Saturday, August 3, 2019

සැරයටියෙන් අපි යනෙන තුරා..


අද දවස ඔබට මතක නම්!

"කොහොම අමතක වෙන්නද ශාරදා?"

කැලැන්ඩරේ දිහා බලාගෙන ඔයා එහෙම හිතනවා ඇති කියා හිතන්න මම කැමතියි.

"මැරිල ඉපදුනේ නෑනෙ අමතක වෙන්න"

ඔයාව මුණගැහිලා ඇහුවොතින් ඔයා එහෙමත් කියයි.

ඒත් ඇත්තටම මේ වෙනකොට ඔයාගෙ හිතට එබිලා බලන්න ඇත්නම් මම වඩා කැමතියි.

ඔව්! අද තමයි ඒ අමුතු දවස!

ඔයාගෙ ආදරේ නිදහස වෙනුවෙන් මගෙ හිත මම කූඩු කරපු දවස. ජීවිතාන්තය දක්වාම! ඔව්.. ඒක ලේසි තීරණයක් උනේ නෑ. අවුරුදු කිහිපයක මිහිර අරන් එකපාරටම නාඳුනන්නෙක් වෙලා පලා යන එක. ඇත්තටම මට යන්න උවමනා උනේ නෑ! ඔයා මට යන්න කීවෙත් නෑ!

හැබැයි ඔයා මට ඉන්න කීවෙත් නෑ!

මම නොයා ඉන්නවට ඔයා කැමති වග මම දැනන් හිටියා. ඒත් තවදුරටත් රැඳෙන්න බැරි වගත් ඒ එක්කම මට අවබෝධ වෙලා තිබුණා.

ඉතින් මම යා යුතුම වෙලා තිබුණා රවීන්ද්‍ර!

අද වගේම එදත් මම සංකීර්ණව ආදරේ කරපු සරල ගැහැණියක්! ඔයා දන්නවා!

මගෙ ලෝකේදි මගේ මනෝභාවය තුළ ඔයා මගෙම විතරක් උනා!

ඒ ලෝකය තුළ ඔයා සම්පූර්ණයෙන්ම නිදහස් කිසිම වරදකට හසුනොවූ ආදරණීය චරිතයක් විතරයි. චරිතයක් නෙවෙයි එකම ආදරණීයයා විතරයි! ඒ ලෝකය ඇතුලෙ මගෙ සම්පූර්ණ විශ්වාසයත් ආදරයත් ඔයාට තිබුණා! අදටත් ඒකේ වෙනසක් නෑ.

"මගේ ලෝකය ඇතුලේ සියලු ලස්සන ඔයාටයි.."

වචන වලින් නොකීවට මන් හැමතිස්සෙම එහෙම හිතුවා! සමහරවිට ඒක එක්තරා උමතුවක් කියා ඔයාට හිතෙන්න පුළුවන්! ඒත් එක වරක් හරි ඒ ගැන අවබෝධ උනොත් ඒ උමතුව කෙරෙහි පවා ඔයා උමතුවෙයි!
ඔයා ඒ හැඟීම විඳින්න කැමතියි.ඒක මම විශ්වාසයෙන් දන්න දෙයක්. ඒත් ඒ වෙනුවෙන් එන පාර ඔයාට හරි දුරයි, හේතුව මගේ දොරටු හැමදාමත් වගේ ඔයාට විවෘත උනාට ඔයා දැන් ඉන්නෙ සැතපුම් ගාණක් ඈත වෙනමම ලෝකෙක වීම.

මම කවමදාවත් හිතේ නිදහසේ ඔයාට ආදරේ කරල තිබුණෙ නෑ, මට එහෙම කරන්න දැඩිව උවමනා උනත් මේ ලෝකය මට ඒකට ඉඩ දුන්නෙ නෑ.. ඒත් මම හරි ආසයි වරක් හෝ මට කිසිම පැකිලීමකින් නැතුව නිදහසේ ආදරේ කරන්න තිබුණා නම්.

ඒත් මේ මගේ වාරය නෙවෙයි.

අපිව මුණගස්වපු විශ්වය විසින්ම තීන්දුව දීල තිබුණෙ එහෙම. ආදරේ නිදහස අත්නොවින්ඳ හින්දමද කොහෙද නිදහසේ වටිනාකම මට තදින්ම දැනිල තිබුණා. මම වගේ ඔයා හිර වෙලා දුක්විඳිනව බලන්න මට පුළුවන් කමක් තිබුණෙ නෑ. ඉතින් මම එන්න ආවා. නොකියාම එන්න තිබුණා නම් හොඳයි කියල බොහෝ වර හිතුණත් ඔයාට කියලා යන එක යුතුකමක් බව මම දැනන් හිටියා.

