Saturday, August 24, 2019

ඔහුගේ ඇස්


ඔබේ ඇස් වල පෙර තිබූ දිලිසීම දැන් දකින්නට නැත. බොහෝ දෙයින් වෙහෙසට පත් වූ පීඩාකාරි බවක් ඇරුනුකොට ඔබ සතුව ඇත්තේ සියලු වේදනා මගෙන් සඟවා ගන්නට වෑයම් කරන දුර්වල බැල්මකුත් හැඟීමෙන් තොර වූ හිස්බවකුත් පමණි. ඔබේ හැඟීමෙන් තොර හිස් බව මා හට මොනතරම් වේදනාකාරි හැඟීමක් දැයි හැඟීමට නම් ඔබ මගෙ පෑරුණු හදවත වෙත හිස් බැල්මක් හෝ හෙලිය යුතුම ය. නමුත් ඔබ එසේ කරන්නේ ද නැත. එසේ කළද ඔබ එය මට හඟවන්නේ නැත. ඒ ඔබේ ස්වාභාවය ය. එනමුදු අපි එකිනෙකාට හුරුපුරුදු දෑස් ඇත්තෝ වෙමු. එනයින් සඟවාගත හැකි දෑ ඇත්තේ එක්තරා සීමාවක් දක්වා පමණි.

මා ආදරය කළ ඒ අරුමැති ප්‍රියමනාප මිනිසා කොහේදැයි විමසන්නට මුව විවර වුවත් මා හට දෙන්නට ඔබ ළඟ පිළිතුරක් නොමැති බව දන්නා හෙයින් එය නොඅසා සිටීමට මම මා තුළම මහත් අරගලයක නිරතවෙමි. එහෙත් එසේ අසන්නට මට දැඩිසේ උවමනා ය . ඒ ඔබ රිදවීමට නොවන බවත් යළිත් ඒ ප්‍රියමනාප මිනිසා ඔබේ ආත්මය තුළට කැඳවිය යුතු බවට මතක් කරදීමක් වශයෙන් පමණක් බවත් යන කරුණු ඉදිරියේ මගේ හදවත මා ඉදිරියේ අවංක ය.

අතීතයේදිත් මා ඔබට ප්‍රේම කළේ ඔබෙන් අඩකට නොවන වගත් එහැමපිටින්ම පාහේ ඔබේ සම්පූර්ණ ස්වරූපය හා ගතිගුණයන්ට  එනම් ඔබටම බවත් ඔබ විසින් මුල සිටම දන්නා හෙයින් ඔබේ කොයි ස්වරූපයටත් මා අත්‍යන්තයෙන්ම ප්‍රේම කරන බව මවිසින් කිව යුතු කාරණා අතර නැත.

ප්‍රේමයේ උණුසුම දෑස් වලින් දිලිසුන ඒ ශක්තිමත් මිනිසාට තරමටම මඳක් කෘශව ගිය අඳුරු ගිලුනු දෑස් සහිත මිනිසාටත් එක සේ මම දැනුදු ප්‍රේම කරමි.

එකල ප්‍රේමාන්විත ශෘංගාරාත්මක දෑස් දෙස එබී සෙනෙහසින් කිමිදුනු පරිදිම මෙකල අඳුරේ ගිලී ගිය නිවුනු දෑස් වෙත එබී එහි ගැඹුර දක්වා යන මඟ මට නුහුරු නැත. නමුදු මේ අඳුරු දෑස් සහිත මිනිසා ගේ පැවැත්ම තුළ ඔබ නැති බව ඔබටම වටහාදීමට මට අවැසිය. එහෙයින් පෙර හුන් ප්‍රීතිමත් සැහැල්ලු මිනිසා සොයා අසීරුම මාවතක සියලු දුක්ඛ දෝමනස්සයන් තරණය කරමින් වුව ගමන්කිරීමට දිරියක් වගෙම දැඩි වුවමනාවක් මා තුළ ඇති බව ඔබ නොදන්නා යමකි.

ඔබට නොගැළපෙන අපිළිවෙල, අඳුර ,විඩාව හා නුසුදුසු බැඳීමක් ඇති කරගන්නට ඔබට හේතු වූ කරුණු නොඅසා ඒ වෙනුවට මම ඔබෙන් මෙසේ විමසමි.

දැන් වෙහෙසුනා ඇති නොවෙද..?? කනස්සල්ලටත් රෝගී බවටත් සමුදිය යුතු කාලය මේ ය. කොටින්ම කිවහොත් ගිලන් වීම ඔබට නොතරම් ය. දුර්වල දෑස් ඔබට අයිති නැත. කෘශව ගිය වෙව්ලන දෑත් , සෙමින් පියවර ඔසවන දෙපා මේ සියල්ලටම වඩා බිඳුනු හදවතක් ඔබට නුසුදුසු දේවල් ය. ඝනව වැඩුනු දැලි රැවුල එකල ඔබට කදිම පෙනුමක් ගෙනාවාට මෙකල ගෙන එන්නේ මගේ හදවතට බිඳීමක් පමණි. පිළිවෙලින් හැඳි පැළැඳි ප්‍රීතිමත් මිනිසා ඔබ විසින් අතරමං කර ආවේ කුමන ලොවක වුවත් ඔබ වෙනුවෙන් විශ්වයම පීරා යාමට වුව මා දැන් සූදානම් ය. එයට එරෙහි වීමට ඔබටවත් ඉඩ නොතබමි.

ඔබව භාර දී පැමිණි දෑත් අතර සැනහෙනු වෙනුවට ඔබ සිරවී ඇතිනම්.. ඒ දෑත් මත මේ තරමින් ඔබ අපරිස්සම් නම් එය දරාගැනීමට තරම් සවියක් තවදුරටත් මා තුළ ඉතිරි වී නැත. ඒ අන් සියලු දේට වඩා ඔබ මට අගනාතම වස්තුව බැවිනි. දයාබරිත සෙවණැල්ලක් විනා කර්කශ වදනින් යුතු ජීවිතයක් ඔබට දරාගන්නට අපහසු බව මා තරමින් දන්නේ වෙන කවුරුන්ද..

පෙර වූ ප්‍රීතියම ඔබ වෙත රැගෙන එමියි දුෂ්කර පොරොන්දු නොදෙමි. ඒ ඔබේ බිඳීමේ ප්‍රමාණය මා පමණ ඉක්මවා වටහාගෙන ඇති බැවිනි. ඒ සඳහා මා අපොහොසත් වුවත් මට හැකි උපරිමය ඔබ වෙත පිරිනැමීමට මම පෙර මෙන්ම දැනුදු කැපවෙමි. ඔබෙන් මට අවැසි ඔබේම සැනසීමත් නිරෝගිකමත් පමණි.

ආදරයට එහා ගිය ගැඹුරු අවබෝධයක  බැඳීමක් පවත්වාගෙන යන ඔබත් මමත් අතර ප්‍රේමය කවදත් ආගන්තුකයෙකු නොවේ. එහෙයින් මට ඔබෙන් අවැසි ඇස් වල දිලිසුමත් හදෙහි සැනසුමත් පමණි.

ඉතින් මෙපමණක් කියමි.

ප්‍රියය.. නුඹේ ඇස් වෙහෙසුනා හොඳටම ඇති ය. මේ විවේකයත් ප්‍රේමයත් අත්විඳිය යුතු.. පමා වූ වසන්තයයි!
-----------------------------------------
කෝ නුඹේ දෙනෙත්වල පෙර තිබුණු දිලිසීම
ඔය හැටිම හුරු වුනේ කෝම ඇස් වෙහෙසීම
දුර්වලම බැල්මකින් නොහැක දුක සැඟවීම
තහනම් ද තවම මට නුඹ මගේ යැයි කීම

සාංකා හිත් රිදුම් කාන්සා උදුරගමි
ප්‍රේමයත් ප්‍රීතියත් සමඟ ඔබ වැළඳගමි
උණුසුමත් හාදු හා එක මිටට රැගෙන එමි
මා සතුම උපරිමය ඔබෙම බව කියා දෙමි

සුළඟ හා හාද කර කෙහෙරැළි ද සනසවමි
කටුරැවුල් කම්මුලට හසරැලි ද ලියා දෙමි
මුදු හදැති ළපැත්තෙන් කටු ඉපල් නසාලමි
මිහිරැතිම වසන්තේ මල් ඔටුනු පළන්ඳමි

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment