බොහොම කාලෙකට පස්සෙ හොඳින් ඉර පායපු දවසක්.. සුවදායක සුළඟක්.. ආරණ්‍යමය හුදෙකලාව කියන්නේ එහැමපිටින්ම මල් සුවඳක්..
මේ සියල්ල පෙරදා රැයේ එකමෙක ඇමතුමක් නිසා නේද.. බොහොම සන්සුන්වත් කල්පනාකාරීවත් මම හිතන්න ගන්නවා..
මෙයාකාරයෙන් නිහඬබව නිදහසේ මට විඳින්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. මින් පෙර වගෙම මින් පසුවත් පායන්නේ මේ ඉරම බවත් හමාගෙන යන්නෙ මේ සුළඟම බවත් මම නොදන්නවා නොවෙයි කියලා ඔබ දන්නවා.. ඒත් මේ නිවීමත් මේ සැනසිලිදායක හැඟීමත් පරිසරයෙන් උරාගන්න හදවත තෙත මාත්තු කලේ ඔබ කියා ඔබ දන්නවාද..
ඇත්තමයි! දුරකථන ඇමතුමක් කියන්නේම තෙත මාත්තුවක්.. එයත් ඔබගේ කටහඬින් යුතු වීම කොයිතරම් ප්‍රසන්න හැඟීමක් ද.. වියළි කර්කශ හැඟුම් එක්ක සාංකාවෙනුත් කාන්සවෙනුත් අඩුනැති විඩාබර හිතකට ආදරණීයයෙකුගෙ ඇමතුමක් කියන්නේ තෙත මාත්තුවක් තමයි..
සුළඟ පුරුද්දට හමාගෙන යනවා තමයි.. ඒත් ඒ සුළඟට ආදරයේ තෙත තැවරුවෙ ඔබ.. ලෝක සම්මතයට වගේ ඉර පෑව්වාට ඉරු රැසක උණුසුම සනීපවත්ව කම්මුලේ තැවරුවේ ඔබ..
ඔබෙන් වන ඇමතුමක මෘදු වදන්, ආදර දෙඩුම්, ප්‍රේමනීය කෙඳිරිලි හොයාගන්න එක මට අසීරු උනත් රළු කටහඬක පවා තියෙන්නේ රැකවරණය, සැලකිල්ල, සොයාබැලීම බව මට අදටත් දැනෙනවා.. ගිරවියක වගේ මම නෝක්කාඩු විතරක්ම දිගහරිනකොට ස්ථීර හඬකින් තරමක් සැර වී උනත් නැවතිල්ලේ ඇහුම්කන්දීමක පවා දැනෙන්නෙ තමන්ගෙකම බව ඔබ විතර කියා දුන් මිනිසෙක් මෙලොව තවත් මම දන්නෙ නෑ.. මට දැනගන්න උවමනාත් නෑ..
කටහඬක් තුළ මේ තරම් මායාවක් තියෙන්න පුළුවන්ද?? පුළුවන්! ඒක මම අත්විඳිනවා.
මගෙ දයාබර රවීන්ද්‍ර..
කොයිතරම් කාලයක් ගෙවුනත් ආදරේ වයින් වගේ.. පරණ වෙන තරමටම මිහිරියි.. මත්කරවන සුළුයි. ඔයාගෙ ශාරදාට දැන් එහෙමත් හිතෙනවා..
නිතරම හමුවෙලා කතා බහා කරමින් පවත්වා ගෙන යන, එසේ නොකලොතින් පවත්වාගෙන යන්න අසීරු යැයි හැඟෙන බැඳීමකට වඩා නිතර දකින්නට නැතත් හමුවන්නට අවකාශය බොහොම සීමිත උනත් ඒ කිසිවක් නොතකා හදවතින් රැකබලාගන්නා බැඳිමක් මොන තරම් ශක්තිමත් ද? ඔබේ ඇමතුම කෙළවර මම සිතන්නට පටන් ගත්තෙ එහෙම..
නිතර ඇස නොගැටුනොත් බිඳී යන බැඳීමකට වඩා නොදැක සිටින කාලයක් අතරතුර පවා පෙර තිබුණාටත් වඩා වැඩියෙන් හදවතින් බැඳෙන බන්ධනයක මොනතරම් ශක්තියක් ගැබ් වෙලා තියෙන්නට පුළුවන්ද? වඩා ශක්තිමත් එහෙම ප්‍රේමයක් බව ඔබ වචන වලින් නොවෙයි ක්‍රියාවෙනුත් මට පෙන්වනවා.. එහෙම බැඳීමක් අතරට වෙන කිසිදු අයෙකුට, කාරණාවකට මැදිහත් වෙන්න බැරි බව මම වටහාගන්නවා..
හමුවීම් වෙන්වීම් සංසාරයට අමුතු අළුත් දේවල් නෙවෙයි. අපෙ හමුවීමත් අමුත්තක් නෙවෙයි.. මම තවදුරටත් කල්පනා කරනවා.. හමුවීම් වගෙම වෙන්වීම් පවා තාවකාලිකයි.. ඒ ගැන මම තේරුම් ගත්තෙ එහෙම..
මලක් කියන්නෙත් පරවීමක් ළඟ පිබිදීමක්.. ඉතින් වෙන්වීමක් අගට නැවත තියෙන්නෙත් හමුවීමක්.. මම හරි බව ඔබත් දන්නවා..
තාවකාලික වෙන්වීමක් කියන්නේම ප්‍රේමයට හරි ආදරණීය තල්ලුවක්.. මොකද ඒ තාවකාලික වේදනාබර කළලය තුළ තමයි සදාකාලික බැඳීම කියන ආදරණීයම දරුවා බිහිවන්නේ.. වෙන්වීම තාවකාලික වෙන්නෙම ඒ සදාකාලික බැඳීම නිසා.. ඒ බැඳිමට ප්‍රේමය යැයි අපි නමක් දෙනවා! නොනවතින නොසිඳෙන දිගුකල් ප්‍රේමය.. ජීවිතේ කොයිතරම් නම් ගැඹුරුද.. මම හිනැහෙනවා!
කොපමණ වරක් ඔබෙන් විමසුවත් හිතට මදි හිතෙන ඒ බොළඳ ප්‍රශ්නය මම අන්තිම පාරටත් ඇහුවා!
ඔයා මට පොඩ්ඩක් වත් ආදරේ නැතිද?
හැඟීම් වචන වලට පෙරළන්න ඔබ ඒ කාලෙත් මැලියි. දැන් කිසිසේත්ම එය නොකරන බව ඔබ කියා සිටියා. ඒත් අනතුරුව ඔබ හරි අපූරු යමක් කීවා.
ශාරදා.. ඔයා මම ගැන දන්නව නේද? ඔයා දන්න ඒ මිනිහ ගැන හිතන්න. ඔයා මම ගැන.. මගෙ හිත ගැන දන්න ඒ දේ තමයි ඇත්ත!
මේ ටික කාලෙට ඔයා හරිම ප්‍රෙහෙලිකාකාරයෙක් වෙලා රවීන්ද්‍ර! ඒත් මම නිවුනා!
මම දැන් ඉස්සර තරමටත් වඩා වචන පාවිච්චිය අඩුයි ශාරදා! හිතක් පපුවක් නැතිකම නෙවෙයි..ඒත් හදවතින් කතා කරන එක මම අඩුවෙන් කරන දෙයක්. මොකද හදවත කියන්නෙම බොහොම පහසුවෙන් රිදෙන්න පුළුවන් තැනක්. ඔයාට රිදෙන්න පුළුවන්. මම ඒකට කැමති නෑ. මට දැනෙන දේවල් මම හිතන දේවල් ඔයාට කියනව කියන්නෙ මගේ වේදනාව මම ඔයාට පවරනවා වගෙ වැඩක්. මම මගේ හිතේ හැඟීම් මගෙ ළඟම තියන් ඉන්නෙ ඒකයි. ඒත් එක දෙයක් විතරක් දැනගන්න. මම අදටත් එදා හිටපු මිනිහමයි!
ඔබේ ඒ වචන එක්ක මගෙ ඇස් වලට ගලාගෙන ආවෙ කඳුළු නෙවෙයි සැනසිල්ල!
මට පරණ ලෙංගතුකමම දැනුනා!
ඔයාගෙ හිතේ තැනක මම ඉන්න බව තරම් නිවීමක් මට තව කොහෙන්ද? මාව එතැනින් ගිලිහෙන්න දෙන්න එපා රවීන්ද්‍ර! මොකද මම ඉන්න කැමති එකම තැනත් එතැන!
ඔබ එදා හුන් මිනිසාම වීම මොනතරම් සහනයක් ද.. දින කිහිපයක් තිස්සෙ ගිනිගහමින් තිබුණු හිත එක තත්පරයෙන් නිවුනා. එදා ඔබ තුළ වූ මිනිසා අපමණක් මට ප්‍රේමය දැක්වූ බව මට අමතක නෑ. ඉතින් එදා හුන් මිනිසාව අදටත් ජීවත්කරවීම වෙනුවෙන් ඔබට ස්තුතියි කියා මට මදි!
හදවතින් මම ඔබව වැළඳගත්තා.
ඔබ දන්නවාද.. ඒ සැනසිලිදායක හැඟීමම මට ප්‍රමාණවත් මා වටා වේගයෙන් වැඩෙන කටු ඉපල් වලින් නොනැවතී මල් ම විතරක් පුබුදන්න!
"ඔයා ගාව මම කවදත් සුවඳයි නේද රවීන්ද්‍ර.. "
ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවී මම හදවතින් ඇසුවා.
ඔබේ පිළිතුර මා උදක්ම දැන සිටියා.
දැන් තරමක කාලයක් ගෙවී ගිහින්.. ඔබත් මමත් එක තැනක නතර උනාට කාලය නොනැවතී ගෙවී ගිහින්. ඉරණම කවරාකාරයෙන්දැයි මට පැහැදිලි හැඟීමක් නෑ. ජීවිතේ ඉතිරි අර්ධයේ මොනා වෙයිද කියලා මට අදහසක් නෑ. ඒත් ඔබ විසින් කීව ඒ දවස වෙනුවෙන් මම තවදුරටත් ඉවසනවා. ඒ දවස ඉතා දිගු දවසක් වේවියැයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබේ ඒ හමුවීම මුහුණෙ රැළි සමඟ හිනා ඉරි ඇඳෙන දවසකද.. නැතිනම් ඊට බොහොම මෙහායින් තවමත් තුරුණු දවසකද කියා මම දන්නෙ නෑ. සමහරක්විටෙක ඒ දවස කවමදාවත් උදා නොවෙන දවසක් වෙන්නත් පුළුවන්! ඒත් මම එක කාරණාවක් ඉඳුරාම කියන්නම්..
මම බොහොම ආදරෙන් බලන් ඉන්නව!
ඔබ පැමිණියත් නොපැමිණියත්! ඒ ඔබ මගේ අගනාතම වස්තුව නිසා. ඔබ ගැන මට තවමත් විශ්වාස කළ හැකි බව මම දන්නව.
ඔබේ පැමිණීම සිද්ධ වෙන්නෙ හේමන්තයේ කෙළවර උනත් මොකද.. වසන්තය තියෙන්නෙම ඔබ ගාව නම්!
කොයිතරම් සෘතු ගෙවී ගියත් ඔබ එනවා නම් එන්නේ ගෙවුනු හැම වසන්තයක්ම මිටින් අරගෙන බව මම විතර දන්නෙ වෙන කවුද..
නන්දා මාලීනි මේ ගයන්නේ ඔබ ගැනම විය යුතුයි..
නවාතැන්පල ඔබයි.. ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ..!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
Thursday, August 29, 2019
කාලය ආපස්සට ගියොතින්..
නිකමට හිතන්න මොකක් හරි වෙලා කාලය ආපස්සට යවන්න ලැබෙනව.. එහෙම උනොතින් ශාරදා මොනවාද කරන්නේ?
ඒ පැනය මාලතීගෙනි.
කාලය ආපස්සට ගියොතින්..?? මාලතී මොකක්ද ඒකෙන් අදහස් කරන්නෙ??
නෑ.. මට දැනගන්න උවමනා ශාරදා මොනවා හරි අතීතෙන් වෙනස් කරනවද කියලා..
ඔන්න මට නන් තියෙනවා ලැයිස්තුවක්ම.. මම කලා කරලා විශ්වවිද්‍යාලෙ යනව. නැත්තම් ඉන්දියාවෙ ගිහින් සංගීතය හදාරනව. මේ ජීවිතේ හරිම ඒකාකාරියි දැන් නම්.
ශාරදා මොකද හිතන්නේ ඒ ගැන..
ඇත්තටම මාලතී.. ඔයත් හරි කතා තමයි හිටිහැටියේ අහන්නෙ නේද.. කෙටි සිනාවකි. ඉනික්බිති සුළඟටවත් නෑසෙන තරමේ සියුම් සුසුමකි.
හ්ම්ම්.. මමත් තරමක් දේවල් වෙනස් කරාවි..එක දෙයක් හැර!
ඒ කිව්වෙ?
මමත් කැමති සිංහල කරලා කථිකාචාර්යවරියක් වෙන්න තිබුණ නම්.. ඒත් එහෙම උනා නම් මට රවීන්ද්‍රව වත් ඔයා වගෙ හොඳ යාළුවෙක්වත් මුණගැහෙන්නෙ නෑනෙ.. ඒ නිසා යමක් වෙනස් කරත් මන් වෙන විදියකින් හරි ඔයාලා මුණගැහෙනව..
ශාරදා නිවුනු සිනාවකින් බිම බලාගත්වනම ය.
මාලතී විසල් කරගත් දෙනෙතින් යුතුව ය.
ඇත්තටම ශාරදා මේ තරම් ප්‍රශ්න කරදර ගොඩකට මූණ දෙන්න වෙලා අන්තිමේ තනිවෙලා අදටත් හරි තීරණයක් නැතිව ජීවිතේ එක තැනක ඉන්න වෙලත් ඔයා පසුතැවෙන්නෙ නැද්ද? ඔයා ඔයතරමට රවීන්ද්‍රට ආදරෙයි ද? මට හරි පුදුමයි ඔයා ගැන වෙලාවකට. මට නම් කිසිසේත්ම කරන්න බෑ ඔයා ඔය කරන එකම දෙයක්වත්. ඔයාකාර ඉවසීමක් ඔයා කොහෙන් අරන් ආවද කියල මම වෙලාවකට කල්පනා කරනව.. ඔයා වැඩිය නොහිතුවාට කිසිම කෙනෙක් ලේසියෙන් කරන කැපකිරීමක් නෙවෙයි ඔයා මේ කරන්නෙ..
මාලතී සැබැවින්ම ශාරදාට හිතෛෂී ය. ඇගෙ වදන් ශාරදාට ඇති ආදරයම නිසා මිස ඈ රිදවන්නට නොවන බව ශාරදා කවදත් දැන සිටි කරුණකි.
ඇත්තටම පුංචිම හරි පසුතැවිල්ලක් නැද්ද රවීන්ද්‍රව ජීවිතේ මුණගැහුණු එක ගැන.. හිතන්න.. මේ සේරම දේවල් උඩුයටිකුරු උනේ ඒ නිසා නෙවෙයිද? ඔයා ඔයතරම් කල් බලන් ඉන්නව.. ඒත් අඩුතරමින් රවීන්ද්‍ර.. එයා අදටත් කරන්නෙ ඉස්සර වගෙම කාලය විසින් ප්‍රශ්න විසඳනකම් බලන් ඉන්න එක.
මල් උයනක් පෙනි පෙනී කටු ඉපල් අස්සෙන් යන්න ඔයා හරි පුරුදුකාරි වෙන්න ඇති. ඒත් ඔයත් සුවඳ විඳින්න ඕනි ජීවිතයක් කියලා ඇයි ශාරදා තිස්සේම අමතක කරන්නෙ?
ළඟින් හිටියත් දුරින් හිටියත් මට එයාව තනිකරන්න බෑ මාලතී.. මට වෙලාවකට හරි බයයි රවින්ද්‍ර ගැන. එයාට කවුරුවත්ම නැතිව ගියොතින් එයා වෙනුවෙන් මම හරි ඉතුරු වෙන්න ඕනි. එයා කවමදාවත් තනියම ඉන්න පුරුදු කෙනෙක් නෙවෙයි.. ඔය මොනතරම් කතා එයා කීවත් ඒකයි ඇත්ත. එයා දන්නව එයාට කවුරු නැතත් මම ඉන්න බව. අදටත් එයාගෙ හිතේ හයිය මම බව මන් හොඳාකාරවම දන්නව. එයාගෙ ඒ විශ්වාසය බිඳෙන්න දෙන්න මම කැමති නෑ. මට එහෙම කරන්න පුළුවන්කමකුත් නෑ උවමනාවකුත් නෑ..
ශාරදාගේ සිතුවිලි ගැන දන්නා මාලතී කෝපයෙන් නොවූවත් තරමක් දැඩි හඬිනි.
එතකොට ඔයාගෙ ජීවිතේ? ඒ ජීවිතේ ජීවිතයක් නෙවෙයිද?
මගේ ජීවිතේ දැන් කොහොමටත් එකයි මට. කොහොමටත් උපන්දා ඉඳන් තනිවෙච්ච කෙනෙක් හැටියට මට මේ ජීවිතේ හුරුයි. ඇරත් රවීන්ද්‍රගෙ එක වේදනාවක් ඉස්සරහ මට මගේ ප්‍රශ්න කිසිම දෙයක් ප්‍රශ්න නෙවෙයි මාලතී. එයාට මාව උවමනා වෙන ඕනෑම මොහොතක එයා වෙනුවෙන් ඉන්න මම එදා වගෙම අදටත් මතුවටත් ලෑස්තියි. ඒක මගෙ හදවතින්ම එන බැඳීමක්.
එයා කොයිතරම් උත්සහ කරත් එයාට එයාගෙ ඇස් මගෙන් හංඟන්න බෑ. එයාගෙ හිතේ නොසන්සුන්කම මට දැනෙනව. එයා හිනාවකින් සේරම දේවල් හංඟගෙන කාට බොරු කරන්න හැදුවත් මට බොරු කරන්න බෑ. මොකද එයාගෙ එක බැල්මකින් දාහක් දේවල් කියවන්න මට පුළුවන් නිසා. එයා දිහා බැලුවම කොයිතරම් වෙනස් වෙලාද? ඒක මට දරාගන්න බැරි දෙයක් මාලතී. එයා ඔහොම ජීවිතේ නාස්ති කරගන්න ඕන කෙනෙක් නෙවී. එයා නිහඬවම ඉන්නෙ වෙච්ච කිසිම වරදක් නිවැරැදි කරන්න බැරි නිසා බව මම දන්නව. මේ ගෙවුණු කාලෙට හිතින් වගෙම ගතින් රවීන්ද්‍ර කොයිතරම් දුර්වල වෙලාද? එයා කොයිතරම් හිතින් දරාගන්නව ඇතිද? මේ සේරම දේවල් දැනෙන දන්න කෙනා වෙච්ච මට මගෙ ඇස්මානෙන් එයාව අහක දාන්න බෑ මාලතී. මම ඈතින් හරි ඉඳලත් මෙහෙම නම් මම නොපෙනිලා යන්න ගියොතින් එයාට මොනවායින් මොනව වෙයිද? ඒ අවදානම මට තවදුරටත් ගන්න බෑ. තීරණ ගන්නකොට හැමදාමත් රවීන්ද්‍ර ළඟක් මිස දුරක් බැලුවෙ නෑ. කාලයක් මම එයාට ඒව තේරුම්කරන්න උත්සහ කරා. ඒත් ඒව තේරුම්ගන්න පුළුවන් මානසිකත්වයක අපි කවුරුවත් හිටියෙ නෑ. දැන් මම නිහඬවම ඉන්නව. සමහර දේවල් තියෙනවා කාලයත් එක්ක තේරුම් ගන්න ඉඩහැරිය යුතු..
දන්නවද මාලතී... මම එයාට දවසක් කීව යම් කාරණාවක්. එයා ඒ සේරම දේවල් අහන් ඉඳල කීව එක දෙයක් මට හොඳට මතකයි. ඒක මගෙ හිතේ අදටත් තදින්ම ලියවිල තියෙනව. එයා එදා කීවෙ මම ඒ කීව කාරණා එහෙමම උනොතින් එයා මාව බලල යන්න එනව කියල. මම දන්නව මේක සමහරවිට බොළඳකමක්. ඒත් මගෙ හිත කියනව රවීන්ද්‍ර ඇවිත් යන්න හරි නෑවිදින් ඉන්න එකක් නෑ.
මට නම් තේරෙන්නෙ නෑ ශාරදා.. ඔයා හිතන හැටි පවා මට හරිම පුදුමයි. රවීන්ද්‍ර අහිමි කරගත්තෙ මොනවාද කියලා එයාමවත් තවම දන්නෙ නැතුව ඇති. මම දන්නෙ එච්චරයි..
ඇත්තටම ශාරදා ඔයාට තත්පරයකට හරි හිතිල නැද්ද මේ දේවල් ආපස්සට ගිහින් වෙනස් කරන්න..
නෑ මාලතී... කවමදාවත් නෑ.. මම දන්නෙ නෑ අනික් දේවල්. ඒත් ආදරේ කරන්න රවීන්ද්‍රව තෝරාගත් එක ගැන මම කවමදාවත් පසුතැවිලි වෙන්නෑ. මොකද කොයිතරම් වේදනා ඉතිරි උනත් ජීවිතේ මට දැනුනු හොඳම හැඟීම දුන්නෙ එයා. මගෙ ජීවිතේ මිහිරිම බැඳීමත් එයා. ආයේ ආපස්සට ගියත් එයාට ආදරේ කරන්න මම දෙපාරක් හිතන්නෙ නෑ. මෙහෙම කීවොතින් ඔයා මට හිනාවෙයි.
මම රවීන්ද්‍රට හරිම ආදරෙයි මාලතී!
අතීතයට ගියත් මම ඒ දේ විතරක් වෙනස් කරන්නෑ. ආදරේ කරන්න එයාව තෝරාගැනීම මම විසින් මටම කරගන්න වරදක් නම් මන් ආයෙ ආයෙම උනත් බොහොම කැමැත්තෙන් කරන එකම වරද ඒක වේවි!❤️
-රොෂෙල් ෆර්නැන්ඩු-
Saturday, August 24, 2019
නොලියමි!
"හමාර නොවූ වේදනාකාරී හමුවීම" වෙනුවෙන් හද සිද්ධස්ථානයෙහි සිහිවටන සුසානයක් කොට එහි අමරණීය ප්‍රේමය නම් ශක්තිමත් පලකයේ මෙසේ ලියා තබමි
මා එය ලීවොතින්
ඔවුන් විසින්,
මාගේ අනුවණකම් වෙත
සිනාසෙන්නටත්
මාගේ වේදනාව දැක
හඬන්නටත්
මාගේ ප්‍රේමය ගැන
ආවඩන්නටත්
ඔබගේ දෝහිකම ගැන
වෛර කරන්නටත්
ඉඩ ඇති බැවින්
මම එය කවරදාවත් නොලියන බව පමණක් මෙසේ ලියා තබමි!
---------------------------------
හිස් කඩදාසි අතර
තීන්තෙන් පිරුණු පෑන
ඔය නෙත් ගැටෙන'තර
දැනගන්න!
හිස් කලේ නුඹ හිත ය
පිරී ඇත්තේ නෙත ය
නොලීවේ මම විත ය
හිත මගේ තව තෙත ය
-රොෂෙල් ෆර්නැන්ඩු-
තවද එක් බටනලාකරුවෙක්!
පාලම යට
අඳුරේම නිදති
දෙවේලක් නොකෑ නිහඬ පැල්පත්
අරුණෝදයට
ටකරං මතට
වැටෙන ඉර එළිය පවා දුප්පත්
අසල ගඟෙන්
අහක බලන්
එතෙරෙ වෙන මහතුනේ පින්වත්
මතුව ආව
පොඩි මිනිහෙකි
වයමි බටනලා, එපා මට පිං බත්!
-----------------------------------
පිඹින වාරේ බඩ කොරවෙන
පාලම යට කලාව
අපාය සේ නුඹ දකිනා
එනමුදු රස ගුහාව
කළු පාටින් වැසී ගියත්
හිත පිරිසිඳු හිනාව
මා වයනා තනු ඇහුවත්
ඇත්තේ අපේ කතාව
තදබදයේ කිටිකිටියේ
වගුරා දා මුගුරු
බස්රථයේ හිටිහැටියේ
මතුවෙන මඩගොහොරු
අකුලාගෙන නැහැපුඩු මුව
බැල්මන් නෙක රුදුරු
තරහක් නෑ ලද උරුමෙට
වාසය ගං ඉවුරු
පාලම යටින් මතුවී යළි
එහිම සැඟව යන
යාචක තනතුරෙහි මිසක
කලාවේ නැත පින
වීසි කරන රුපියලකින්
බඩ කට පුරවන
මඩේ පිපෙන නෙළුම් හිතේ
තුවාල ඇත වණ
රස හඳුනන හිත උණුවෙන
මම වෙමි රසවතා
කුස හිස්වුණ බත මදිවුන
දුප්පත් හිතවතා
පිස කඳුළැලි නෙත ඔසවා
වයනා දිනපතා
යස ඉසුරින් නැත පොහොසත්
හිත ඇති පත කුඩා
--------------------------------------
ගතම හුස්මට පවරලා හිත කලා රසයද අමුණලා
ඔබේ සවනට රසගුලා ගෙන මොහොතකට හෝ සනසලා
දන්න ස්වරයන් නළවලා දෙන කාසියක් ගෙන අහුලලා
මගේ ලෝකෙක තනිවෙලා මම හෙටත් පිඹිනවා බටනලා
-රොෂෙල් ෆර්නැන්ඩු-
අවිශ්‍රාමික ආදරේ
ළසඳ සෙවණැලි වැටී සුදු මුදු ලවැල්ලේ
ඔකඳ වී මල් විසුළ නිල් තුරු තොටිල්ලේ
නිබඳ ප්‍රේමෙන් අප තැනූ රන් කැදැල්ලේ
බිරිඳ සැනසුම විඳිමි මා ඔබ තුරුල්ලේ
සහන් එළියේ තාරුකා යට නිල් අහස් වියමනේ
පහන් වෙනතුරු වාලුකා බිම වැතිර අප යෞවනේ
යහන් තැනු නුඹෙ උකුල් තලයෙම හිතට උණුසුම ගෙනේ
වහන් වෙන්නෙමි මියෙන මොහොතෙත් පතන්නේ නුඹෙ සෙනේ
කැඩපතින් රැළි වැටුණු මුදු වත නොදුටු සේ මම හිඳිමි
හදවතින් මුළු හැඳිනගත් රුව වෙතම යළි යළි බැඳෙමි
අප වෙතින් කිසිදාක වියපත් නොවූ ප්‍රේමය හඟිමි
කල්පයක් තව ගෙවී අහවර උනත් නුඹවම පතමි
කුණාටුව පිරි දවසෙකත් නුඹ ඉවසගෙන මා දරාගත්
කණාටුම ගිම්හානයේ මල් නොඉල්ලා දුනි පියාපත්
අනාථව අත් නොහැර තෙත්බිම් කරා පියැඹූ සෙනේවත්
දවස් තිබුණා නුඹේ අත් මත නිවී සැනසුනු විඩාපත්
නෙරාගොස් රැලි වැටී ඇකිලුනු මටම දරුවන් වදා
සිහින් බඳ මට තවම මතකයි හැඟුම් පිබිදූ එදා
කණස්සලු හැම සැඳෑවක මා තුරුල් කරගෙන රඳා
හිනැස්සූ සිත සැනැස්සූ නුඹ ප්‍රියාවී මගෙ සදා
-රොෂෙල් ෆර්නැන්ඩු-
බෝනික්කා නැතිවෙලා
උදයේම පිටවෙලා අඳුරේම මතුවෙනා
පඬු පාට උවනතේ පින් පාට සිනාව
අව්වටම පිළිස්සි දුර්වර්ණ දැඩි සිරුර
කෙස්ස දැක තිබුණෙ නෑ කාලෙකින් පනාව
කොර ගගා වීදියේ වාසනා විකුණනා
කිසිදාක නොඇදෙනා ටිකට්පත් ඉනාව
තුරුළු කර දෝතින්ම සෙල්ලමට මට හිටිය
බෝනික්කා නැතිවෙලා තාත්තා ගෙනාව
වසරකට වතාවක් උපන්දින එන්නේම
කල්පයක් කල් ගැන්න තෑග්ගත් අරන්
වසරකට බැරිද මට දෙතුන් වර ඉපදෙන්න
සිතුණු වාරයන් ගැණ ගන්න බැරි තරම්
පහ දහය බැගින් මැටි කැටයකට එකතු වෙන
මගේ හීනෙ මට හිටිය බෝනික්කා අරන්
තාත්තේ මතකයිද අගුපිලේ ඈඳිගෙන
රිදෙනතුරු මඟ බැලුවා ඇස් හීනි කරන්
වාසනා කිව්වාට කොහෙද වාසනාවක්
එක ටිකට් පතක මිල රුපියල්ම විස්සයි
ටිකට් පනහක් පමණ යන්තමින් විකිණුවොත් පිල් විදා මොණරෙකුයි රජ මඟුල් වැස්සයි
පොද වැස්සටත් තෙමෙන වහලෙකුයි පැල්පතයි
වැස්සකට නැටුවොතින් මගෙ දුවේ ලෙස්සයි
තාත්තා කිව්වාට මගෙ නොතේරුම්කමට "බෝනික්කා තාත්තේ වාසනා විස්සයි"
මම මෙලොව දුටුව එක ලස්සනම දවසකදී තාත්තා ලෝකයම මගෙ අතට දුන්නා
ඇත්තමයි තාත්තේ හිත ගැස්ම වැඩිකමට මගෙ පුංචි ඇස් වලින් තුටු කඳුළු පැන්නා
රෝස පැහැ ගවුමකුත් රන් පාට කෙස් තියෙන ලස්සනම කුමාරිව ගමකටම පෙන්නා
මගෙ මුවේ පිපුණු හසරැල් මලක් ගානේම සුවඳක්ව ආදරෙන් තාත්තා උන්නා
මටත් නැති ලස්සනම ගවුම් පොඩි ඇන්දාට හුරතල්ම බෝනික්කි මගෙ දුවයි කියා
සෙනෙහසින් හිස සිඹින නුඹෙ සරම් ඔඩොක්කුවෙ
කතන්දර තුරුල්ලේ මට නින්ද ගියා
ගව්ගනන් දුර හීන මගෙ ළඟට ගෙනත් දෙන කටුක දුක් මන්තරද දැන උන්නු ඔයා
හරි පුදුම සෙල්ලමකි බෝනික්කා වාගෙම හැංඟි-මුත්තම් කළේ ඇයි ද මගෙ පියා
ආදරේ තරමටම සඟවගත් රහසකුත් තිබුණ වග දැන උන්නෙ නෑ ඔබේ පපුතුරේ
බෝනික්කො තබා මට රසකැවිලි වත් එපා තාත්තේ ඔබ නොවෙද මගෙ සතුටු යන්තරේ
කිසිවෙකුත් දන්නෙ නෑ තරු අසල ඔබ හිඳින මඟට මා රැගෙන යන දුර්ලභම මන්තරේ
මගෙ උපන්දින පැතුම තාත්තේ ඔබ තමයි
වෙන කවුද ඔබ තරම් මෙලොව මට ආදරේ
-රොෂෙල් ෆර්නැන්ඩු-
නිමිත්ත: "පුතා කුඩු ගහනව තමයි සර්!" අම්මා පොලීසිය ඉදිරිපිට හඬාවැටෙයි
කිලුටු කන්දක් වගේ පෙනුනත් අනේ මගෙ උණහපුලුවා
පුළුටු බින්ඳක් ගෙට නොවද්දා රැක්කෙ පොඩි දා කැකුළුවා
සිලුටු කඳුළක් ඇහින් වැටුනේ කවුරු බැලුවත් හකුළුවා
ගොකටු අත්තක් ඇනුනා වාගේ පපුව රිදිලා වෙව්ලුවා
පියරු දාලා කොපුල ඉඹලයි නළලෙ මොට්ටුව පවා තිබ්බේ
මියුරු නැළවිලි ඔවා දෙමිනුයි බඩේ බොක්කේ තබා රැක්කේ
පවුරු බිඳගෙන මාර සේනා ඈත එන බව නෑනෙ දැක්කේ
කවුරු කිව්වත් ලපටි හිතකුයි මහත්තයො ඇඟ ඇතුලෙ තිබ්බේ
යාන්තම් පොඩි කකුල් පද්දා යනෙන විට ලී වැටක් බැන්දට
කෝමවත් බැරි උනා කර උස් වයස අල්ලා නවත්තන්නට
කාන්දම වගෙ මමත් එල්ලී උගෙම පස්සෙන් වැටී උන්නට
මාන්දම විය ඉහට ගහලා මතේ අඩුවම ගත පෙලන්නට
මුලින් කොටුකර නිවාරණයට හැඬූ කඳුළිනි යැව්වෙ අල්ලා
ගෙයින් එළියට බහිද්දි දණ ගසා වැඳ පිට උනේ කොල්ලා
බියෙන් උන් කාරණය සරි හිත විටින් විට පැන ගියා හොල්ලා
කොයින් ආවද ගමට විනකල රුදුරු මේ කුඩු මාර බිල්ලා
ගෙදර වළඳක් තියන්නට නෑ හොරෙන් අරගෙන යනව උස්සා
හිඟේ වැඩි කළ බඩම අල්ලා අනේ දඟලයි වාගේ පිස්සා
අරුංගල් දෙක ඉල්ල ඉල්ලා රණ්ඩු කෙරුවා එදා වැස්සා
නොදුන් හින්දා අඩිය හප්පා ගිරිය පුප්පන් ගියා ගස්සා
හිතේ වේගෙට ගෙයින් පිටවී ගියත් ආයෙම ඒවී හිතුවා
මක්කරන්නද වැරදි කෙරුවත් දැනේ දරුදුක කුසෙනි වැදුවා
ආයේ නේනා දුරක් ගිය බව දරා ගන්නට හිතට බැරුවා
අනේ බුදු සර් මමයි අම්මා දෙයියනේ මේ මගේ කොලුවා
-රොෂෙල් ෆර්නැන්ඩු-
එක සිනාවකින් වුව නිවෙමි
සුදු පුලුන් විමානෙන් එබෙමි
කඳු වලා ළමැද හිස හොවමි
මුදු සුළං කැරැල්ලක එතෙමි
මධු සිනා සාද අස පිපෙමි
කටු රැවුල් කොපුල් මුව රැඳෙමි
මල් කිනිත්ත මෙන් කිති කවමි
ඇස් වලින් කියන පෙම හඟිමි
හද සියුම් ස්වරය වගුරවමි
තුරු හිසෙහි කුසුම බව දනිමි
හද සුවඳ කරන ඔසු තනමි
හිත බිඳෙන තැවෙන විට සොයමි
නුඹ බදා වැළඳ ඉකිබිඳමි
මගෙ අතැඟිලි හිස මත යවමි
හරි ආදරයෙන් පිරිමදිමි
රළු හැඟුම් මගෙම කරගනිමි
හද දයාදියෙන් නුඹ පොඟමි
මම සෙමින් සෙමින් නුඹ සිඹිමි
ඔය ලවන් මතම කවි තබමි
මුදු වදන් නුඹෙන් නොම පතමි
එක සිනාවකින් වුව නිවෙමි
-රොෂෙල් ෆර්නැන්ඩු-
වළාකුළු
සෑම දිනකම අවසානයේ සන්ධ්‍යා උදාවට ස්වර්ගයේ සියලු දරුවන් එකට එකතු වී හිරු බැස යෑමේ වර්ණ පින්තාරු කරන්නට වියමනෙහි රැස්වෙති.
නමින් ඔවුහු වළාකුළු වෙති.
රන් රෝස පැහැ ඇඳුම් ඔවුන් වඩා ප්‍රිය කරති.
ඔවුන්ගෙන් ඇතැමෙක් රාත්‍රී තරු සාදය පිණිස කදිම බුමුතුරුණු අතුරා සන්ධ්‍යා කෙළවර සරසන්නෝ වෙත්
සුදු පැහැති වස්ත්‍ර පැළැඳි දියණියන්, නිල් පැහැති චාම් ඇඳුම් කට්ටලයන්ට වඩා ප්‍රිය පුතුණුවන් මිහිපිට මා දන්නා කදිම මෝස්තරකරුවන් ය 💜️💙
රන් පැහැති ස්වේද පිස දමා ඉර
දිවා මුරයේ වැඩත් නිමාකර
හනි හනික රෑ කුටිය බලා අර
දුවන විට හරි හැඩයි අවරගිර
සුදු පාට ඔසරි හැඩ වැඩ ගවුම්
රැස් වලිනි පින්තාරු ඉර මැවුම්
රන් රෝස දම්පාට නෙක හැඟුම්
ඉහින්නේ සෙනෙහසිනි නැත දැවුම්
අර ඈත තරු එකින් එක අරන් වසන්තය
පායාවී පැහැදුල්ව හැඩ වේවි දිගන්තය
වළාකුළු දරුවනී ප්‍රේමයේ අනන්තය
නුඹෙන් අත්විඳිනෙමි නුඹයි මගෙ ස්වර්ගය
-රොෂෙල් ෆර්නැන්ඩු -
නිමිත්ත : අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි මේ ගීය ගයන්නේ...
නෙතක පැටලී රළු තුරුණු හද දියව ගිය වී
මුදු
හිතක ඉපැදුනු පළමු ප්‍රේමය ලෙසින් නම් කොට පිදූ
විතක මධු තනි වෙලා හැඬුවා කලෙක දෛවය රුදු
මතක සුවඳකි ආදරෙයි මම තවම පෙම්බර මධූ
ගොහොරු හද නුඹෙ පිරිමැදුම ලද සුවඳ සිහිලැල් විලකි
තඹුරු දහසකි එමැද නුඹ නම් සොඳුර මානෙල් මලකි
සයුරු හතකින් එහා මතකය රැගෙන ගිය ප්‍රේමයකි
කවුරු දන්නෙද නුඹත් කලෙකදි හිතේ උන් මුදු ළඳකි
මල් සුවඳ පරදා නැගෙන කිරි සුවඳ මිස ප්‍රිය කුසුම්
සිල් නොබිඳ නිවහනක් රැකි ඔබ ගැනයි පත්තිනි දෙසුම්
කල් යනෙන විට නොවී අවනත මසිත නොමවිය විසුම්
විල් තෙරක ඔබෙ සතුට රඳවා රැගෙන ආවෙමි සුසුම්
ළඳුන් අතරේ අයාලේ ගිය දිවි වලා නුබ පුරා
නඳුන් උයනක මඳක් නැවතී ලදින් ඉසිඹුව සරා
සඳුන් සුවඳම පමණි දැනුනේ එද්දි ඔබ මා කරා
අඳුන් නැතිවත් තවම ලස්සන ඇති මගේ සමදරා
කොතෙක් ප්‍රේමය ගලා යන්නට ඇතිද දිවි ගංඟාවේ
මෙතෙක් කියලා කෙසේ මම තුති නිමා කරමිද සිහිවේ
ඇතෙක් වාගේ තනි උනත් මා හේමන්ත හැන්දෑවේ
හිතක් පතුලේ ප්‍රේමියනි නුඹ සදාකල් නිවුනාවේ
-රොෂෙල් ෆර්නැන්ඩු-
ඔහුගේ ඇස්
ඔබේ ඇස් වල පෙර තිබූ දිලිසීම දැන් දකින්නට නැත. බොහෝ දෙයින් වෙහෙසට පත් වූ පීඩාකාරි බවක් ඇරුනුකොට ඔබ සතුව ඇත්තේ සියලු වේදනා මගෙන් සඟවා ගන්නට වෑයම් කරන දුර්වල බැල්මකුත් හැඟීමෙන් තොර වූ හිස්බවකුත් පමණි. ඔබේ හැඟීමෙන් තොර හිස් බව මා හට මොනතරම් වේදනාකාරි හැඟීමක් දැයි හැඟීමට නම් ඔබ මගෙ පෑරුණු හදවත වෙත හිස් බැල්මක් හෝ හෙලිය යුතුම ය. නමුත් ඔබ එසේ කරන්නේ ද නැත. එසේ කළද ඔබ එය මට හඟවන්නේ නැත. ඒ ඔබේ ස්වාභාවය ය. එනමුදු අපි එකිනෙකාට හුරුපුරුදු දෑස් ඇත්තෝ වෙමු. එනයින් සඟවාගත හැකි දෑ ඇත්තේ එක්තරා සීමාවක් දක්වා පමණි.
මා ආදරය කළ ඒ අරුමැති ප්‍රියමනාප මිනිසා කොහේදැයි විමසන්නට මුව විවර වුවත් මා හට දෙන්නට ඔබ ළඟ පිළිතුරක් නොමැති බව දන්නා හෙයින් එය නොඅසා සිටීමට මම මා තුළම මහත් අරගලයක නිරතවෙමි. එහෙත් එසේ අසන්නට මට දැඩිසේ උවමනා ය . ඒ ඔබ රිදවීමට නොවන බවත් යළිත් ඒ ප්‍රියමනාප මිනිසා ඔබේ ආත්මය තුළට කැඳවිය යුතු බවට මතක් කරදීමක් වශයෙන් පමණක් බවත් යන කරුණු ඉදිරියේ මගේ හදවත මා ඉදිරියේ අවංක ය.
අතීතයේදිත් මා ඔබට ප්‍රේම කළේ ඔබෙන් අඩකට නොවන වගත් එහැමපිටින්ම පාහේ ඔබේ සම්පූර්ණ ස්වරූපය හා ගතිගුණයන්ට එනම් ඔබටම බවත් ඔබ විසින් මුල සිටම දන්නා හෙයින් ඔබේ කොයි ස්වරූපයටත් මා අත්‍යන්තයෙන්ම ප්‍රේම කරන බව මවිසින් කිව යුතු කාරණා අතර නැත.
ප්‍රේමයේ උණුසුම දෑස් වලින් දිලිසුන ඒ ශක්තිමත් මිනිසාට තරමටම මඳක් කෘශව ගිය අඳුරු ගිලුනු දෑස් සහිත මිනිසාටත් එක සේ මම දැනුදු ප්‍රේම කරමි.
එකල ප්‍රේමාන්විත ශෘංගාරාත්මක දෑස් දෙස එබී සෙනෙහසින් කිමිදුනු පරිදිම මෙකල අඳුරේ ගිලී ගිය නිවුනු දෑස් වෙත එබී එහි ගැඹුර දක්වා යන මඟ මට නුහුරු නැත. නමුදු මේ අඳුරු දෑස් සහිත මිනිසා ගේ පැවැත්ම තුළ ඔබ නැති බව ඔබටම වටහාදීමට මට අවැසිය. එහෙයින් පෙර හුන් ප්‍රීතිමත් සැහැල්ලු මිනිසා සොයා අසීරුම මාවතක සියලු දුක්ඛ දෝමනස්සයන් තරණය කරමින් වුව ගමන්කිරීමට දිරියක් වගෙම දැඩි වුවමනාවක් මා තුළ ඇති බව ඔබ නොදන්නා යමකි.
ඔබට නොගැළපෙන අපිළිවෙල, අඳුර ,විඩාව හා නුසුදුසු බැඳීමක් ඇති කරගන්නට ඔබට හේතු වූ කරුණු නොඅසා ඒ වෙනුවට මම ඔබෙන් මෙසේ විමසමි.
දැන් වෙහෙසුනා ඇති නොවෙද..?? කනස්සල්ලටත් රෝගී බවටත් සමුදිය යුතු කාලය මේ ය. කොටින්ම කිවහොත් ගිලන් වීම ඔබට නොතරම් ය. දුර්වල දෑස් ඔබට අයිති නැත. කෘශව ගිය වෙව්ලන දෑත් , සෙමින් පියවර ඔසවන දෙපා මේ සියල්ලටම වඩා බිඳුනු හදවතක් ඔබට නුසුදුසු දේවල් ය. ඝනව වැඩුනු දැලි රැවුල එකල ඔබට කදිම පෙනුමක් ගෙනාවාට මෙකල ගෙන එන්නේ මගේ හදවතට බිඳීමක් පමණි. පිළිවෙලින් හැඳි පැළැඳි ප්‍රීතිමත් මිනිසා ඔබ විසින් අතරමං කර ආවේ කුමන ලොවක වුවත් ඔබ වෙනුවෙන් විශ්වයම පීරා යාමට වුව මා දැන් සූදානම් ය. එයට එරෙහි වීමට ඔබටවත් ඉඩ නොතබමි.
ඔබව භාර දී පැමිණි දෑත් අතර සැනහෙනු වෙනුවට ඔබ සිරවී ඇතිනම්.. ඒ දෑත් මත මේ තරමින් ඔබ අපරිස්සම් නම් එය දරාගැනීමට තරම් සවියක් තවදුරටත් මා තුළ ඉතිරි වී නැත. ඒ අන් සියලු දේට වඩා ඔබ මට අගනාතම වස්තුව බැවිනි. දයාබරිත සෙවණැල්ලක් විනා කර්කශ වදනින් යුතු ජීවිතයක් ඔබට දරාගන්නට අපහසු බව මා තරමින් දන්නේ වෙන කවුරුන්ද..
පෙර වූ ප්‍රීතියම ඔබ වෙත රැගෙන එමියි දුෂ්කර පොරොන්දු නොදෙමි. ඒ ඔබේ බිඳීමේ ප්‍රමාණය මා පමණ ඉක්මවා වටහාගෙන ඇති බැවිනි. ඒ සඳහා මා අපොහොසත් වුවත් මට හැකි උපරිමය ඔබ වෙත පිරිනැමීමට මම පෙර මෙන්ම දැනුදු කැපවෙමි. ඔබෙන් මට අවැසි ඔබේම සැනසීමත් නිරෝගිකමත් පමණි.
ආදරයට එහා ගිය ගැඹුරු අවබෝධයක බැඳීමක් පවත්වාගෙන යන ඔබත් මමත් අතර ප්‍රේමය කවදත් ආගන්තුකයෙකු නොවේ. එහෙයින් මට ඔබෙන් අවැසි ඇස් වල දිලිසුමත් හදෙහි සැනසුමත් පමණි.
ඉතින් මෙපමණක් කියමි.
ප්‍රියය.. නුඹේ ඇස් වෙහෙසුනා හොඳටම ඇති ය. මේ විවේකයත් ප්‍රේමයත් අත්විඳිය යුතු.. පමා වූ වසන්තයයි!
-----------------------------------------
කෝ නුඹේ දෙනෙත්වල පෙර තිබුණු දිලිසීම
ඔය හැටිම හුරු වුනේ කෝම ඇස් වෙහෙසීම
දුර්වලම බැල්මකින් නොහැක දුක සැඟවීම
තහනම් ද තවම මට නුඹ මගේ යැයි කීම
සාංකා හිත් රිදුම් කාන්සා උදුරගමි
ප්‍රේමයත් ප්‍රීතියත් සමඟ ඔබ වැළඳගමි
උණුසුමත් හාදු හා එක මිටට රැගෙන එමි
මා සතුම උපරිමය ඔබෙම බව කියා දෙමි
සුළඟ හා හාද කර කෙහෙරැළි ද සනසවමි
කටුරැවුල් කම්මුලට හසරැලි ද ලියා දෙමි
මුදු හදැති ළපැත්තෙන් කටු ඉපල් නසාලමි
මිහිරැතිම වසන්තේ මල් ඔටුනු පළන්ඳමි
-රොෂෙල් ෆර්නැන්ඩු-
නුඹට ආදරේ බව පැවසීම ද සතුටක්!
දන්නවද මගෙ රවීන්ද්‍ර.. කෙනෙක් අපිට ආදරෙයි කියනකොට අපිට මහා අමුතු හැඟීමක් දැනෙනවා.. ඒක හරිම ආශ්වාදජනක හැඟීමක්.. ඒත් මම හිතනවා ඒ තරමින්ම සතුටක් අපි කෙනෙකුට ආදරෙයි කියා කියනකොටත් අපිට දැනෙන්න ඕන කියලා..
ඇත්ත.. මම ආදරේ බව ඔයා දන්නවා.. ඒත් සමහර වෙලාවට මම නැවත නැවතත් ආදරෙයි කියා කියන්නෙ ආයෙම ඒක මතක් කරන්න නෙවෙයි.. මම ඔයාට මගේ මුළු හදවතින්ම ආදරෙයි කියන කාරණාව මගෙ හදවතට තදින්ම දැනුනම.. එහෙම වෙලාවක ඔයාට ආදරෙයි කියලා මං අපමණ සතුටක් ලබනවා.. ඒ හැඟීමට මම හරිම ප්‍රියයි..
ඔයා මට ආදරෙයි කියලා අහනවට වඩා මම ඔයාට ආදරෙයි කියල මං සතුටක් ලබනවා.. ඒ හැඟීම ඔයාගෙ ශාරදාට හරි පිරුණු හැඟීමක්.. ආදරේ ලබන තරමින්ම ආදරේ කෙනෙකුට දෙනකොටත් ඒ හැඟීමේ සතුටක් තියෙන්න ඕනි.. ඉතින් ඒ සතුට මට අදටත් දැනෙනවා..
දන්නවද..? ඔයා මගේ පහන.. ඔයා දැල්වෙනව හිත පුරා මට පැහැදිලි ආලෝකයක් වෙලා.. ඒත් හිටිහැටියෙම වගේ ඔයා මාවත් නිවාගෙනම නිවෙනවා.. ඒත් මම හරිම ආදරෙයි කියලා ඔයාව ආයෙමත් දල්වනවා.. මොකද ඔයා නිවුණම මගේ හිත පත්තු වෙන නිසා..
ආදරෙයි !!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
ඇත්ත.. මම ආදරේ බව ඔයා දන්නවා.. ඒත් සමහර වෙලාවට මම නැවත නැවතත් ආදරෙයි කියා කියන්නෙ ආයෙම ඒක මතක් කරන්න නෙවෙයි.. මම ඔයාට මගේ මුළු හදවතින්ම ආදරෙයි කියන කාරණාව මගෙ හදවතට තදින්ම දැනුනම.. එහෙම වෙලාවක ඔයාට ආදරෙයි කියලා මං අපමණ සතුටක් ලබනවා.. ඒ හැඟීමට මම හරිම ප්‍රියයි..
ඔයා මට ආදරෙයි කියලා අහනවට වඩා මම ඔයාට ආදරෙයි කියල මං සතුටක් ලබනවා.. ඒ හැඟීම ඔයාගෙ ශාරදාට හරි පිරුණු හැඟීමක්.. ආදරේ ලබන තරමින්ම ආදරේ කෙනෙකුට දෙනකොටත් ඒ හැඟීමේ සතුටක් තියෙන්න ඕනි.. ඉතින් ඒ සතුට මට අදටත් දැනෙනවා..
දන්නවද..? ඔයා මගේ පහන.. ඔයා දැල්වෙනව හිත පුරා මට පැහැදිලි ආලෝකයක් වෙලා.. ඒත් හිටිහැටියෙම වගේ ඔයා මාවත් නිවාගෙනම නිවෙනවා.. ඒත් මම හරිම ආදරෙයි කියලා ඔයාව ආයෙමත් දල්වනවා.. මොකද ඔයා නිවුණම මගේ හිත පත්තු වෙන නිසා..
ආදරෙයි !!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
Saturday, August 3, 2019
මෙය මගෙන් හාදුවක්!
අදින් දෙවසරක් පෙර
ඔබෙ බොකුටු හිසකෙස්
බැරෑරුම් බැල්ම හා
දැලි රැවුලකින් වැසී
සැඟවුණිද සිනාවක්
ගතින් මට යන්න හැර
හිත ගැඹුරේ හොඳම තැන
ඉමිහිරිම කල්පනා
සඟව ගන්නට ඇතී
නොපෙන්වා දයාවක්
සිතින් සිය දහස්වර
උපන්නද රිදුමකුත්
ලොව නඟන චෝදනා
දරාගන්නට ඇතී
අසම්මත ප්‍රේමයක්
මතක් වී වරින් වර
ළඟින් හුන් ආදරී
ප්‍රේමයේ චේතනා
වාවගත්තා මදිද
එය බිඳුනු හීනයක්
මෙය මගෙන් හාදුවක්!
-රොෂෙල් ෆර්නැන්ඩු-
සඳඟන
ආකාස පටුමඟේ
චාරුමත් නළඟනකි
හිරු කිනිති වරලසේ ගසාගත්
වළාකුළු වනාහි
ඇගෙ පතුල් ඇවිස්සූ
ධූලි මිස ඇයට නැත පියාපත්
තරු අවන්හල් වලත්
කළු කුහර වෙළෙන්දන්
සිටින බව කියා ඈ නොවේ මත්
සුන්දරම තරමටම
විසකුරු ය නිශාවන්
හුදෙකලා දිලිසීම සුපුන්වත්
අයුතු ආරාධනා
පහළ සිට රැගෙන එන
සුළං රැල් අඳබාල තැරැව්වන්
හිස් අතින් නොවේ ඈ
හරවාන යවන්නේ
මුහුදටත් තරවටු ද කළා නම්
සතර දිග්භාගයේ
ගිලගන්න තතනනා
සල්ලාල පෙම්වතුන්ගේ දැලෙන්
හෘදයේ හොඳම අඩ
සේප්පුවෙ දමා ඇත
ප්‍රේමයේ යතුර නැතිවෙලා දැන්
වල්ග තරු වීදියෙදි
අතරමං වූ පටන්
ජීවිතය අමාවක ගුහාවක්
මිහිතලේ කවියනුත්
රහසින්ම මැතිරුවේ
අනේ ඇගෙ සඳ සළුව ලෙහීයන්
දේවතා එළි වලින්
කළත් නෙක යාතිකා
පිහිටකට ආවේ නෑ දෙවියනුත්
විශ්වයේ කොයියම්ම
තැනක තනි ගැහැණියක්
කියන්නේ දුක් වින්ද දෙවඟනක්
-රොෂෙල් ෆර්නැන්ඩු-
ප්‍රේමයේ ලකුණ
හිමේ සීත අරන් ඇවිත් කඳුකරයේ නැවතී
කුරුල්ලනුත් මංගල්ලෙට නිල් තුරු ගී කියති
මේ මිහිරැති සොඳුර සමය ගෙනා කුසුම් යුවති
ඔබේ සුවඳ රැඳුනු මගේ සංසාරෙම පිනැති
විල් තැන්නේ තනිව ගොසින් නෙළා ගෙනා ඕලූ
නිල් මහනෙල් නෙළුම් ඉසව් දන්නේ රන් මාළු
මල් සේරම එක කිරුළට පළඳා මගෙ යාළු
කල් ඇතුවම කැන්දාගෙන එනදා නැත පාළු
පලා පැහැය උරා නටන අරණකි ගී සකුණ
වලා සෑය ඔබේ නමින් තනවමි නැත අකුණ
ගලා බසින නිල් දියවර සිහිලස පිරි පොකුණ
විලාපයන් හමාර කළ නුඹ ප්‍රේමයේ ලකුණ
සලා සුමුදු හසරැල් නුඹ පායන හෝරාවේ
සඳේ නුඹේ නමටම මධු ගී සර ගැයුනාවේ
සෙවණැලි එකිනෙක පැටලී යුග යුග ගෙවුනාවේ
නුඹේ දෙඅත් තුරුලේ මගෙ සසරම නිවුනාවේ
-රොෂෙල් ෆර්නැන්ඩු-
සබඳ..
මහද අරණ උසම තුරෙක
කිරුළු පලන් මල
සුහද ඔබමැ පමණි සිතක
සිහිල් සුපෙම් විල
නිබඳ සෙවණ සදන දුරක
ළඟක කොතැන වුව
සබඳ නුඹව සිහිකෙරුවත්
වියැකෙනවා සොව!
-රොෂෙල් ෆර්නැන්ඩු-
රුදුරු පෙම්වතී
මල් මී මැසි ළඳකි ඔබත් වදන් තුඩෙහි විසැති
ගල් මුල් හිස මත පටවන නමුදු සොඳුරු රුවැති
කල් යල් බල බල ඉවසා බොහෝ බිඳුනු සිතැති
වල් ගස් උයනට කුමටද මල් මට දොස් කියති
මදහාසෙට වශී වෙලා නුඹ පසුපස ඇදුනා
පරිවාසෙට පවා පුරුදු තරමට පෙම රැඳුනා
ආවාසෙට යන්න පවා සිතුවිලි ගොඩ ගැසුනා
ආකාසෙට උහුලනු බැරි වළාකුළුත් තිබුණා
සුදු ලස්සන හිම කැටි වන් වළා ගොමු විමානේ
කඳු හිස මත වස්සන පෙම දැක සිතසැලුනානේ
පිදු වත්කම් හදවත සතු නුඹ විසුනු කරානේ
මුදු අළු පැහැ වැස්සක හද කුළු බිමවැටුණානේ
විඳගන්නට බැරි තැන හිත පත්තු කලා කපුරු
අදහන්නට බැරි තරමට ඇයි ඔය හැටි නපුරු
රිදවන්නට නොසිතු නමුත් බිඳ දා පෙම් පවුරු
මම යන්නට යනවා මගෙ හිතත් අරන් දැදුරු
-රොෂෙල් ෆර්නැන්ඩු-
කුමාරයෙක් ඇවිත්!
සුළං සීනු හඬ පරදන මිහිරි හඬින්
ගයන්න
දේවදූත ගීතිකාවේ මිහිරිම තනු
වයන්න
වාසනාව අරගෙන උකුලට ආ පුතු
බලන්න
රෝස කැළේ හැම ලස්සන දෙකම්මුලේ පිපෙන්න
හසරැලි මිස නුඹට පුතේ නොදෙනෙමි දුක් කඳුළැලි
පුතුගෙ නමට පපු සිඳුතුර උනන්නේ මේ
කිරි රැළි
තුරක වැලක මලෙක පවා නටන තාල
නළ රැළි
මගේ පුතා නිදියන තුරු විශ්වයෙනුයි
නැළවිලි
වසත් සුවඳ රැගෙන පිපුණු රෝස ඩේසි
ඩේලියා
කිසිත් සුවඳ නැත පුතුගේ කිරි මුව තරමට
කියා
පිනිත් වහින පාන්දරින් මල් මී ගීතය
ගයා
පුතු ඉපදුනු පුවත රැගෙන දස අත බඹරුන්
ගියා
ඈත හිමේ සීත අරන් ඉගිල ආව
කුරුල්ලෝ
මෑත බිමේ විල් තැන්නේ පිපුණු මලේ
අහල්ලෝ
ගීත අරන් කඳුකරයෙන් හමන සුළං
යමල්ලෝ
වසන්තයම මිටින් අරන් කුමාරයෙක්
ඇවිල්ලෝ
🌹 රොෂෙල් ෆර්නැන්ඩු 🌹
කැළෑ මල් මිටක්
හිම තුහින කබා හැඳි
පරණ කඳු මහත්තුරු
නිසොල්මන් මුනිවතින්
සිටිති කල්පනාවේ
හද කුටිර උණුසුමේ
ලාවමය මතකයන්
අළු යටින් නිදිමතේ
ඇහැර නොම උනාවේ
නීල දිය ඌලකින්
අතීතය ප්‍රේමයෙන්
දිගු ගමන් යන්න අර
ගඟිත්තක් සිනාවේ
කඳු හදක් සිඳු අසට
රැගෙන යන කා හටත්
කෑළ මල් සුවඳ හා
සුළඟ මුසුවුනාවේ
-රොෂෙල් ෆර්නැන්ඩු-
ප්‍රේමයෙනි මා
උයන්තෙර සිප හමන මඳ මුදු
සුළඟ මෙතරම් සුවඳ
මලින් සැරසුනු වසන්තය නුඹ
සිටින අස ඇත නිබඳ
යොදුන් ගණනක් දුරක උන්න ද
නිතර සිහිවෙයි සබඳ
පිනි නොවෙයි මේ තෙත හැඟුම් ඇස ප්‍රේමයෙනි මා සුහද
-රොෂෙල් ෆර්නැන්ඩු-
හැඬීම සපුරා තහනම්!
හැඬීම සපුරා තහනම්!
සහෘදය,
හෘදයාංගම
හෘදය ම
නුඹටමැ ලියා දී
අනවසර
හෘදයාබාධ
මවෙත පවරගමි
ගිලන් වූ සයනයේ
හිඩැස පුරවා
මලානික හිරු රැසට
විහිළුවක් කරමි
පෙම්වන්ත කොපුලතේ
හේමන්ත රැලි මතින්
හසරැලි අඳිමි ; කඳුළැලි පිසිමි
දිගු කලක් මුළුල්ලේ
මදැයි මදෙසම බැලුවා?
"දැන් හොඳටෝම ඇති"
කියන බැල්මකින්
අඩැස හරවා
පසෙකින් ඇති
මල් බඳුනක
නුඹෙ දෑස්
සිටුවමි!
ම'ගිලන් වූ කලෙකත්
සිනාවන් පමණයි
නුඹගෙන් අවැසි!
-රොෂෙල් ෆර්නැන්ඩු-
සතුට
ඔබ සතුටින්ම ඉන්නේ කොයි විටෙකද ?
සතුටින් ඉන්න කවුරුන්ද අකමැති.. මේ ජීවිතේ අපි කරන හැමදෙයකදිම අපි බලාපොරොත්තුවෙන්නේ හෝ ළඟාකරගන්නේ එක්තරා අන්දමකින් සතුටක්,උත්කර්ෂයක් තමයි.. පීඩාවට පත් වෙන්න කිසිවෙකු කැමති නෑ..
ඒ නිසාමයි මිනිසුන් සතුට අහිමිවෙනකොට ඒක සොයාගෙන යන්න උනත් පෙළඹෙන්නෙ.. ඇතෑම් වෙලාවන් වල මේ හේතුව නිසාම මිනිසුන් ආත්මාර්ථකාමී වෙනව.. ඒ තමන්ගෙ සතුට වෙනුවෙන්.. ඒක සෑම පෘථග්ජන මනුෂ්‍යයෙකුගෙ ස්වාභාවයක්.. මොකද මිහිපිට ඉන්නා අපි කවුරුත් තවම බෝධිසත්වභාවය ලබලා නැති නිසා..
ඒත් මම ඔබට කියනව ඒ ආත්මාර්ථකාමී සතුටට එහා ගිය යමක් ඔබට ලැබෙනවා නම් ලැබෙන්නේ තමන් වගෙම අනික් අයටත් සතුට බෝ කරලා ලැබෙන අසීමාන්තික තුෂ්ටියෙන්.. සැබවින්ම ඒක වෙනමම අත්දැකීමක් වරක් හෝ ඔබ උත්සහ කර බලනවානම්.. අපි අපේ සතුට වෙනුවන් ඇතෑම් විට කරන කැපකිරීම් බොහෝ විට අනෙක් කෙනෙකුන් වෙනුවෙන් කරන්නට පෙළඹෙන්නෙ නෑ.. ඒ උනත් වරක් හෝ ඔබ අත්හදා බැලුවා නන් ඔබ පසක් කරගනිවී සැබෑ සතුට තියෙන්නෙ පරිත්‍යාගයේම පමණක් බව.. මම ඔබට අවංක විය යුතුයි.. ඔව්! කියවන ඔබ වෙනුවෙන් මේ අකුරු ලියන මට පවා ඒක තේරුම්ගන්න තරමක කාලයක් ගත උනා..
බොහෝ දුෂ්කර කාල වකවානු පහු කරන් මේ යන ගමනේදි මන් ඒක හොයාගත්තා.. සතුටු මැජික් එක.. ඒක තමයි හොඳම වගෙම ඒක තමයි ආදරණීයම.. අනෙක් ඇහැක කඳුළු පිහලා සතුටු ස්ප්‍රීතුවක් වක්කරන එක.. 😍
ඒක හරිම ජොලිබර හැඟීමක්.. හිතට තෘප්තිමත් හැඟීමක්.. ඉතින් මන් හොයාගත්තා මගෙ සතුට තියෙන්නෙම අනෙක් මූණක මම නිසා ඇඳෙන හිනා රේඛාවක කියලා.. ඒ මැජික් එක මන් දන්න සෙල්ලම් සේරම දාලා හැමවිටෙකම කරන්න උත්සහ කරනව.. මොකද ඒ මැජික් එක කෙළවර තියෙන්නෙ ඔබටත් මටත් සතුට! සතුට! සතුට! විතරක්ම නිසා..
ජීවිතේ ඔබට මුණගැහෙන ඕනෑම මුහුණකට සිනාවක් පිරිනමා බලන්න.. එයින් ඔබට ලැබෙන තෘප්තිමත් බව ඔබටම වැටහේවි.. මන් නම් එහෙමයි.. පාර දිගේ විරිත්ත විරිත්ත යන මට එක ඇහැක් පේන්නෙ නැති තණකොළ කපන නම නොදන්නා සීයා හොඳම හොඳ යාළුවෙක් උනේ එහෙමයි..
දුර වැඩිය පේන්නෙ නැති ළඟින් යනකොටත් ඉර මූණට පාත් උනා වාගේ ඇස් පුංචි කරල බලන, කෙට්ටු පුංචි ශරීරෙට වෙලා අහිංසකව පෙරළා සිනාවක් පිරිනමන අර සීයාගෙ අවුරුදු ගාණක දුකේදි සැපේදි එකට උන්නු ප්‍රේමවන්ති , අදටත් සිනාවෙන් පමණක් බැඳීමක් ඇති කරගත් ඒ නම නොදන්නා ආච්චිඅම්මා යාළු උනේ ඒමයි..
අපෙ අම්මා ඒත් මට වෙලාකට කියනව ඔහොම හිනා වෙවී පාර පුරා ඔයා නම් යනව පෙළක් අය හිනාවෙන්නෙ නෑ නේද කියලා.. ඒත් ඒ හැමවෙලේම මන් අම්මට කියන්නෙම
" අනෙ අම්මෙ අපට මුකෝ හිනා උනත් නැතත්, අපි හිනා උනා නෙ එච්චරයි" කියලා..
මොකද පෙළක් වෙලාට අපි එහෙමයි.. වතාවක් හිනාවෙලා පෙරළා අනික් කෙනා හිනා නොවුනොතින් බොහෝ විට ඊගාව දවසක හිනාවෙන්න අපි තරමක් මැලි වෙනව.. ඒත් මගෙ ක්‍රමය වෙනස්.. මන් හිනාවෙනව හැමදාමත්.. හිනා නොවෙන කෙනෙක් උනත් පෙරළා හිනා නොවී ඉන්න බැරි වෙනතුරු මන් හිනාවෙනව.. සමහරක්විටෙක ඔබ කියාවි මට පිස්සුයි කීලා.. ඒ උනත් දන්නවද මන් හිතන දේ.. සතුට බෝ වෙන්න නම් ඕනිම පළමු දේ ලස්සනම පියකරු හිනාවක්.. සමහරක්විටෙක අපි පාරේ යන එන විටෙක ඇතෑම් අය කල්පනාකාරීව යනවා වෙන්න පුළුවන්, විසඳගන්න බැරි ගැටළුවක් ලෙහන්න පැටලුමක කොනක් සොයමින් යනවා වෙන්නත් පුළුවන්.. තමන්ගෙම ආදරණීයයෙකු අසනීප වෙලා ඒ පුද්ගලයා බලන්න රෝහලට යමින් ඉන්නවා වෙන්නත් පුළුවන්.. ඔය වගේ විවිධ සිතුවිලි උහුලගෙන පාරේ යන ඔවුන්ට සිනාසෙන්න අමතක වෙලා වෙන්නත් පුළුවන් වගෙම සිනාව මඟහැරිලා වෙන්නත් පුළුවන්.. ඉතින් එහෙව් වෙලාවක කාටද පුළුවන් පෙරලා සිනාවක් දෙන්න.. අන්න එහෙම හිතලා කවදාවත් මූණෙ සිනාවක් නැති කෙනෙක් එක්ක උනත් මන් කට පුරා හායි ගාලා විරිත්තගෙන මගෙ මන් ගමන යනව.. 😂😂 නිකම් තියෙන හිනාවක් දෙන්න මොකටද ඔය තරම් ලෝභකමක්..
අනෙක් කාරණාව සැබැවින්ම අරම ගැටළුවක යමින් සිටින කෙනෙක් නම් අපේ එකම එක අවංක හිනාවක් ( අවංක කියලම මන් මෙහි සඳහන් කරේ සමහර අය ඉන්නව මූණිච්චාවට හිනාවෙන..) ඇති ඒ කෙනාට අලුත් පිළිතුරක් හොයාගන්න.. සමහරක්විටෙක ඒ හිනාව කාරුණික උදව්වක් , තල්ලුවක් වෙන්න පුළුවන් අනෙක් කෙනාගෙ සිතුවිල්ලකට ඉස්සරහට යන්න.. විශ්වාස කරන්න.. ඔය සේරම ඉගෙනගත්තේ මන් හිනාවෙලාම තමයි 😍
මේ මාතෘකාවට මට ලියන්න පුළුවන් අඹ කොළ අස්සෙන් ඉරු එළිය වැටිලා හෙවණැලි හදනකොට මට හරි සතුටුයි කියලා, ආයෙම හැන්දෑ අහසෙ ඉර බැහැගෙන යනකොට කන්න හිතෙන බොම්බයි මොටයි වගේ රෝස පාට පුළුන් වළාකුළු දකිනකොටත් මට සතුටුයි කියලා, රසම රස බත්ගුලියක් තියලා ලේන් අප්පුව එනකම් මඟ බලන් ඉඳල වයරය දිගේ ගාට ගාට ඇවිත් බුහුටි පොඩි අත් වලින් දෝතින්ම අරන් රස කර කර හරි වේගෙන් කනකොටත් මට සතුටුයි කියලා..
නැත්තං හුරතල් පොඩි බබුච්චෙක් වඩාගෙන කිරි සුවඳ පෙනහළු වලට පිරෙනකම් ඉඹලා නැළවිල්ලක් කිය කිය එහෙ මෙහෙ සක්මන් කරන එකත් සතුටක් කියලා.. ආසම කෑමක් කනකොට,ආසම පොතක් කියනකොට, ආසම සිංදුවක් අහනකොට, ඇයි නිවිහැනහිල්ලෙ කවියක් ලියනකොට, හදපු කෑමක් කවුරුහරි රහයි කියනකොට මට හරි සතුටුයි කියල කියන්න පුළුවන්.. ඇත්ත ඒ දේවලුත් මට හරි සතුටක් තමයි.. ඒත් දන්නවද මේ ලෝකෙ මට නම් වැඩියෙන්ම සතුටු කොයිවෙලාටද කියලා..
කවුරුන් හරි ඇස් දිලෙසනකම් කම්මුල් කකියනකම් හිනාවෙනව නම්.. අන්න ඒ පියකරුම හිනාවට හේතුව මම නම්.. ඔව්.. මට වැඩියෙන්ම සතුටු අන්න එතකොට.. 🙈❤️
- රොෂෙල් ෆර්නැන්ඩු -
සැරයටියෙන් අපි යනෙන තුරා..
අද දවස ඔබට මතක නම්!
"කොහොම අමතක වෙන්නද ශාරදා?"
කැලැන්ඩරේ දිහා බලාගෙන ඔයා එහෙම හිතනවා ඇති කියා හිතන්න මම කැමතියි.
"මැරිල ඉපදුනේ නෑනෙ අමතක වෙන්න"
ඔයාව මුණගැහිලා ඇහුවොතින් ඔයා එහෙමත් කියයි.
ඒත් ඇත්තටම මේ වෙනකොට ඔයාගෙ හිතට එබිලා බලන්න ඇත්නම් මම වඩා කැමතියි.
ඔව්! අද තමයි ඒ අමුතු දවස!
ඔයාගෙ ආදරේ නිදහස වෙනුවෙන් මගෙ හිත මම කූඩු කරපු දවස. ජීවිතාන්තය දක්වාම! ඔව්.. ඒක ලේසි තීරණයක් උනේ නෑ. අවුරුදු කිහිපයක මිහිර අරන් එකපාරටම නාඳුනන්නෙක් වෙලා පලා යන එක. ඇත්තටම මට යන්න උවමනා උනේ නෑ! ඔයා මට යන්න කීවෙත් නෑ!
හැබැයි ඔයා මට ඉන්න කීවෙත් නෑ!
මම නොයා ඉන්නවට ඔයා කැමති වග මම දැනන් හිටියා. ඒත් තවදුරටත් රැඳෙන්න බැරි වගත් ඒ එක්කම මට අවබෝධ වෙලා තිබුණා.
ඉතින් මම යා යුතුම වෙලා තිබුණා රවීන්ද්‍ර!
අද වගේම එදත් මම සංකීර්ණව ආදරේ කරපු සරල ගැහැණියක්! ඔයා දන්නවා!
මගෙ ලෝකේදි මගේ මනෝභාවය තුළ ඔයා මගෙම විතරක් උනා!
ඒ ලෝකය තුළ ඔයා සම්පූර්ණයෙන්ම නිදහස් කිසිම වරදකට හසුනොවූ ආදරණීය චරිතයක් විතරයි. චරිතයක් නෙවෙයි එකම ආදරණීයයා විතරයි! ඒ ලෝකය ඇතුලෙ මගෙ සම්පූර්ණ විශ්වාසයත් ආදරයත් ඔයාට තිබුණා! අදටත් ඒකේ වෙනසක් නෑ.
"මගේ ලෝකය ඇතුලේ සියලු ලස්සන ඔයාටයි.."
වචන වලින් නොකීවට මන් හැමතිස්සෙම එහෙම හිතුවා! සමහරවිට ඒක එක්තරා උමතුවක් කියා ඔයාට හිතෙන්න පුළුවන්! ඒත් එක වරක් හරි ඒ ගැන අවබෝධ උනොත් ඒ උමතුව කෙරෙහි පවා ඔයා උමතුවෙයි!
ඔයා ඒ හැඟීම විඳින්න කැමතියි.ඒක මම විශ්වාසයෙන් දන්න දෙයක්. ඒත් ඒ වෙනුවෙන් එන පාර ඔයාට හරි දුරයි, හේතුව මගේ දොරටු හැමදාමත් වගේ ඔයාට විවෘත උනාට ඔයා දැන් ඉන්නෙ සැතපුම් ගාණක් ඈත වෙනමම ලෝකෙක වීම.
මම කවමදාවත් හිතේ නිදහසේ ඔයාට ආදරේ කරල තිබුණෙ නෑ, මට එහෙම කරන්න දැඩිව උවමනා උනත් මේ ලෝකය මට ඒකට ඉඩ දුන්නෙ නෑ.. ඒත් මම හරි ආසයි වරක් හෝ මට කිසිම පැකිලීමකින් නැතුව නිදහසේ ආදරේ කරන්න තිබුණා නම්.
ඒත් මේ මගේ වාරය නෙවෙයි.
අපිව මුණගස්වපු විශ්වය විසින්ම තීන්දුව දීල තිබුණෙ එහෙම. ආදරේ නිදහස අත්නොවින්ඳ හින්දමද කොහෙද නිදහසේ වටිනාකම මට තදින්ම දැනිල තිබුණා. මම වගේ ඔයා හිර වෙලා දුක්විඳිනව බලන්න මට පුළුවන් කමක් තිබුණෙ නෑ. ඉතින් මම එන්න ආවා. නොකියාම එන්න තිබුණා නම් හොඳයි කියල බොහෝ වර හිතුණත් ඔයාට කියලා යන එක යුතුකමක් බව මම දැනන් හිටියා.
ජීවිතේ මහ පුදුමාකරයි. අපිට දරාගන්න බැරිතරම් ප්‍රේමය දීලා ආයෙමත් ඒ ජීවිතේ විසින්ම මොහොතක් හරි ඒ ගැන කල්පනා කරන්නත් කලින්ම අපෙන් ඒ ප්‍රේමය උදුරගන්නව. ප්‍රේමය විඳින්න හිතනකොට ප්‍රේමය විඳවන්න වෙන තැනට කටයුතු යොදවනව. මොනව කරන්නද. ජීවිතේ එහෙමයි. අපිට ජීවත් වෙන්න වෙනව!
අපිට තිබුණේ පහසු ආදර කතාවක් නෙවෙයි. දුෂ්කරම දේවල් අඩුනැතුව තිබුණා. අපේ ආදරේ ඒ තරම් දුෂ්කරතා විඳිමින් උනත් අපි පවත්වාගෙන ගියේ බොහොම අභිමානයෙන්. මොකද අපි දැනගෙන හිටියා ඒ බැඳීම ඇතුළෙ තිබුණෙ පිරිසිඳු චේතනාවක් විතරයි කියලා. හුදෙකලා නොකිරීම! අපේ අරමුණ වෙලා තිබුණෙ එකිනෙකා හුදෙකලා වෙන්න ඉඩක් නොතැබීම. ජීවිතේ අරන් දෙපැත්තකින් ආව ඔයාගෙත් මගෙත් තිබුණු හිස්තැන් ගොඩක් අප විසින් අවබෝධයෙන් පුරවගත්තෙ බොහොම ලෙංගතුව. ඒත් අවාසනාවට හුදෙකලා නොකිරීම කියන හේතුව නිසාම මුණගැහුණු අපිට හුදෙකලා වීම දෛවය විසින් උරුම කරල තිබුණා.
බොහොම දුෂ්කර දවස් ඉවසාගෙන මල් වලට වඩා කටු පිපුණු මාවතේ අපි ආවේ කොයිතරම් ප්‍රේමයෙන්ද කියලා ඔයාට මතකද? ඒ තරම් දේවල් දරාගෙන අපි ඒ ගමන ගියේ ඒ තරමටම ඒ ප්‍රේමය අපිට මහාර්ඝ වස්තුවක් වෙලා තිබුණු නිසා. ඒත් ප්‍රේමයටත් වඩා මට ඔයාව වටිනවා.