ජීවිතේ මහ පුදුමාකරයි. අපිට දරාගන්න බැරිතරම් ප්‍රේමය දීලා ආයෙමත් ඒ ජීවිතේ විසින්ම මොහොතක් හරි ඒ ගැන කල්පනා කරන්නත් කලින්ම අපෙන් ඒ ප්‍රේමය උදුරගන්නව. ප්‍රේමය විඳින්න හිතනකොට ප්‍රේමය විඳවන්න වෙන තැනට කටයුතු යොදවනව. මොනව කරන්නද. ජීවිතේ එහෙමයි. අපිට ජීවත් වෙන්න වෙනව!

අපිට තිබුණේ පහසු ආදර කතාවක් නෙවෙයි. දුෂ්කරම දේවල් අඩුනැතුව තිබුණා. අපේ ආදරේ ඒ තරම් දුෂ්කරතා විඳිමින් උනත් අපි පවත්වාගෙන ගියේ බොහොම අභිමානයෙන්. මොකද අපි දැනගෙන හිටියා ඒ බැඳීම ඇතුළෙ තිබුණෙ පිරිසිඳු චේතනාවක් විතරයි කියලා. හුදෙකලා නොකිරීම! අපේ අරමුණ වෙලා තිබුණෙ එකිනෙකා හුදෙකලා වෙන්න ඉඩක් නොතැබීම. ජීවිතේ අරන් දෙපැත්තකින් ආව ඔයාගෙත් මගෙත් තිබුණු හිස්තැන් ගොඩක් අප විසින් අවබෝධයෙන් පුරවගත්තෙ බොහොම ලෙංගතුව. ඒත් අවාසනාවට හුදෙකලා නොකිරීම කියන හේතුව නිසාම මුණගැහුණු අපිට හුදෙකලා වීම දෛවය විසින් උරුම කරල තිබුණා.

බොහොම දුෂ්කර දවස් ඉවසාගෙන මල් වලට වඩා කටු පිපුණු මාවතේ අපි ආවේ කොයිතරම් ප්‍රේමයෙන්ද කියලා ඔයාට මතකද? ඒ තරම් දේවල් දරාගෙන අපි ඒ ගමන ගියේ ඒ තරමටම ඒ ප්‍රේමය අපිට මහාර්ඝ වස්තුවක් වෙලා තිබුණු නිසා. ඒත් ප්‍රේමයටත් වඩා මට ඔයාව වටිනවා.

ප්‍රේමය පවා ඔයා විතර වටින්නෙ නෑ රවීන්ද්‍ර!

ඉතින් ඒ ප්‍රේමය නිර්ලෝභීවම ඔයාට දීල හිස් අතින් මම පිටවුනේ අද වගේ දවසක.

අද දවස මගෙ මතකයේ තියෙන්නේ ඔයාගෙන් වෙන්වෙලා ආව දවස හැටියට නෙවෙයි. ඔයා මට හාදුවක් දුන්නු අන්තිමම දවස හැටියට.

කවමදාවත් අමතක නොවෙන ඒ මොහොතේ ඇස් වලින් බොහෝම දේවල් දරාගෙන හිතේ තියෙන සේරම හැඟීම් හාදුවකට එකතු කරලා ඔයා මගේ නළලතේ තිබ්බා.

මම හිතන්නේ අපි එකට උන්නු කවරදාටවත් වඩා ඔයා මාව ආදරෙන්ම ඉඹින්න ඇත්තේ එදා ඒ වෙලාවෙ වෙන්න ඕනි.

එදා ඔයාගෙන් වෙන්වෙලා මම බොහොම වේදනාවෙන් ආවෙ ප්‍රේමයක අවසානය කොයිතරම් අසීරුද කියලා වටහාගන්න බැරුව.

අපේ ප්‍රේමය අපෙන් ගිලිහුණ දවස. ජීවිතේ අසීරුම දවස. මට දැනුනෙ එහෙම.

ඒත් එදා තේරුම් නොගිය බොහොම වැදගත් කාරණාවක් අවුරුදු ගණනාවකට පස්සෙ මට වැටහුණා.

අද වගේ දවසක මම ඔයාගෙන් වෙන්වෙලා ආවත් මේ දවසට මම දුන්නු නම වැරදියි.

අපේ ප්‍රේමය නැවතුනේ අද නෙවෙයි....

මේ තමයි අපි හරියටම ප්‍රේම කරන්න පටන්ගත්තු දවස!

ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමුවූයේ
කටු කොහොලින් පිරි කලල් දියේ මා
තනිව මියෙද්දිය හමුවූයේ..

සැරයටියෙන් අපි යනෙන තුරා.. සංසාරේ අපි එකට ඉමු.. සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු..

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment