Saturday, August 24, 2019

නිමිත්ත : අතීතයේ මා පෙම් බැඳි ලියන්ටයි මේ ගීය ගයන්නේ...


නෙතක පැටලී රළු තුරුණු හද දියව ගිය වී
මුදු
හිතක ඉපැදුනු පළමු ප්‍රේමය ලෙසින් නම් කොට පිදූ
විතක මධු තනි වෙලා හැඬුවා කලෙක දෛවය රුදු
මතක සුවඳකි ආදරෙයි මම තවම පෙම්බර මධූ

ගොහොරු හද නුඹෙ පිරිමැදුම ලද සුවඳ සිහිලැල් විලකි
තඹුරු දහසකි එමැද නුඹ නම් සොඳුර මානෙල් මලකි
සයුරු හතකින් එහා මතකය රැගෙන ගිය ප්‍රේමයකි
කවුරු දන්නෙද නුඹත් කලෙකදි හිතේ උන් මුදු ළඳකි

මල් සුවඳ පරදා නැගෙන කිරි සුවඳ මිස ප්‍රිය කුසුම්
සිල් නොබිඳ නිවහනක් රැකි ඔබ ගැනයි පත්තිනි දෙසුම්
කල් යනෙන විට නොවී අවනත මසිත නොමවිය විසුම්
විල් තෙරක ඔබෙ සතුට රඳවා රැගෙන ආවෙමි සුසුම්

ළඳුන් අතරේ අයාලේ ගිය දිවි වලා නුබ පුරා
නඳුන් උයනක මඳක් නැවතී ලදින් ඉසිඹුව සරා
සඳුන් සුවඳම පමණි දැනුනේ එද්දි ඔබ මා කරා
අඳුන් නැතිවත් තවම ලස්සන ඇති මගේ සමදරා

කොතෙක් ප්‍රේමය ගලා යන්නට ඇතිද දිවි ගංඟාවේ
මෙතෙක් කියලා කෙසේ මම තුති නිමා කරමිද සිහිවේ
ඇතෙක් වාගේ තනි උනත් මා හේමන්ත හැන්දෑවේ
හිතක් පතුලේ ප්‍රේමියනි නුඹ සදාකල් නිවුනාවේ

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment