
නොසිඳුනෙන් ගඟිත්තක් කිරි මූද අයා
තවම අර ගලනවා සිඟිත්තා සොයා
රිදෙන පපු කැවුත්තේ වේදනා නිවා
ආයේමත් එනවාද පොඩිත්තෝ ඔයා
-රොෂෙල් ෆර්නැන්ඩු-
Thursday, June 6, 2019
කණමැදිරි පුතුනි...
මා කුසේ දැල්වෙනා පුංචි කණමැදිරියෝ
නුඹේ මුදු එළිය මට ගින්දරක් නොවේ
නුඹ දකින්නත් පෙරම කුසට ගිනි තියනවෝ
මේ නුවර විසාලා පුරයක්ද සිතේ
නුඹෙ පිය බඹරින්දු ඉගිල ගිය දිසාවක් - නෑ
පෙමක සලකුණක් ඉතිරිවිය කුසේ
නුඹ දරන ගැබ උසුල උපන් දුක මහමෙරක්
ගත බින්ඳ නපුරු හීනයක් මෙනි හිතේ..
තාරුකා මල් නෙළන දැරිවියකි තවම නුඹෙ
කිරි සුවඳ හැර නොගිය හුරුබුහුටි අම්මා
වසන්තෙක හිස ඔසවා යන්තමින් බලද්දී
නෙළාගත් කුසුමෙකිය සුවඳ නැත නිම්මා
අවජාත පුරවරයේ සුජාතයි මගෙ මැණික
අවලාද කියනවුන් ඉවසපන් පුතේ
ගල් ගසා මා බිමට හෙළනමුත් රකින්නෙමි
ගත රිදුම් දෙන නමුත් සවිය ඇත හිතේ
මා ගතම දියවෙමින් නුඹව දල්වාලමින්
කියන්නේ සෙනහසේ කතාවයි හිතේ
එළිය මිස කළුවරට නොවේ උරුමය නුඹේ
කණමැදිරි ලස්සනම රෑ කාලේ පුතේ
ලොව නුඹට කොයිතරම් කළුවරක් ගෙනාවත්
ලස්සනම එළිය බිඳු විහිදපන් සිතේ
රෑ අහස හැඩ කරන තාරුකා තරමටම
මිහිපිටට ලස්සනම ඒ සිතයි පුතේ..
-රොෂෙල් ෆර්නැන්ඩු-
Subscribe to:
Posts (Atom)