ප්‍රේමය පවා ඔයා විතර වටින්නෙ නෑ රවීන්ද්‍ර!
ඉතින් ඒ ප්‍රේමය නිර්ලෝභීවම ඔයාට දීල හිස් අතින් මම පිටවුනේ අද වගේ දවසක.
අද දවස මගෙ මතකයේ තියෙන්නේ ඔයාගෙන් වෙන්වෙලා ආව දවස හැටියට නෙවෙයි. ඔයා මට හාදුවක් දුන්නු අන්තිමම දවස හැටියට.
කවමදාවත් අමතක නොවෙන ඒ මොහොතේ ඇස් වලින් බොහෝම දේවල් දරාගෙන හිතේ තියෙන සේරම හැඟීම් හාදුවකට එකතු කරලා ඔයා මගේ නළලතේ තිබ්බා.
මම හිතන්නේ අපි එකට උන්නු කවරදාටවත් වඩා ඔයා මාව ආදරෙන්ම ඉඹින්න ඇත්තේ එදා ඒ වෙලාවෙ වෙන්න ඕනි.
එදා ඔයාගෙන් වෙන්වෙලා මම බොහොම වේදනාවෙන් ආවෙ ප්‍රේමයක අවසානය කොයිතරම් අසීරුද කියලා වටහාගන්න බැරුව.
අපේ ප්‍රේමය අපෙන් ගිලිහුණ දවස. ජීවිතේ අසීරුම දවස. මට දැනුනෙ එහෙම.
ඒත් එදා තේරුම් නොගිය බොහොම වැදගත් කාරණාවක් අවුරුදු ගණනාවකට පස්සෙ මට වැටහුණා.
අද වගේ දවසක මම ඔයාගෙන් වෙන්වෙලා ආවත් මේ දවසට මම දුන්නු නම වැරදියි.
අපේ ප්‍රේමය නැවතුනේ අද නෙවෙයි....
මේ තමයි අපි හරියටම ප්‍රේම කරන්න පටන්ගත්තු දවස!
ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමුවූයේ
කටු කොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ..
සැරයටියෙන් අපි යනෙන තුරා.. සංසාරේ අපි එකට ඉමු.. සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු..
-රොෂෙල් ෆර්නැන්ඩු-
අමතක නොවන සන්ධ්‍යාව
මෙය ග්‍රීෂ්මයේ සැඳෑවකි. සිනිඳු වැලි ඔවුනට නොතරම් තරමට රත් වී ඇති බව ඇගේ දෙපතුල් විසින් චෝදනා කිරීම හේතුවෙන්, පැමිණෙන වේගයටත් වඩා වේගයෙන් ආපසු හැරී යන, ස්ථීර නැවතුමක් නොසොයන නමුදු නොනැවතී යන එන උමතු රළ විසින් වෙරළ සිඹින පටු මාවත තවදුරටත් ඉදිරියට යනු සඳහා ඇගෙ දෙපතුල් විසින් තෝරාගෙන තිබිණි.
අව් කැරළි වලින් රත් වූ අකීකරු සුළඟ වෙරළාසන්නයේ තමන්ගේ අධිකාරය පෙන්වමින් හිතුමනාපේ හැසිරෙන වෙලාවකි. ඇගේ ඉනවටක් දක්වා දිගු වූ ශක්තිමත් කෙහෙරැළ් ඇයට අවනත නොවන සෙයකි. සුළඟේ හැසිරීම ගැන නොකැමතිවා මෙන් නොමනාපයෙන් ඉර අවරට යන්නට පටන්ගත් නිමේෂයේ වෙරළ කෙළවරින් කුඩා තිතක් මතුව ආයේ රාත්‍රිය ඉහිල් කරවන තරමේ සිසිලසක් රැගෙන පායන චන්ද්‍රයා සිහිගන්වමිනි.
තාරකා සියල්ල මොහොතකට දෑස් වසාගත යුතු ය! සඳ පැමිණෙන්නේ නොආ යුතු යැයි විශ්වය විසින් තීරණය කළ ගමනකි.
-----------------------------------
ඔවුන්ගේ මුල් හමුවීම අහඹුවකි. එම මුල් හමුවීමේ දිගුවක් ලෙස යළිත් මෙලෙසින් ඔවුන් අහඹු ලෙස මුණගැසිනි. එසේ නොමැති නම් අහඹු ලෙස හමුවන්නට ඔවුනොවුන් විසින් කලින් නියම කරගෙන තිබුණා වෙන්නට පිළිවන.
නමුදු මුල් හමුවීමේ පැවති තරමටම ආගන්තුක බවක් මේ හමුවීමෙහිදී ද පැවතීම අහඹුවක් නොවේ. එය ඔවුන්ගේ තෝරාගැනීමකි. අවුරුදු ගණනාවක් අතර වූ හිස් අවකාශය තුළ ඔවුන්ගේ හමුවීම් ඉතා දීර්ඝ විවේකයක් ලබා ගෙන තිබූ සෙයකි. හමුනොවූ සැඳෑවන් බොහෝ වූ හෙයින් ඔවුනතර සැතපුම් ගාණක පරතරයක් දැන්නෙන්ට වූ නමුදු එය පවා කෙටි මොහොතකට පමණි.
අසීරු ආගන්තුක බැල්මකින් දෑස් එකිනෙක ගැටෙත්ම හදවත්වල බලහත්කාරයෙන් සඟවා තිබූ සුපුරුද්ද සැනෙන් අවදිවිණි.
ග්‍රීෂ්මය පවා දැඩි හිමපතනයකට හසු වූවා සේ ගෙවෙන අසීරු තත්පර කීපයකි. කිසිවෙකුටත් ඇසෙන නෑසෙන පරිද්දෙන් සුසුමක් ඇගෙ මුවින් ගිලිහෙත්ම එය ග්‍රහණය කොට ගත්තේ ඔහු විසිනි.
ග්‍රීෂ්ම සන්ධ්‍යාවට උහුලාගන්නට නොහැකි තරමේ ශීතල බැල්මක් ඇගෙ දෑස් කුහර වල ගිලී තිබුණ වග ඔහුට වැටහෙන්නට ගත වුනේ තත්පරයක දෙකක පමාවකි.
අනතුරුව දිගු නිහැඬියාවකි.
එකිනෙකා පිළිබඳව යම් අදහසක් ඇති කරගන්නට දෙදෙනාගේම හදවත් වලට තරමක කාලයක් අවැසි වූ සෙයකි.
තුරු අගින් වෑහෙන පිනි අතුරින් යමක් බලා සිටින්නාක් සේ දැනෙන බොඳව ගිය රූපයක් දිහා ඇය බලා සිටින අතරවාරයේ කටු රැවුලින් වැසී ගත් මුව පුරා අසීරු සිනාවක් මතු කරගන්නට ඔහු උත්සුක වන බවක් පෙනිනි. වරෙක ඇගෙ දෑත් වලින් බොහෝ වරක් පිරිමැදුම් ලද කෙටි කැරළි කොණ්ඩය සුළඟ හේතුවෙන් තව තවත් අවුල් වී ගිය ඇති සෙයකි. ගිණිය නොහැකි වාර ගණනක් දෑසින් සිපගෙන ඇති, වරක් ඇය අසීමිතව ප්‍රේමය දැක්වූ ඒ නිසල රුව ප්‍රතිමාවක් බඳු සන්සුන්බවකින් ඈ ඉදිරියෙනි.
මේ අතරේ ඔහු කල්පනා කරමින් හුන්නේ ඈ වෙනස් වී නොමැත්තේ හදවතින් සහ ආදරයෙන් පමණක් ම නොවේද යන්න වගයි. අවසන් වරට ඈ දකින විට උර දක්වා වූ කෙටි කොණ්ඩය ඉඟවටක් දක්වා ලිහී ගොස් තිබිණි. ප්‍රීතිමත් දෑස් වෙනුවට වඩා කල්පනාකාරී බවක් පෙනෙන තියුණු දෑස් තිබුණේ ඇස් කුහර ගිලගෙනය. නමුදු තවමත් පියකරු සිනාව ඈ සතු වග පසක් කරන්නට මෙන් ඈ වෙතින් පිරිනැමුනේ කෙටි සිනාවකි.
දිගු කලක් මුළුල්ලේ ඇය ඇගේම හුදෙකලා මනෝභාවයන්ගෙන් පීඩාවට පත්වෙමින් ආත්මීය දැඩි ශීතලට නතුව වෙව්ලමින් සිටි වගට ඔහුගේ උණුසුමෙන් යුතු සහජාසය වහා අවබෝධ කරගත් බවක් පෙනෙන්නට තිබිණි.
පියවරක් ඉදිරියට තැබූ ඔහු තම ශක්තිමත් දෑත් ඇගෙ සිහින් සිරුර වටා යැවීය. ඇයටම උරුම වූ ඇගේ මුදු බව සේම දුබල බවත් ඔහුගෙ පපු පෙදෙසට දැනිනි. ඔහුගේ හදවතේ රිද්මයානුකූල ස්වරයේ හදිසි ඉහළ යාමක් වේගවත් බවක් ඇයට දැනෙන්නට විණි.
පෙරදී මෙන්ම ඔහුගේ හදවත විසින් යමක් පවසන්නට උත්සහ කරන වගත් බොහෝ විට සේම මෙවරද ඔහුගේ භාෂා මාධ්‍යය සුපුරුදු නිහැඬියාව වගත් ඇයව දැඩිව වැළඳගත් ස්පර්ශය විසින් ඇයට වැටහෙන්නට ඉඩ හැර තිබිණි.
වඩා උණුසුම් පපු පෙදෙසින් වචනවලින් තොර වූ ඔහුගේ හෘදයාංගම ආමන්ත්‍රණය ඇයගේ සවන් වැකිණි.. ඉනික්බිති කෙටි හෝරාවක දිගු කාලයක් තිස්සේ රැස්කරගත් කරුණු ගොන්නකට නිහඬ සවන්දීමක් පමණකි!
"ශාරදා... ඔයාට වෙහෙස වගත් ආදරයෙන් නවතින්නට උවමනා වගත් ඒ හේතුව නිසාම නොනැවතී ආදරයෙන් පලායන්නට උත්සහ කරන වගත් මම හොඳාකාරවම දන්නවා!
ඒ උනත් තවදුරටත් දුවන්නට මම ඔබට ඉඩදෙන්නේ නෑ.. බොහෝ ඉක්මනින් ම හෝ පසුව නමුත් තවදුරටත් පමා නොවී කිසිවෙකු ගැන විශ්වාස කිරීම ඔබ විසින් ඇරඹිය යුතුයි."
ඇයට අසන්නට උවමනා නොවූ එහෙත් ඔහු විසින් පවසන්නට නියමිත වගට කල්තියා හොඳින් දැන හුන් කාරණාව ඇයට ඇසුනෙන් සිහින් කෙඳිරියක් ඇයගෙ මුවින් ගිලිහිනි.
" රවින්ද්‍ර.. මට බැහැ"
සිහින් ඉකිබිඳුමකට ඇගේ බිඳුනු හදවත කෙරෙහි සාධාරණයක් කළ හැකිද යන්න පවා සැකයකි.
"අනෙකෙකු විශ්වාස කිරීම? මම එහෙම කරන්න දන්නවාද කියා පවා මට විශ්වාස නෑ"
අවුරුදු ගණනක් ගොසින් වුවද ඇය සතු වූයේ පුරුදු ලෙංගතුකමත් ඔහු කෙරෙහි වූ හිතෛෂීබවත් පමණි.
ඈ ගැන මනාව දැන හුන් ඔහුගේ රළු දෑත් හා මුදු හදවත ඈ වෙනුවෙන් එකතු විණි. ඔහු වහා ඇය තම සිරුරට තදකරගත්තේ එකවර ඉහළ ගිය ප්‍රේමයත් වේදනාවත් කරණකොටගෙන විය යුතුය.
"ඒත්.. ඔයා තව කොපමණ කල් තනිවම ඉන්නද කල්පනාව ශාරදා ?"
ඔහුගේ එම වදන් හේතුවෙන් ඇයට දැනුනේ සිය ආත්ම ධෛර්යය මඳක් සසල වූ බවකි. දෙදෙනාතර වූ නිහැඬියාව කියා පෑවෙ එකිනෙකාට සමුදෙන්නේ කෙසේද යන්න දෙදෙනාගෙන් කිසිවෙකුත් නොදැන සිටිනවා මෙනි. හිස් බැල්මකින් ඔහු වෙත බලා සිටියදී නුපුරුදු හැඟුම් රාශියක් ඈව වටකරගත් සෙයක් දැනුනෙන් ඇයට මඳක් ඉහිල්වීමට අවැසියැයි හැඟුනෙන් ඔහු කෙරෙන් තරමකට ඈත්වුණු ඈ ඔහුට පිටුපා සිටියේ රත් රන් පැහැයෙන් ඉරු ගිලගන්නා මුහුදත් දම් පැහැ සිහින් රේඛාවක් ලෙසින් ඈතින් පෙනෙන සිතිජයත් තරු එකින් එක මතුවෙමින් තිබුණු බටහිර අහසත් දෙස නෙත් හරවාගෙනය.
කොයිතරම් ප්‍රේමයකින් එකිනෙකා කෙරෙහි බැඳී හුන්නද එක්ව යන ගමනකට විශ්වයෙන් ඔවුනට අවසරපත් ලැබී තිබුණේ නැත. ඔහුගේ මාවතෙහිද හුදෙකලාව අඩු නැතිව තිබුණේ වුව ඔහු ගමන් කර තිබුණේ තනිවම නොවේ. දුෂ්කර තීරණ හා පොරොන්දු හේතුවෙන් ඔහුගෙ තනි මඟ තනි නොවී තිබුණි.
තීරණයක් ගනු පිණිස ඔහු වළකාලන පොරොන්දු පත්‍රයක යදමකින් ඔහුව විලංගු ලා තිබිණි.
ලුණු මිශ්‍ර හුළඟට දෑස් කොන වූ ලුණු රසැති තෙත වියළන්නට ඉඩ හැර ශාරදා මොහොතක් බලා උන්නේ සිතිජයෙන් නොපෙනී යන යාත්‍රාවක ගමන් මඟ දෙසය.
හදිසියේ ඔහු වෙතට ඉක්මන් පියවරක් තැබූ ඈ පරෙස්සමෙන් ඔහුගේ මුව මත හාදුවක් තබා ඉවත හැරුණි. ඉවත් වන විට ඇගෙ දෑස යළිත් වරක් කඳුළින් පිරි තිබුණු වග ඔහු විසින් දුටුවත් මිට මොලවාගත් දෑතින් ඔහු සිඳී යන ධෛර්යය රඳවා ගන්නට ආයාසයෙන් තැත් කරන වගක් පෙනිනි.
"මට අදත් යන්නම සිදුවෙනවා"
ඇය මුදු හඬකින් මිමිණුවාය.
සිනාවන්නට තැත් දරමින් ඔහු මහත් සෙනහසකින් තම දෑත් ඇගෙ සිරුර වටා
මොහොතකට යැවීය.
"මටත්"
එකිනෙකා වත්තන් කරගෙන සෑහෙන වෙලාවක් ඔවුනොවුන් සිටියේ කිසිවෙකුට අනෙකාගෙන් පසෙකට ඉවත් වී යන්නට නුවමනා සේ ය.
අවසානයෙ ඔහු හඬ අවදිකළේ ය.
මේ සැඳෑව අමතක නොවේවි!
තව මොහොතක් හෝ පමාවීම තත්ත්වය වඩා අසීරු කරන වග අවබෝධ කරගත් ඇය වහාම යන්නට හැරිණි.
"ඔයාට පුළුවන් වෙයිද මාව තව වරක් විශ්වාස කරන්න?"
සැනින් බිඳුනු හඬකින් ඔහු ගේ මුවින් ගිලිහුණු වදන් පෙළය.
නිරායාසයෙන් ඔහුගෙ මුවින් පිටවුනේ එයම බව ඇගෙ දෙසවනට තබා ඔහුටම වත් අදහාගත නොහැකිව තිබිණි. නමුදු ඇය කෙරෙහි වූ ඔහුගේ ආදරය ඔහු විසින් මෙතෙක් පනවාගෙන තිබූ ස්වයං වාරණද ඉක්මවා වේගයෙන් ඉදිරියට ඇවිත් තිබුණේ ආදරය ඉදිරියේ සියලු කාරණා අවශේෂ කරුණු වග හදවතට වටහාදෙමින් සියලු සිතුවිලිමය බාධක පසුකරමිනි.
ආදරයේදි කිසිවක් වැරදි නැත!
ඔහු විසින් ඔහුටම මුමුණන්නට විණි.
නතර වූ දෙපා ගල් ගැසී ඇති සෙයකි. ඇය හුන්නේ කුමක් කිව යුතුදැයි සිතමින් ය.
ඈ පිළිතුරක් දෙන්නට මුව විවර කරත්ම තාරකා පන්තීන් සියල්ල අහසෙන් කඩාපාත් වෙන්නට ඇරඹිණි.
ක්‍රමයෙන් ඔහු සිහිසුන් වන වගත් ඈ කළුවරේ නොපෙනී යන වගත් ඔහුට දැනුනි.
බියකරු හැඟීමකින් වෙලෙන්නට වූ ඔහු කෑ ගසන්නට උත්සහ කළත් මුවින් හඬක් නිකුත් වූයේ නැත.
----------------------------------
මුවින් ශබ්දයක් පිටකරමින් අවදි වූ ඔහුට දැනුනේ දහදියෙන් ගතම පෙඟී ගොස් ඇති බවකි. සිදු වූ සියල්ල සිහිනයක් වග වටහාගන්නට ඔහුට මඳ වේලාවක් ගත විණි. පසෙක වූ වතුර වීදුරුවෙන් අඩක් පානය කළ ඔහු දුටුවේ සඳ එළියේ තමන් අස වැතිර නිදනා ඇයගේ රුවයි. ඒ රුව බොඳව පෙනුනේ ඇයි දැයි කල්පනා කරන්නට ඔහුට අවැසි නොවී තිබිණි.
-රොෂෙල් ෆර්නැන්ඩු-
වෙන්වීම
අදට අප එකිනෙකාගෙන් වෙන් වී අවුරුදු දහ අටකි. ඉන්පසු අවස්තා කිහිපයකදී මට ඔහු දැකගන්නට ලැබුණත් කතා කිරීමට අවස්තාවක් නොතිබුණෙන් සිනහවක් පමණක් පිරිනමා මම නිහඬවත පිරුවෙමි. ඇස්වලින් කෙරෙන්නා වූ ආමන්ත්‍රණය දුරස් වීමට පෙරම අප වෙතින් ගිලිහී ගොස් තිබිණි. ගිලිහී තිබුණාට වඩා අප විසින් අතැර දැමුවා යැයි කීම වඩා නිවැරැදි ය.
නමුදු කලාතුරකින් වූ දැකගැන්මක පවා කාලයක් තිස්සේ දැන හුන් ඒ කාරණාව තවදුරටත් තහවුරු කරමින් හදවතින් අපි ප්‍රේම කරමින් සිටියෙමු. ගත පුරා වේගයෙන් උණුසුම් වූ රුධිරය ගමන් කරන්නා සේ දැනෙන හදගැස්මේ රිද්මය හෝ රිදුම වේගයෙන් වැඩිවන බවක් දැනෙන ඒ අරුම පුදුම මුණගැස්වීම් මට සිහිපත් කරවන්නේ අප මුල්කාලීන පෙම්වතුන්ව සිටියදී කල්ගත කල සමයයි.
ආදරයේ මියයෑමක් නැත. තාවකාලික යටපත්වීමක් සිදුවනවා මිස මියයාමක් නැත. ඒ හැමවිටෙකම පාහේ තහවුරු කරගතිමි!
ඔහු හා අතිශයින්ම ප්‍රේමයෙන් බැඳී හුන් සමයෙක පවා එකී අවබෝධයෙන් යුතුව අප විසින් ප්‍රේමයත් ජීවිතයත් ඇතුළුව තවත් බොහෝ හැඟුම් දහරාවන් එක්ව දරාගත් බව මට මතකය. එකල අප විසින් බෙදාහදා ගත් හැඟීම් වල ලැයිස්තුව හද ගැඹුරේ පවතින කෙටි නොවූ අන්ධකාරය කරා දැනුදු යම් ආලෝකයක දිලිසීමක් ගෙනෙනා වග ඔහුට මා කියා නැත.
කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ වෙනස් වන්නට ඇතත් ආදරය පමණක් එසේම පවතින බව සිතමි. සමහරක්විටෙක එසේ සිතන්නට මට අවැසිය. එවිට මා හැඟුම් ලැයිස්තුව කෙමෙන් දිගහරිමි. ආදරයේ පුරුදු සුවඳ ට පුස් බැඳී නොමැති බැව් දැන සැනසෙමි. එය සහතික කරවනු පිණිස පැරණි මතකයක සිනහවක් මුවඟට පැමිණ දායකත්වය දෙන'තර ඇතෑම් දිනෙක කඳුළක් දෑස් කොන සරසා යන්නට යයි. හසරැල්ලක් සේම කඳුළෙකත් ඇත්තේ ආදරයේ හුරුපුරුදු බවත් නැවුම් සුවඳත් ය. හසරැලි උනන්නේ ද කඳුළැලි ගලන්නේ ද එකම ආදරයකට ය. ඉනික්බිති ලැයිස්තුව කිහිපවරක් සිඹ යළිදු වරක් නමා හදබිතෙහි අඳුරු කෙළවරෙක පරිස්සම්ම පසෙකින් තබමි.
ඔහු මා හැර ගියේ මා කෙරෙහි ඔහුගේ හද තුළ තිබූ ආදරය සිඳීමකින් නොවන වග අදටත් නිල් අහස තරමටම පැහැදිලිය. ප්‍රේමය වූ කලී නොනැසෙන නොසිඳෙන උල්පතකි. ඇතෑම් විට සුපෙම්වත් මුහුද කරා යන මඟ ජීවිතය නමැති ගඟ විසින් වෙනස් කරනවා විනා ආදරය සිඳෙන්නේ නැත. ගඟේ හැරවුම ඔස්සේ ගලා යාම ආදරයේ කාර්‍යභාරයයි. ගඟේ කාර්‍යබහුල බව විසින් විටෙක එය අමතක කරවයි.
ආදරය ජීවිතය ට ප්‍රමාණවත් වුවද ජීවත්වන්නට ආදරයම පමණක් ප්‍රමාණවත් නොවන වග ජීවිතය විසින්ම අපට කොඳුරමින් තිබිණි. හදවතේ ආදරය පැවතියද ඒ වග අමතක වන්නට පටන් ගත් කාලයක් ඒ වන විට උදාවී තිබිණි.
නොසෑහෙන්න හිත් රිදුම් මැද පවා ආදරේ කළ හැකි වුවත් එකිනෙකාට සෑහෙන තරමේ ආදරයක් දෙන්නට අප අසමත් වී තිබිණි. නමුදු ඒ කවර කලෙකවත් ආදරය එහැමපිටින්ම සිඳුන බවක් මගෙ මතකයේ නැත. අප'තර ආදරය නොසිඳී පැවතුණි.
ආදරය ගැන දැන හුන්නා වුව ද ආදරයෙන් උතුරායන මන්ත්‍රය ඔහු වනපොත් කර නොතිබිණි. ඉතින් ඔහුට වෙනස් වූ හැරවුමක අවශ්‍යතාවක් දැනෙන්නට ඇත. මම ද ඔහුට ඉඩහලෙමි. ඒ ද ඔහු කෙරෙහි වූ අසීමිත ආදරයෙනි.
අප විසින් කැමැත්තත් නොකැමැත්තත් අතරෙහි වූ හැඟීමකින් වෙන්වීමෙ අවස්තාව පිළිගන්නට කරුණු යෙදී තිබිණි. ඔහු තෝරා ගත් හැරවුමට ඔහු වඩා කැමති බව පෙනෙන්නට තිබුණෙන් ආදරයේ නිදහස යන පිළිවෙතින් මම ද ඔහුට කැමැත්ත පලකලෙමි.
මවිසින් බලාපොරොත්තු වූ ආදරය මට දෙන්නට ඔහුට සමත්කමක් නොතිබුණ බව සැබෑ ය. එනමුදු එහි අරුත ඔහු කවරදාකවත් මා හට ආදරය නොකල බව යැයි කිසිලෙසකින්වත් නොකියමි.
ඔහු මගෙන් වෙන්වී යෑමත් අපගේ ආදරයත් සැබවින්ම එකිනෙකට වෙනස් වූ කාරණා දෙකකි. දනිමි!
වෙන්වීමක් යනු කෙනෙකු අනෙකාට එහැමපිටින්ම ආදරය පුද නොකරනවා යන අදහස නොවන බව දනිමි.
වෙන්වීමක ලකුණ කෙනෙකුට අනිකා කෙරෙහි වූ ආදරය අහවර වීම නොවන බව හදවත් විසින් දත යුතුය.
ආදරය පැවැත්මකි. වෙන්වීම අවස්තාවකි. ආදරය වඩ වඩාත් මෝදුවෙමින් සිත් තුළ පවතිද්දි පවා ඇතෑම් වෙන්වීම් සිදුවේ. ආදරය විසින් ජීවිතය වඩාත් තදින් ස්පර්ශ කළ කලෙක පවා ඒ ආදරය හේතුකොටගෙනම ඇතෑම් වෙන්වීම් සිදුවේ.
ජීවිතය සැබවින්ම අරුමැසි වස්තුවකි.
එහි සදාකාලික නැවතීම් නැත. මඳ ඉසිඹුවක් සඳහා වන කෙටි මොහොතක් විනා කවරකලෙකවත් ජීවිතයේ නැවතීම් නැත. බොහෝ මංසලවල් මුණගැසෙනා සේම විවේකය ලබනා සේම පසුකර යාම ද කළ යුතු ය.
එනයින් අපගේ වෙන්වීම හේතුකොටගෙන ඔහු විසින් මා වෙතට කිසිදු ප්‍රේමයක් නොතිබුණේ යැයි නොකියමි.
ඔහු විසින් මා හට සම්පූර්ණයෙන්ම ආදරේ නොකලේ යැයි කිසිසේත්ම නොසිතමි.
අතිශයින්ම ආදරෙන් පිරුණු හදවතකට ඔහු හිමිකම් කියා තිබුණේ නැත.
එපමණකි!
-රොෂෙල් ෆර්නැන්ඩු-
Monday, July 8, 2019
සුවවෙන්න!
සුනිල තණබිම - නිසල දිය අස
විවේකයත් සැනසීමත් නුඹට ය
මරණයේ මිටියාවත පවා
මැදි කරගෙන
ජීවනයේ ගඟක වීමත්
නොසිඳී ගලා යාමත් මට අයත් ය
නිර්භීත හසරැලි මුවඟින් තබා
දෑස් දෙකොනේ තෙත මාත්තු කරමි
ඝනදුරත් රුදුරු නිම්නයත් මට ය
කුඩා ආලෝක කැබිලිත්තක් පවා නුඹට ය
නුඹව බිඳලන
එකඳු කඳුළක්
කිසිඳු විටෙක දි
නොසලමි
සාංකාව පසුපස
එලව එලවා පහර දී
පලවාහරිමි!
කඳුකරේ මලෙක ඇති
චාරුමත් බව නුඹෙ නමට ලියා දී
කටු අකුල නුඹෙන් කොල්ල කා ගමි
සියලු ලස්සන නුඹ ඉදිරියෙනි
විසැති පිනි රිදුම් සඟවාගමි
නැවුම් ප්‍රභාතයන් නුඹට මැ පවරා
සුනිශ්චිත සැඳෑවන් පැහැරගමි
නුඹේ යුතුකම සුවවීමය
මගේ ප්‍රේමය දිරිදීමය!
අත්නාරිමි!
-රොෂෙල් ෆර්නැන්ඩු-
පිච්චියක් සොයා සෙයිලමෙ අව්වෙ පිච්චි පිච්චි
තාච්චි අදිමින් අපෙ දිවි සරි කල අප්පච්චි
හිච්චිටයි මටයි හාච්චි දී නුඹ පිටවෙච්චි
වෙච්චි දේ නොදත් බිමෙන් සිමෙන්ති මල් පිපිච්චි
කාසය ම මිසක් කිසිදා හැංඟුවෙ නෑ කාසි
නාසය ම බැඳන් පෙනහළු හංඟනු බෑ ලේසී
මාසය ක් දෙකක් තහනම නොතකා වෙවි වීසි
වාසය ට හදන වැඩ බිම තිබුණද තෙත පාසි
ආදරේ වගේම බැරිලු හංඟන්නට කැස්ස
සාගරේ තරම් ගැඹුරුද ඔය හැටි පපු අස්ස
යන්තරේ වගේ වැඩ සඟවන් නොතකා වැස්ස
මන්දිරේ තනා නිවනට ගොස් අපෙ උළුවස්ස
-රොෂෙල් ෆර්නැන්ඩු-
කඩුගන්නාව
වින්ඩ්ස්ක්‍රීනය බදාගත්
විසල් වැහිබිඳු මඬින
නොසන්සුන් හිත මතින්
ළදුඹුරුවන් දෙනෙතකි
ඇවිද යන කඳුළකි!
ඈත දුර සිට පෙනෙන
වංගුවට කල් තියා
වහා ගැස්සෙනු පිණිස
දෙපා අණසකට ගත්
අසංවර තිරිංග ය
හුරුපුරුදු පාරකි!
බිඳක් නවතිනු කියා
නොනැවතී සන් කරන
වහා ලෙස්සන සුළු ය
මීදුම ද තර්ජනය
මම කෙලෙස නවතිම් ද
මේ මතක කන්දකි!
ශාරදා නුඹේ ප්‍රේමයත්
වැහිදාක කඩුගන්නාව වගේ
පාලම පහුකරනකොට
හුදෙකලා මගේ තනියට
කාරයේ රේඩියෝවෙන්
කසුන් කල්හාර හිත හදනවා වගේ!
-රොෂෙල් ෆර්නැන්ඩු-
ප්‍රේමයේ ප්‍රදීපය
වෙරළකින් වෙරළකට නවාතැන් ඇති
යාත්‍රා රැලි මතින් අයාලේ යතී
ස්ථීර හදවතක් සොබාවෙන් නැති
රුස්සන්නේ නෑ හිතට ඔය රුවල් ගති
කැමති නම් හැකි නුඹට
මගෙ ප්‍රදීපය වෙන්න
මහ ටැඹක් විලස
ගොඩබිමෙහි හිස ඔසවන්න
මට හැකිය නිකුත් වෙන
එළිය නුඹටම වෙන්න
අඳුරු සිඳු ගමන් යන
කා හටත් දැල්වෙන්න
රස්තියාදුව අන්ධකාරය
කුණාටුත්
ගැඹුරු සිඳු අගාධය
විනාසය ළඟාවුත්
ඔබ වැනිම ඉරී ගිය
රුවල් හදවතින් යුත්
බොහෝ නැව් තිබේ
ලුණු මල බැඳී කල් ඉකුත්
සුන්දරම රෑ අහස
සඳපාන තරු එළිය
ඒ නැතත් නුඹ තුළම
දැල්වෙමිය වී දිරිය
කුණාටුව ලෙසින් නොව
මඳ සුළඟෙ කිති කිතිය
ප්‍රේමයේ ප්‍රදීපය
මහද වෙරළට ඇති ය
-රොෂෙල් ෆර්නැන්ඩු-
හුදෙකලාව
මේ ලෝකෙ හුදෙකලාවන් වර්ග දෙකක් තියෙනවා. හැමෝටම ඒ දෙවර්ගයම අවශ්‍ය වෙන නිමේෂයන් උදාවෙනව. ඉන් එකක් අතිශයින්ම හුදෙකලාවත් නිහඬබවත් පමණක් ඉල්ලන මිනිස් ඇසුරෙන් තොර ආරණ්‍යමය හුදෙකලාව.
එවැනි හුදෙකලාවක් අවැසි කෙනෙකුගෙ කනට ප්‍රියව ඇසෙන්නේ හුදෙක්ම වසන්තය සිහි කැඳවන ශකුන කූජනයක්, උදෑසන සුවඳ මල් අතර සැරිසරන ගුමු ගුමුවක්, කොහේ හෝ සැඳෑ වෙරළක රැළිති හැපෙනා හඬක් එසේත් නැතිනම් සීතලම අසපුවක ගෙවී යන රාත්‍රියක මඳ සුළඟට සෙලවෙන තුරුපතක සිලිසිලියක් පමණක් ම වෙන්න පුළුවන්. නිහඬබවත් මුනිවතත් ඉල්ලන ඒ හුදෙකලාවෙදි මිනිස් ඇසුර වඩා "සීතලයි" කියා දැනෙන්නක්. එවන් හුදෙකලාවකට අවශ්‍ය පෞද්ගලිකත්වය රැකුනු කුටියක් සහ පරණ තැටියක වයලීනයකින් සීරුවට වැයෙන මෙලොව ඇති ඉතා සිහින්ම නාදය යැයි හැඟෙන තත් හැඬවීමක් පමණක් වෙන්නත් පුළුවන්.
සිතින් මා නොසැලී හිඳිද්දි කඳුළ නුඹ ඇවිදින්.. කියන පද පෙල ටික අතරේ වයලීනයකට පුළුවන් දෑස් දෙකොනට අනෝරා වැස්සකට සෑහෙන තරමේ කඳුළු වළාකුළු ගුලි එක්කරන්න.
අනෙක් හුදෙකලාව ඊට හාත්පසින්ම වෙනස් හැඟුම් උපදවන්නක්. මිනිස් හදවතක ස්පර්ශය කොයිතරම් "උණුසුමක්" දනවන යමක් ද කියා මැනැවින් දන්නා ඒ හුදෙකලාවට අවැසි කාගෙම හෝ ඇසුරක්. අතිශයින්ම වේදනාවටත් කලකිරීමටත් පත්වුණු හදවතින් යුතු ඒ හුදෙකලාවට අවැසි යම් ආකාරයේ මුදාහැරීමක්.
හදවතේ සියල්ල තනිවම ඇතුළාන්තය කරා උරාගන්නට කැමති ආරණ්‍යමය සීත හුදෙකලාවට වඩා කාගේ හෝ උණුසුම් දෑතක වෙලීමක්, හිස තබා හඬන්නට උරහිසක්, එසේත් නැතිනම් ආදරණීය හිස පිරිමැදීමක් සොයනා ඒ හුදෙකලාව තරමක් සංවේදී වැඩි මොහොතක්. හිතේ කැකෑරෙන දේවල් වචන වලට හරවාලීමට පවා අපහසු එවැනි විටක හැඬීමකින් කෑ ගැසීමකින් නමක් නැති හැඟුම් දහරාවක් පිට කිරීමට දැඩි උවමනාවක් දැනෙන තරමක අසීරු හුදෙකලාවක්. එවන් විටෙක හිතට බොහොම සමීප, තමන්ව මැනැවින් වටහා ගනිතැයි බලාපොරොත්තු වෙන සවන්දෙන්නෙක් මුණගැසීම පවා හරියට දිගු කාර්‍යාල දවසක් කෙළවර අතිශය විඩාවට පත්ව ඉක්මනින් නිවස කරා යාමට බලා ඉන්නා, බසයක ප්‍රමාදයත් වාහන තදබදයත් නිසා නොසන්සුන් දෑසින් යුතුව බස් නැවැතුම්පලක සිටන් ඉන්නා අතරවාරයේ අහම්බෙන් අසල ඇති ලොතරැයි කූඩුවක පැරණි කබල් රේඩියෝවකින් හරිහරන් "ක්‍රිෂ්ණා නී බේගනී" ගයනවා වගේ සැනසිලිදායක හැඟීමක්!
සීත ආරණ්‍යමය හුදෙකලාව අවැසි කෙනෙකුට ඒ නිහඬබවත් නිදහස් අවකාශයත් පිරිනැමීමට කරුණාවන්ත වීම අපූරූ වූත් මිහිරි වූත් යමක්. නමුත් එයටත් වඩා සමීප ඇසුරක උණුසුම අයදින හදවතක් වෙනුවෙන් කුඩා මොහොතක් වෙන්කිරීමක් , හඬාවැටෙන කඳුළක් පිසදා හසරැල්ලක් සොයා දීමක්, ඉතා කෙටි සවන්දීමක් පවා කියන්නේ අතිශයින්ම ප්‍රේමවන්ත ඇසිල්ලක්.
මේ ලෝකයෙන් දැන් අහිමිව යන්නෙත් එකී අවබෝධයන්මයි. එවන් අවස්තා ඇතෑම් විට අප අතරින් ගිලිහෙනව. එසේත් නැතිනම් අප බොහෝ දෙනෙක් සිතා මතාම මඟහරිනව.
ඇතැමෙක් නිහඬබව බලාපොරොත්තු වෙන ඉතා කුඩා සිනිඳු ලෝකයක් තුළට බලෙන්ම වගේ පිවිසිලා කඨෝර ශබ්ද ඇතිකර හදවත් සීරිම් වලට ලක්කරනකොට ඇතැමෙක් කරුණාවක් වචනයක් අවැසි අයෙකුට මහා සෙනඟක් මැද පවා තනිකම දනවන අයුරින් ඉතා නිර්දය ලෙස ජීවිත වලින් ඉවත දමනවා. ඒ දේවල් වල කෲරත්වය දරාගන්න බැරි වෙනකොට හදවත් පිළිස්සෙනවා. ඒ ගිනි වලින් හදවතේ තෙත හැඟුම් සංවේදන ගිලිහිලා මහා හිස්තැනක් ඇතිවෙනව. එවන් හිස් වූ හදවත් කියන්නෙම නමක් නැති පාඩම් රාශියකින් පිරී ඉතිරී ගිය ඒ නමුත් බරපතල ලෙස හිස් වී ගිය බර්මියුඩාවන්, එසේත් නැතිනම් කළුකුහර. එවන් තැනකට තල්ලු වෙන හදවතක් ප්‍රාණයෙන් නිරුද්ධයි. ඒවා ඇතුළත වෙන අභිරහස්මය දේ දන්නේ ඒ හදවත්ම විතරයි.
අවට ලෝකය ගැන සංවේදිවීම පාපයක් නොවෙයි කියන කාරණය අප එකිනෙකා විසින් වටහාගන්නා තුරු මිහිපිට පාරාදීස වල ජීවත් වෙන්නේ අපාගත අත්දැකීම් සහිත මළකඳන් වැනි වූ මිනිස්සු. හුස්ම ගන්නා ප්‍රාණයෙන් නිරුද්ධ ශරීර.
ඔබ මේ කියවන මේ මොහොතේ පවා මේ පාරාදීසයේ අපාගත හැඟීම් වලින් හෙම්බත් වී අපේ ම ආදරණීයයෙකු ජීවත් වෙනවා වෙන්න පුළුවන්.
මල් හිසින් යුතු කටු කිරුළු ද දරමින් විටෙක තුවාලවත් විටෙක සුවඳවත් ලෙසත් ඇවිද යන ජීවිත හුඟක් අප වටා තිබෙනව. මල් පිපුණම ලස්සනයි. ඒත් ඒ ලස්සන රැකෙන්න මුකුලිත නොවී විකසිත බව සුරක්ෂා කරන්න නම් ඉඳහිටෙක හෝ වතුර පොදක් ඉහින්නට පුළුවන් නම් එය තරම් ප්‍රේමනීය යමක් මේ ලොවේ තවත් නොතිබෙන්න පුළුවන්!
මේ වසන්ත පාරාදීසය සුවඳවත්ව තියාගන්න එකිනෙකා කෙරෙහි සංවේදී වීම හරියට හිරු එළිය වගේ පිවිතුරු හැඟීමක්.
අප කවුරුත් ආසා සුවඳ මලෙක සිඹීමකට ; කාරුණික සුළඟක වැළඳගැනීමකට
ආදරය පිරිනැමීම හදවත් පණගසනා යමක්..
මළකඳන් වලින් නිකුත් වෙන ගන්ධය තෙත පසට මිසක් හමන සුළඟට ඔරොත්තු දෙන යමක් නොවෙයි. මේ ලෝකේ හැමෝටම අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට දෙන්න කාරුණික වෙනවා නම් මොනතරම් සුන්දර සහ ජීවත්වීම වඩා පහසු කරවන තැනක් වේවිද..
ඒ නිසා හැකිනම් අවදියෙන් ඉන්න!❤️
-රොෂෙල් ෆර්නැන්ඩු-
Saturday, June 29, 2019
ඉර පුපුරන දවසක් ආවත් ආදරෙයි ශාරදා !!!
ජීවිතේ එක්ක සටන් කරන අසාධ්‍ය රෝගියෙක් රැගෙන යන ගිලන් රථයක් වගේ හදිසියෙ කුටියට කඩාවැදී හමාගෙන යන සුළඟකට ඉඩ දෙන්න ජනෙල් තිර එහා මෙහා වෙවී ඉඩදුන්නා.
සුළඟට මෙච්චර හදිසි යන එනගමන් කවුළු වලින් එක්කාසු කරගන්න සුසුම් වලටත් දැන් හොඳටෝම අසාධ්‍ය ඇති.
මට එහෙම හිතුණා.
එහා මෙහා වෙන තිර අතරින් පෙරීගෙන හඳ එළිය කාමරේට වැටිලා උපදින මන්දාලෝකය ඇහැට හරි සෞම්‍යයි. ඒ පිරිසිඳු එළිය යහනටත් ඉන් අනතුරුව හදවතටත් ගලන බව මට දැනෙනව.
හඳ එළිය ගලනවා කියන්නෙම කොහේ හරි ඉරක් පායලා එළිය දෙනවා කියන එක!!
ජීවිතේ කියන්නෙත් අන්ධකාර අහසක් දැන්. සඳ කියන්නෙ මල ලෝකයක්. ඒ වරදත් මගෙයි. පිළිගන්නම්!! සඳ සදිසි මගෙ ආදරේ අප්‍රාණික වෙච්ච රැයකත් ඔයා ඈතින් ඉඳන් එළිය දෙනවා ශාරදා.
ඔයා කොහේ හරි ඉඳන් එළිය දෙන නිසයි අඳුර ඉරාගෙන සෞම්‍යව හඳ එළිය මේ තරම් පිවිතුරුව ගලන්නෙ. ඒ බව මම නොදන්නවා නෙවී.
සඳ එළිය සිසිල්. කොහේ හරි ගිනිගන්න දහවලක ඔයා දැවෙමින් ඉන්නවා ඇති.
ඒක සිතීම පවා වේදනාවක් උනත් නොසිතා ඉන්න හැමවෙලාවකම මම උත්සහ කරනව.
සඳ සිහිලෙ තරමටම ඉර ගිනිගන්නවා ඇති. හිතට අසහනයක් දැනෙනව. මම සුරුට්ටුවක් පත්තු කරනවා. ඒත් සුරුට්ටුවක් දැල්විලා අළුවෙලා යන ගින්න ගැන වත් තේරුම්ගන්න බැරි මම කොහොමද ශාරදා ඔයාගෙ ගින්න නිවන්නෙ.
ඔයා දැවි දැවී පායන දහවල නිසයි මගේ මේ රැය මේ තරම් සෞම්‍යව සිහිල්ව ගෙවී යන්නෙ. ආදරේ මහ පුදුමාකාරය අනන්තයි කියලා නිහඬ එළියකින් පවා ඔයා කියාදෙන හැටි.. ඒක වේදනාත්මක චමත්කාරයක් වගෙම ඔයාගෙ ආදරේ උත්තරීතර උනු තැන.
ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් වග මන් නිතරම වචනයෙන් කීවට ක්‍රියාවෙන් ඔප්පු කළේ ඔයා. හිත දන්නව ඒ ඔයාගේ ආදරේ අමාරුම පරිච්ඡේදය. ඒක දැන දැන කියවන එක පිහිතුඩකින් ගැඹුරු වණයක් හාරනව වගෙයි ශාරදා. ඒ තරම් කියවගන්න අමාරුයි. ඒත් මම අමාරුවෙන් හරි කියවනවා ඒ පරිච්චේදය ඔයා ලීවෙ මම වෙනුවෙන් බව දන්න නිසා. ඒක කියවලා ඔයාට ස්තුතියි කීවොතින් ඔයා කළ අනන්ත කැපකිරීම් වලට මදිපුංචිකමක් කළා කියන හැඟීම ඇති වෙන නිසා මිසක මන් කරබාගෙන ඉන්නේ ඒ මොනවත් නොදැනම නෙවී.
නින්දත් නොනින්දත් අතරේ අඩුනැතිව නොසන්සුන්කම තියෙන වෙලාවක් කියන්නෙම බිම් බෝම්බයක් උඩින් කකුලක් තියාගෙන ඉන්නව වගෙ මොහොතක්. හැඟීම් කියන වයර් පැටලුනු බිම්බෝම්බය උඩින් කකුල තියාගෙන ඉන්න අසීරුම වෙලාවක ඔයාගෙ මතකය කියන්නෙ මාව ආපස්සට අදින පියවරක්. පියවරක් කියන්නෙ කකුල එතැනින් ඉවත්වීමක්.
ඔව් අවසානය පිපිරීමක්.
මට දැන් ඕනෙත් ඒකම තමා.
හඳ එළියක් මාව ගෙනිච්ච දුරක්. සුරුට්ටු කොටය බිමට දාලා පාගනවද එළියට විසික්කරලා ජනේලෙ වහනවද කියල වත් තීරණයක් ගන්න බැරි තරම් හිත මේ වෙලාවෙ නොසන්සුන්. මට කළුවරේ ඉන්න බෑ ශාරදා. ඒ බව ඔයා විතර වෙන කවුද දන්නෙ. හඳට පණ දීලා දැවෙන ඉර වීම තෝරගන්න තරම් ආදරයක් ඔයාගෙ හිතේ මේ අන්ධකාරලෝකය ගැන ඇති උනේ කොහොමද? ඒ ගැන හිතල හිතලම මාත් මේ සුරුට්ටුව වගේ ටික ටික අළු වෙලා යාවි.
ඉර පුපුරන දවසක් ආවත්;
ආදරෙයි ශාරදා !!
ඔබේ ලෝකය මගේ ලෝකය
අතර ඇත්තේ රැයක් පමණයි
ගව් ගණන් දුර ජීවිතේ බර
මගේ හිස මත බර වෙලා..
-රොෂෙල් ෆර්නැන්ඩු-
අපි හැඟුම් වලට ඉඩ දී මොහොතක් !
ඔබ ඔබෙ හෙවණැල්ලෙන් මිදී
මම මගෙ හෙවණැල්ලෙන් මිදී..
ඔබ එලෙස කීවා.. ඔබට මිදී එන්න හෙවණැල්ලක් තිබුණා.. ඒත් මට මිදී එන්න හෙවණැල්ලක් වත් තිබුණෙ නැහැ. එවකටත් මා හුදෙකලා කයක් ව සිටියා.. මගේ හෙවණැල්ල ලෙස මට සළකන්නට තිබුණේ පවා නුඹම විතරක්ම වූවා.. නුඹෙන් මිදී මට යන්නට මාවතක් තිබුණේ නෑ.. කවර කලෙකවත් මට එවැනි විකල්ප මාවතක අවශ්‍යතාවක් දැනුනෙත් නෑ..
ඔබව හමුවන්නට යැයි ඔබ ඇරයුම් කළා.. මා ඒ ඇරයුම භාර නොගත්තත් ප්‍රතික්ෂේප කළෙත් නැහැ. මගේ හදවත ඒ සඳහා අවිඥානිකව බොහෝ කල් සිට බලා සිටින්නට ඇතැයි යන්නයි මාගේ කල්පනාව. පැහැදිලිවම මට ද ඔබව හමුවන්නට වුවමනාවක් තිබුණා. නමුත් ඒ බොහෝ කාලයක අවසානයේත් අවසාන දවසක. ප්‍රමාද නොකරම හමුවීම ඔබට වුවමනා වූවක්. අප්‍රමාදව ඔබ මා හමුවන්නට ආවා.. ඔබේ හෙවණැල්ලෙන් ඔබ මොහොතකට මිදුනා.. එවකටත් හුදෙකලා ආත්මයක්ව හුන් මා එය අදටත් සිහිකරන්නේ ඉමහත් කෘතවේදිවයි...
එහෙත් ඔබ ඔබේ හෙවණැල්ලෙන් මිදී ආයේ මා වෙනුවෙන්මද එසේත් නැති නම් ඔබම වෙනුවෙන්දැයි අදටත් මට පැහැදිලි අදහසක් නෑ... ඒ කෙසේ නමුත් කල්පයකින් අල්පයක් සා වූ ඒ මාහැඟි මොහොත වෙනුවෙන් මා ඔබ ගැන බෙහෙවින්ම කෘතවේදි බව නම් කිවයුතුමයි..
පළමු මුණගැසීමම අවසාන මුණගැසීමත් වේවා යැයි හදවතින්ම මා ප්‍රාර්ථනා කළ බව පිරිසිඳු ඌල දිය තරමටම සත්‍යයක්. නමුත් එය අපේක්ෂා කළ අයුරින් සිදු නොවූ බවද අසීරු සත්‍යයක්. එය ඉතා මිහිරි හෝ අමිහිරි යැයි වටහාගත නොහැකි වකවානුවක්. ඔබට නිරන්තරයෙන් උවමනා වූයේ ඔබේ හෙවණැල්ලෙන් මිදී ඔබම වෙන්නටයි.. ඔබම පමණක් වෙන්නටයි.. "නිදහස" ඔබගේ ප්‍රියතම භාෂාව බව මා දැනසිටි කරුණක්. මගෙ සහජාසයෙන් ඔබව අවබෝධ කරගැනීම ඒ තරම් අසීරු වූයේ නෑ..
බොහොම වැදගත් ජීවිත මුණගැසීම් සැලසුම් කර තිබෙන්නේ ශරීරයන් එකිනෙකාට හමුවීමටත් පෙර ආත්මයන් විසින් වගට කොයියෝගේ තර්කය මා තදින්ම විශ්වාස කරා.
(Important encounters are planned by the souls long before the bodies see each other. -Paulo coelho-)
අදටත් ඒ විශ්වාසයේ කිසිඳු වෙනසක් නෑ. ඔබ සදාකාලිකවම මාගේ ප්‍රියතම ආත්ම සඟයා බවට මා හඳුනාගෙන අවසන්.
ඔබට ඔබම වීමේ නිදහස ප්‍රේමයටත් වඩා අවශ්‍ය වූ බව මා දැන සිටියා. ඒ නිදහස මගෙන් ලැබෙන බව ඔබ දැන සිටියා. නිර්ලෝභීවම ඒ නිදහස ඔබට මවෙතින් පිරිනැමීම මගේ ප්‍රේමය ලෙස ඔබ කල්පනා කළා විය යුතුයි. මාගේ කල්පනාව වූයේ ඔබේ ආත්මය නිරන්තරයෙන් ප්‍රීතිමත්ව තැබීම පමණයි.
ඔබේ ප්‍රීතිමත් දෑස් වලින් මගේ ආත්මය එක්තරා නිවීමක ප්‍රහර්ෂයක් අත්වින්දා. ඒ නිවීම වෙනුවෙන් පමණක් මා ඔබට ප්‍රේම කළා කිවහොත් එය අර්ධ සත්‍යයක්. සැබැවින්ම මා හට අවශ්‍යය වූයේ ඔබේ ආත්මයද ප්‍රීතියෙන් පුරවමින් මගේ ආත්මය තෘප්තිමත් කිරීමටයි. කුමක් හෝ අතිශයින්ම බර නමුදු පූර්ණ වශයෙන් හිස් හැඟීමක් ඔබේ හදවතේ ගැඹුරෙහි කැලතෙන බවට මට සංවේදනය වූවා. ඒ හිස් බව පිරවීමේ උමතුවක් මා තුළ වූවා.
නමුදු එකී හිස්කම වූයේ ඔබ තුළමද එසේ නැතිනම් මගේම හුදු අභ්‍යන්තරයේද යන්න අද මට ඇතිවන කල්පනාවක්. ඒ කුමක් වුවත් ඔබේ ඇසුර මා ප්‍රිය කළා. ඔබ ද එසේ බව මා දන්නවා. කුමක් හෝ නැති වූ යමක්, ඔබට අහිමි වූ වටිනා යමක් අපගේ ඇසුර තුළ ඔබ හෙව්වා. මා විසින් එය සොයාගත්තා. අප විසින් එය බෙදාගත්තා. එය "ප්‍රේමය" නමින් අප විසින් බෞතිස්ම ස්නාපනය කළා.
නිදහස් මිනිසෙක්ව හැසිරීම ඔබේ ප්‍රීතිය වූවා. ඔබට මා ඉදිරියේ එය වඩා පහසු වූවා යැයි මම කල්පනා කරනවා..
ඔබ ඉතා කැමැත්තෙන් මිදී ආ ජීවිතේට මා කිසිවකින් නොමිදී ආවා.. මගේ හෙවණැල්ල ඔබ ලෙසින් සිතන්නට මට උවමනා වුනා.. එය එසේ වන බවට ඔබ මට හැඟීමක් දුන්නා.. එය මගේ හුදු ඉල්ලීමකින් තොරව ඔබ විසින්ම මට දුන් හැඟීමක්.. එවකට සැනසීමක් වූ ඒ හැඟීමම පසු කලෙක මාගේ වේදනාව වන බවට අංශු මාත්‍රයක සැකයක් නොතිබුණු හෙයින්ම පසු කලෙක පැහැදිලිවම එය ඉතා තදබල වේදනාවක්ම වූවා.
නමුදු වෙන්වීම මේ තරම් කටුක වූයේ ඔබ මගේ ම බවට පසක් කළ ඒ හැඟීම ම නොවෙදැයි මා ඔබෙන් අසන්නේ නැහැ. අප එකිනෙකාට අයත් බව ආත්මයන් විසින් සැලසුම් කළ සත්‍යයක්. ඔබ සහ මම විසින් එය පිළිගෙන තිබීම අපගේ වේදනාවන්ට හේතුවක්. එපමණයි.
කාලය සෘතු එක්ක කෙලිදෙලෙන් ගෙවී ගියා.. වසන්තය මුලදි තිබුණු ඔබේ පිබිදීමට සිසිරය කෙරෙහි සූදානමක් තිබුණෙ නෑ. සිසිරය පටන් ගන්නටත් පෙරම වසන්තයේ අගභාගයේදී ඔබ සෙවූ ඔබට උවමනා කළ ජීවිතයම ඔබ ට නීරස වූවා.. එය ඔබේ ස්වාභාවය බව මම එවකටත් දැනන් සිටියා.. ඔබ නැවත ඔබේ පෙර සෙවණැල්ල පසුපස්සේ ඇදුනා.. එසේ නොමැති නම් ඔබට නොදැනිවම ඔබේ සෙවණැල්ල ඔබ පසුපසින් නිරන්තරයෙන් හඹා එමින් තිබුණා.. ඔබට එයින් මිදීමට අවකාශයක් තිබුණේ නෑ.. එය වටහාගත් ඇසිල්ලේ ඔබ යළිත් මට මගේ හෙවණැල්ලක් කරා යන්නටැයි ඇරයුම් කළා..
මිදී යන්නට හෝ නොමිදී ඉන්නට මට මගේ කියා හෙවණැල්ලකටත් සිටියේ ඔබම පමණක් බැව් ඔබ අමතක කළා..
පසු වූ වසන්තයේ කදිම සැඳෑවන් වල හෙවණැල්ලෙන් මිදී එන්නට යැයි ඔබ විසින් මට ආරාධනය කළ සෑම වරෙකදීම අමුතුවෙන් මිදී එන්නට මටම කියා හෙවණැල්ලක් නොසිටි වග ඔබට අමතක වූවා.. එසේත් නැතිනම් ඔබ එය අමතක කළා.. එය ඉතා සහාසික අමතක කිරීමක් යැයි පවසනවාට වඩා මා කැමති ඔබ එය අමතක කළේ මහත් ආයාසයෙන් බව සිතන්නටයි.. එසේ සිතන්නට මට ඕනෑකමක් තිබුණා.. එය ඔබෙ කෙරෙහි මා තුළ වූ අසීමිත ආදරය විය හැකියි මා අනුමාන කරනවා විනා ඒ ගැන පැහැදිලි හැඟීමක් ද මේ වන විට මා තුළ නැහැ..
මා ඔබේ සෙවණැල්ල නොවන වග ඔබ මට පැහැදිලි කළා. එහි අර්ථය මා සමුගෙන යා යුතු බව වීම නිසා පමණක් මා අතිශයින්ම වේදනාවට පත් වූවා. නමුදු එය පැහැදිලිවම සත්‍යයක්. මා ඔබේ සෙවණැල්ල නොවේ. මා ඔබේ සෙවණැල්ලද පසු කර ගිය ආත්මීය බැඳීම වග ඔබ විසින්ම මට පවසා තිබුණා. එය මා අමතක නොවනු පිණිස මතක තබාගෙන තිබුණා. ආත්මීය ස්පර්ශය ශරීරයනට වටහාගත නොහැකි තරමේ අවබෝධයක්. අප අතර වූ ගණුදෙනුව ආත්මීය බව අප දෙදෙනා විසින්ම අවබෝධ කොටගෙන තිබුණා. නමුදු ඔබ ඒ සත්‍යය සිතෙහි අඳුරු කොනක ලා සෙවණැල්ලත් ආත්මීය සහයත් පිළිබඳව අසීරු තක්සේරුවක නියැලෙමින් සිටියා.
තක්සේරුවේ වෙහෙස නිසාම ඔබේ දෑස් වල ප්‍රීතිය නිවී යන්නට ආසන්නව තිබුණා. ආත්මීය සහය ප්‍රේමයේ යුතුකම බවත් එය ක්‍රියාවෙන්ම අත්‍යවශ්‍ය මොහොත එළැඹී ඇති වගත් මගේ සහජාසය විසින් මට සැලකර තිබුණා.
හදවතෙන් උනන තෙත හැඟුම් හසරැල්ලකින් වසාගෙන මා සමුගෙන ආවා. ඔබ වෙනුවෙන් එය මා කළ යුතුව තිබුණා. ඔබේ දෑසේ ප්‍රීතිමත් බව ප්‍රේමයට වඩා මට වැදගත් බව අවබෝධ වෙමින් තිබුණා. මතු හමුවීමක් යළි සැලසුම් වනවා නම් ආත්මීය සඟයා වගෙම හෙවණැල්ලත් එක් අයෙක් විය යුතුම වග.. ඒ මමම සහ ඔබම පමණක් විය යුතුම බවට වූ අවිහිංසක ප්‍රාර්ථනාවක් සුසුම් මතින් වා තලයේ පාවෙමින් තිබුණා.
ඔව්.. අපේ හමුවීම ඈත දුර දිගු දවසක කෙටිම කෙටි රාත්‍රියක් !!!
මතු ආත්මයේ හමු වන පැතුමින්
යමු වෙන් වී හිමිදිරියේ..
-රොෂෙල් ෆර්නැන්ඩු-
එක රැයක්
සඳ තරු එළි දහසකුත් තිබියදී ඝනදුර සොයමින් සිත වල්මත්ව පාව යන්නේ
ආදරයේ අන්ධකාර බව පසක් කරලමිනි..
කිසිම දිනක මම නුඹව මුදු සඳ එළියේදි නුදුටිමි.. මඳ අඳුරේ සිටම බලා උන්නෙමි..
ඒ නුඹේ ආදරයේ රුව අඳුරේ සිට බලා සිටින මට සඳ එළියෙන් ලස්සනට පෙනෙන නිසාය..
සඳ සිසිලස උරා ගත් ඔබේ පුළුල් උර මඬලේ රැයක් පුරා නිදි නොලැබ වැතිරී සිටින්නට ප්‍රිය කෙළෙමි.. මගේ ආදරයේ සුවඳ මලින් නුඹේ හදවතම අහුරන්නට මට උවමනා විණි..
නමුදු මා පින් මඳ ඇත්තියකි ...
තව යමක් කිවයුතු නොවේ යැයි සිතමි..
සුන් වූ පැතුම් ගෙන තවත් නිදි නැති රැයකට ඇරයුම් කෙළෙමි..
මඳ පවන් රැල්ලකට වුව සැලී බිම වැටෙන තරමට හදවතේ දළු බිදී ගොස්ය..
කිසිදාක ආදරය තනි නොකෙරූ මා අද ඒ ආදරය නිසාම තනිවී ගොසිනි..
සරදම් කෙරූ ආදරය..
තවමත් මා නුඹ හා නොමනාප වීමට නොකැමැත්තෙමි..
හුදෙකලා මට හුදෙකලාවෙන් මිදුනු එකමෙක රැයක් උවමනාය.
එපමණකි !
-රොෂෙල් ෆර්නැන්ඩු-
සුපුන් විල
ඉඩෝරය විසින් ඉරා දැමූ විල් හදවතෙක බිඳුණු පතුලත සිපගත්තේ අයාලේ යමින් ගමන් උන් වළාකුළු පමණි.
දඟකාර සුළඟ දුටුවනම වැළඳගනු පිණිස දිවයන වළාකුළු කිසිදා විල්තෙරේ නැවතුමක් සෙව්වෝ නොවූයෙන් විලෙහි නේකවිධ වේදනා දැක දැකත් වියළි ඉසව්,ඉරිතැළුම්, කඩතොළු පෙන්වමින් මවාගත් අමනාපයෙන් යුතුව යන්නට ගියෝය.
සිත් සේ සිපවැද සිත් සේ හැරයාම පිණිස මවාගත් වළාකුළු කෝපයෙන් අකුණු පුපුරා අහස ගිගිරුම් දෙන විට අසරණ වූ විල් ඇස පමණක් හඬාගෙන වැටුණි
නමුදු
දැන් මා යළිත් වරක් විලකි.
කඳුළු වලින් පිරුණේ වුව කම් නැත.
මා සුපුන් විලකි.
ඉරිතැළුම් සඟවා කුමුදු පුබුදවමින් මතු මතුද සිනාසෙන්නෙමි.
-රොෂෙල් ෆර්නැන්ඩු-
ඔබ නැතිව ගෙවෙන දවස්...
බිරිඳක නොවීමී.. එහෙත් බිරිඳක් ද වීමී..
සිතා ඉවර කල නොහැකි තරමේ හැඟුම් සමුදායකින් බරවුණු මගේ හිත ඔබව එපා යැයි කියමින්ම යළි යළිත් ඔබවම අයැද සිටින දිහා නිරුත්තරව මාගේ ආත්මය බලා හිදී..
අද දිනත් ඔබ විසින් මගේ ආදරය පිළිබඳව අපමණ වූ ප්‍රශ්න ඇසුවේ මා සිත නැවත වතාවක් රිදවමින්.. එලෙසින් ඇසුවේ මා ඔබට දක්වන ආදරය පිළිබඳව ඔබ තුළ වූ අවිශ්වාසය නිසාම ද නැතිනම් මාගේ ආදරය පිළිබඳව අපමණ වූ විශ්වාසක් ඇතුවා වුව එය පිළිගැනීමට තරම් දිරිගැන්වීමක් ඔබ තුළ නොවූ නිසාදැයි තවම නොදනිමි..
අපමණ වූ සෙනෙහසක් ඇතිව අතීතයේ අප කළ කී දෑ පිළිබඳව තවමත් මා හද තුල නම් ශේෂ වී ඇත්තේ අසීමාන්තික ගර්වයකි.. පිටුවක ලියා නිම කල නොහැකි තරමේ මතකයන් හදවතේ අඳුරු කොනක තනි කොට මා පියවර නගන්නේ හිස් වූ දෑසකින් වුවත් බරවුණු හදවතකිනි..
ජීවිතයේ ගමන් මාවත රළු පරළු වුවත් බොහෝ නැවතුම්පොළවල් ඉතා මුදුකමින් අප වැළඳගත් අයුරු අප අමතක කළ යුතු නොවේ.. මගේ දයාබර නවාතැන්පල නම් නුඹම මිස අන් කවරෙකුද..
උණුසුමත් සිසිලසත් එකවර සදමින් ඔබ මා රැගෙන ගිය ප්‍රේමයේ කෙළවරක අප අපේක්ෂා කල පමණටත් වඩා කඳුළු රැදී තිබිණි.. එනමුදු සීතලක් මට අමුතුවෙන් නොදැනුනේ කඳුළු වල සීතල මට නුහුරක් නොගෙනා නිසාවෙනි.. කොහොමටත් මගේ තෙත් වූ හදවතට වියළි බව ආගන්තුකය..
මිහිරාන.. ජීවිතයම මට කඳුළක්ම වූවත් සඳහටම මම ඔබ වෙතටම සිත පුදමි.. හිතුවක්කාරියක සේ ඔබටම සිත පුදමි.. එයින් රිදුන ද බිඳුන ද මට කම් නැත.. මන්දයත් ඔබට ආදරය කිරීම උදෙසාම මා තවම හුස්ම ගන්නා බැවිනි..
නමුදු මේ හෝරාව වෙන්වී ඇත්තේ සමුගැනීම උදෙසාය..
ඉතින් මම නික්මෙමි..
හදවතේ සියලු ස්මරණයන් ඔබෙ නමටය..
හදවතේ රැඳුමට වතේ මුණගැසීම අවැසිම නොවන බව මම මෙන්ම ඔබද දන්නා බව හඟිමි..
ආදරය සුසුමෙහි තවරා ප්‍රියය
ඉතින් මම නික්මෙමි..
රොෂෙල් ෆර්නැන්ඩු-
දාසි
මගේ
ආලෙන්
පිරුණු
බන්දේසි
කළා
නොඅසා
ඇයට
වෙන්දේසි
නැතේ
දැමුවේ
නුඹට
කොන්දේසි
භාරි
ශ්‍රීමත්
නිවසේ
මන්
දාසි
-රොෂෙල් ෆර්නැන්ඩු-
ආලෙන්
පිරුණු
බන්දේසි
කළා
නොඅසා
ඇයට
වෙන්දේසි
නැතේ
දැමුවේ
නුඹට
කොන්දේසි
භාරි
ශ්‍රීමත්
නිවසේ
මන්
දාසි
-රොෂෙල් ෆර්නැන්ඩු-
වැමෑරීම
මල් කරාමය
නොනැවතී වමාරයි
ඉඳිකටු හී දහසක
වේදනා පසක් කර
සීත දිය සීරාව
ගත ඇනී තෙමා යයි
සයනය උරාගෙන ය
සොරාගත් පැල්ලමක්
දෙකලවා බේරමින්
හද දියව ගලා යයි
දහදියෙන් මත්ව හිඳ
ඇසදියෙන් තෙත්ව ගිය
කොට්ට උරයෙන් හැමූ
විලවුන ද පලා යයි
මල් කරාමය
නොනැවතී වමාරයි
පලා ගිය මල් සුවඳ
ළඟ දිනෙක වමාරයි
-රොෂෙල් ෆර්නැන්ඩු-
අහසින් වැටුනු ළමයි
තාරකා සාදයකි
අතරතුර
කළු කුහර අහුමුළු වලින්
ඇසිනි නෙක කෙඳරිලි
රොමාන්තික දිලිසුමකි
ඉනික්බිති ශේෂ වූ
පිළිස්සුම් හා
තරු දුහුවිලි පමණි
වල්ගය වනා
චන්ද්‍රිකාවක නැඟී
පලාගියෙන් ධූමකේතුන්
පෙන්වූ තරු රටා
හීන පමණකි
තරුවලට තරු පෙනිනි
තරු කඳුළු නොබලා ම
හෙනහුරන් රැස් දමා
වළල්ලෙන් පන්නා දමති
තනියට කියා කුස දැවුම පමණි
අයාලේ සරමින්
පැහැදුල්ව සිනාසී
දැවුම් සඟවාගති
හුදෙකලා ප්‍රසූතියකි
පෘථිවි කුණු බක්කි දිලිසුනි!
අනාරාධිත යැයි කියා
විශ්වයේ දොර වැසුනු
උල්කාශ්ම කැබලිති වැනි
ලස්සනම ඇස් පොඩිති
වැටුණු තැන්වල ම පියවුනි
ඉර උදාවකි
අනාථ තැනිබිමකි!
නම නොදන්නා
බොහෝ මල් පිපුණි
-රොෂෙල් ෆර්නැන්ඩු-
අප්පච්චි !
පිච්චියක් සොයා සෙයිලමෙ අව්වෙ පිච්චි පිච්චි
තාච්චි අදිමින් අපෙ දිවි සරි කල අප්පච්චි
හිච්චිටයි මටයි හාච්චි දී නුඹ පිටවෙච්චි
වෙච්චි දේ නොදත් බිමෙන් සිමෙන්ති මල් පිපිච්චි
කාසය ම මිසක් කිසිදා හැංඟුවෙ නෑ කාසි
නාසය ම බැඳන් පෙනහළු හංඟනු බෑ ලේසී
මාසය ක් දෙකක් තහනම නොතකා වෙවි වීසි
වාසය ට හදන වැඩ බිම තිබුණද තෙත පාසි
ආදරේ වගේම බැරිලු හංඟන්නට කැස්ස
සාගරේ තරම් ගැඹුරුද ඔය හැටි පපු අස්ස
යන්තරේ වගේ වැඩ සඟවන් නොතකා වැස්ස
මන්දිරේ තනා නිවනට ගොස් අපෙ උළුවස්ස
-රොෂෙල් ෆර්නැන්ඩු-
ප්‍රේමයේ සන්ධ්‍යාවක..
කවුළුපියන්පත් වසා දැමූවෙන් තිරයෙන් පෙරී එන අඳුර පාරිශුද්ධය. පහනේ දුර්වල ලා කහ පැහැයත් නිහඬබවත් කුටියට ප්‍රමාණවත් බැව් සිතෙන කදිම සන්ධ්‍යාවකි. සෞම්‍ය වටපිටාවත් ගතට සුවදායි සිහිලසකුත් පමණක් ඉතිරිකර රාත්‍රිය සඳ වෙතට පවරා හිරු බැස යන මෙවන් වූ සන්ධ්‍යාවනට මා අතිශයින් ප්‍රිය ය.
සිතුවිල්ලේ විශ්වය පුරාම සක්මන් කිරීම මොහොතකට නවතා භාවනාවක සමවැදුනා මෙන් සන්සුන් මනසින් නිහඬබවත් සාමයත් මොනතරම් අස්වැසිල්ලක් දැයි හඟිමින් හිඳිමි.
එය සාම්බ්‍රානි සුවඳින් ළය ම සනහන කෝවිලක හෙමින් පියවර තබන දෙපතුලකට දැනෙන සීතල තරම් වූ සනීපවත් බව ද සිනිඳු වැලි අතුරාලූ මළුවේ පිරිත් සජ්ජායනාවක් අසමින් වියළි බෝ කොළ අමදින විට දැනෙන සැනසුම ද එසේත් නැතිනම් දේව ප්‍රතිමාවක් පාමුල තැබූ රෝස කුසුමකින් නැහැපුඩුව තෙමාලන මල් සුවඳ තරමින් වූ නිවීමක්දැයි නොදනිමි. නමුදු එක් දෙයක් පමණක් දනිමි. ඒ මේ හැඟීමට මා අතිශයින් ප්‍රිය වග ය.
ගෙවී යන සැන්දෑවන් ගොඩක් අතුරින් මෙය දුර්ලභ සන්ධ්‍යාවකි. ඔහේ ගෙවී යන කලබල සැන්දෑවකට වඩා මෙවන් නිසසල සන්ධ්‍යාවක යම් බර තැබීමක් ඇත. එතරම් ම ගැඹුරු ය. එපමණින් ම මිහිරි ය.
රාත්‍රිය වෙනුවෙන් ම අවදි වූ නිශාචරයන්ගේ හඳුනා නොගත් ශබ්දයන් ඇරුණුකොට සමීපව ඇසෙන්නේ මඳ සෙලවීමකටත් මිහිරිවට සුළං ගීතිකා ගයන්නා වූ සුළං සීනු හඬ පමණි. ඒ හැර වුවමනාවෙන් කන් දුන්නොත් හද ගැස්ම පවා ඇසෙන තරමේ අපූර්වතම නිහැඬියාවකි.
මේ මා අතිශයින් ප්‍රිය කරන මොහොතය. මගෙ ලොව ය. මට අයත් සීමාව ය. ඉතා කුඩාවටත් ඉතා මිහිරිවටත් මා තනාගත් මගෙ ලොව ය. ප්‍රේමයත් ජීවිතයත් පිරික්සන මගෙ ම වූ සන්ධ්‍යාව ය. හුදෙකලාව ය.
ඉතා පරණ බව හේතුකොට මනා ලෙස මැදී ගිය තුනී සිනිඳු ඇඳ ඇතිරිල්ල මත මම ප්‍රවේශම් දෑතින් පිරිමැදුමක් තබමි.
බොහෝ ඈත මතකයන් සීරුවෙන් අත්ල කරා ගලා එන බව දැනෙමින් තිබේ. එසේ ගලා ආ සොඳුරු හසරැල්ලක් සරැළි නඟමින් අත්ලෙහි හැපී බිඳී විසීරි යනු දැනුනෙන් මා අත් මිටිකොට ගතිමි. නමුදු ඒවා මා අත රැඳුනේ නැත. මගේ අතැඟිලි අතරින් විසිරී පැන යන හසරැලි බිඳිති මට ද සිනාසෙන්නට ඇත. මගෙ බොළඳකමට මම ද සිනාසීමි.
"යන්නම් ගතින් අරගෙන හිතින්"
ඔබ අවසානයේ ලියා එවූ විද්‍යුත් තැපැල් පණිවිඩයක අකුරු දෑස මත ලියැවෙන්නට ගියේ තත්පරයෙනුත් ඉතා කුඩා මොහොතකි.
"බලා හිඳිමි අල්ලාගැනීමටත් අතහැරී.."
පසුව ආ තව පණිවුඩයක තිබුණේ ඔබේ හදවතේ එවකට පැවති සැබෑ උවමනාව ය.
ආදරණීය රුවක් සැනෙකින් ඇදී මැකී යන්නට විණි. දෑස තෙත්වුනාදැයි නොදනිමි. නමුදු ඔබේ පණිවුඩ පෙනුනේ යාන්තම් බොඳවී වග හඟිමි.
දැනුදු මෙන්ම එවකටත් ඔබේ කෙහෙ කැරැල්ලක පවා තිබූ මායාව කුමක්දැයි වටහාගන්නට මට ප්‍රමාණවත් කරුණු තිබුණේ නැත. රළු කටහඬෙක පවා මෘදු හදවතෙක සරය ඇසුනෙන් මා ඔබට තදින් බැඳුනා වන්නට ඇත.
නොනැවතී අඳුර කුටියට ගලා එන්නා සේ ඔබ කෙරෙහි වූ ප්‍රේමය මගේ රුධිරයෙහි දියව ගත පුරා ගලා යනු සෙයකි. ඒ මාගේ හැඟීම ය. මගේ කෙසඟ අතෙහි වෙලී තිබුණු ඔබේ අතක වූ උණුසුම සියුම් නහරක් පවා හොඳින් හඳුනන වග දනිමි. ඒ මාගේ විශ්වාසය ය.
ඔබේ වූ හෘදයාංගම බවටත් ළයම පොඟවා තෙමාලිය හැකි සෙනේවන්තකමටත් දැනුදු ප්‍රේම කරමි. ඒ කාලයක් පුරා සැනසෙන්නටත් පසුව ආ දුෂ්කර සමයෙක වැනසෙන්නටත් මට හේතු වූ ප්‍රේමය ය. මා අතිශයින්ම බොළඳ තැනැත්තියක බවට පත් කළ පසුකලෙක ජීවිතාබෝධය ලත් ප්‍රේමය ය. කාලයක් විඩාවට පත් කළ ද නොනැවතී දරාගන්නට හේතු වූ ප්‍රේමය ය.
ඉතින් ඔබට නොනවත්වා ප්‍රේම නොකර සිටීමට මට හේතුවක් නැත.
හුදෙකලාව විඳවන්නට බොහෝ "මතකයන්" හේතුවන බව සත්‍යයකි. නමුදු හුදෙකලාව විඳින්නට නම් ප්‍රේමය අවැසි ය. ප්‍රේමය විඳවීම සඳහා නොවන බව දැනුදු සිතමි. එය පවතින්නේ විඳීමට පමණකි. ප්‍රේමයක මතකයක් දරන්නට අපහසු නමුත් ප්‍රේමය පිරිනැමීමක් දරාගත හැකිය. ප්‍රේමය ලැබීමට වඩා පහසු ප්‍රේමය පිරිනැමීම බව තේරුම්ගැනීමට කාලයක් අවැසි නමුදු ඒ කාලය අවසන ප්‍රේමයේ ඉමිහිරිම එලය මුණගැසෙන බව දැනගතිමි. ඒ නම් දරාගැනීම ය. දරාගැනීම උදෙසා බලාසිටීමේ කාලය තරමක් අසීරු ය. පසුකළහොත් ඉනික්බිති ජීවිතේ සීරුවට ය.
එකට එක්ව හෝ තනිව ප්‍රේමයක් පවත්වාගෙන යාම සැබවින්ම පහසුවකි. එය නිම කලේ නම් ජීවිතය අපහසු තැනක් වන්නට තිබිණි. ඉතින් ඔබට ප්‍රේම නොකර සිටීමට මට හේතුවක් නැත!
දයාබර රවීන්ද්‍ර,
මේ මගේ ප්‍රේමයේ සන්ධ්‍යාව ය
මම ඔබට අතිශයින් ප්‍රේම කරමි!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
Subscribe to:
Posts (Atom)