Saturday, August 3, 2019

වෙන්වීම


අදට අප එකිනෙකාගෙන් වෙන් වී අවුරුදු දහ අටකි. ඉන්පසු අවස්තා කිහිපයකදී මට ඔහු දැකගන්නට ලැබුණත් කතා කිරීමට අවස්තාවක් නොතිබුණෙන් සිනහවක් පමණක් පිරිනමා මම නිහඬවත පිරුවෙමි. ඇස්වලින් කෙරෙන්නා වූ ආමන්ත්‍රණය දුරස් වීමට පෙරම අප වෙතින් ගිලිහී ගොස් තිබිණි. ගිලිහී තිබුණාට වඩා අප විසින් අතැර දැමුවා යැයි කීම වඩා නිවැරැදි ය.

නමුදු කලාතුරකින් වූ දැකගැන්මක පවා කාලයක් තිස්සේ දැන හුන් ඒ කාරණාව තවදුරටත් තහවුරු කරමින් හදවතින් අපි ප්‍රේම කරමින් සිටියෙමු. ගත පුරා වේගයෙන් උණුසුම් වූ රුධිරය ගමන් කරන්නා සේ දැනෙන හදගැස්මේ රිද්මය හෝ රිදුම වේගයෙන් වැඩිවන බවක් දැනෙන ඒ අරුම පුදුම මුණගැස්වීම් මට සිහිපත් කරවන්නේ අප මුල්කාලීන පෙම්වතුන්ව සිටියදී කල්ගත කල සමයයි.

ආදරයේ මියයෑමක් නැත. තාවකාලික යටපත්වීමක් සිදුවනවා මිස මියයාමක් නැත. ඒ හැමවිටෙකම පාහේ තහවුරු කරගතිමි!

ඔහු හා අතිශයින්ම ප්‍රේමයෙන් බැඳී හුන් සමයෙක පවා එකී අවබෝධයෙන් යුතුව අප විසින් ප්‍රේමයත් ජීවිතයත් ඇතුළුව තවත් බොහෝ හැඟුම් දහරාවන් එක්ව දරාගත් බව මට මතකය. එකල අප විසින් බෙදාහදා ගත් හැඟීම් වල ලැයිස්තුව හද ගැඹුරේ පවතින කෙටි නොවූ අන්ධකාරය කරා දැනුදු යම් ආලෝකයක දිලිසීමක් ගෙනෙනා වග ඔහුට මා කියා නැත.

කාලයාගේ ඇවෑමෙන් බොහෝ දේ වෙනස් වන්නට ඇතත් ආදරය පමණක් එසේම පවතින බව සිතමි. සමහරක්විටෙක එසේ සිතන්නට මට අවැසිය. එවිට මා හැඟුම් ලැයිස්තුව කෙමෙන් දිගහරිමි. ආදරයේ පුරුදු සුවඳ ට පුස් බැඳී නොමැති බැව් දැන සැනසෙමි. එය සහතික කරවනු පිණිස පැරණි මතකයක සිනහවක් මුවඟට පැමිණ දායකත්වය දෙන'තර ඇතෑම් දිනෙක කඳුළක් දෑස් කොන සරසා යන්නට යයි. හසරැල්ලක් සේම කඳුළෙකත් ඇත්තේ ආදරයේ හුරුපුරුදු බවත් නැවුම් සුවඳත් ය. හසරැලි උනන්නේ ද කඳුළැලි ගලන්නේ ද එකම ආදරයකට ය. ඉනික්බිති ලැයිස්තුව කිහිපවරක් සිඹ යළිදු වරක් නමා හදබිතෙහි අඳුරු කෙළවරෙක පරිස්සම්ම පසෙකින් තබමි.

ඔහු මා හැර ගියේ මා කෙරෙහි ඔහුගේ හද තුළ තිබූ ආදරය සිඳීමකින් නොවන වග අදටත් නිල් අහස තරමටම පැහැදිලිය. ප්‍රේමය වූ කලී නොනැසෙන නොසිඳෙන උල්පතකි. ඇතෑම් විට සුපෙම්වත් මුහුද කරා යන මඟ ජීවිතය නමැති ගඟ විසින් වෙනස් කරනවා විනා ආදරය සිඳෙන්නේ නැත. ගඟේ හැරවුම ඔස්සේ ගලා යාම ආදරයේ කාර්‍යභාරයයි. ගඟේ කාර්‍යබහුල බව විසින් විටෙක එය අමතක කරවයි.

ආදරය ජීවිතය ට ප්‍රමාණවත් වුවද ජීවත්වන්නට ආදරයම පමණක් ප්‍රමාණවත් නොවන වග ජීවිතය විසින්ම අපට කොඳුරමින් තිබිණි. හදවතේ ආදරය පැවතියද ඒ වග අමතක වන්නට පටන් ගත් කාලයක් ඒ වන විට උදාවී තිබිණි.

නොසෑහෙන්න හිත් රිදුම් මැද පවා ආදරේ කළ හැකි වුවත් එකිනෙකාට සෑහෙන තරමේ ආදරයක් දෙන්නට අප අසමත් වී තිබිණි. නමුදු ඒ කවර කලෙකවත් ආදරය එහැමපිටින්ම සිඳුන බවක් මගෙ මතකයේ නැත. අප'තර ආදරය නොසිඳී පැවතුණි.

ආදරය ගැන දැන හුන්නා වුව ද ආදරයෙන් උතුරායන මන්ත්‍රය ඔහු වනපොත් කර නොතිබිණි. ඉතින් ඔහුට වෙනස් වූ හැරවුමක අවශ්‍යතාවක් දැනෙන්නට ඇත. මම ද ඔහුට ඉඩහලෙමි. ඒ ද ඔහු කෙරෙහි වූ අසීමිත ආදරයෙනි.

අප විසින් කැමැත්තත් නොකැමැත්තත් අතරෙහි වූ හැඟීමකින් වෙන්වීමෙ අවස්තාව පිළිගන්නට කරුණු යෙදී තිබිණි. ඔහු තෝරා ගත් හැරවුමට ඔහු වඩා කැමති බව පෙනෙන්නට තිබුණෙන් ආදරයේ නිදහස යන පිළිවෙතින් මම ද ඔහුට කැමැත්ත පලකලෙමි.

මවිසින් බලාපොරොත්තු වූ ආදරය මට දෙන්නට ඔහුට සමත්කමක් නොතිබුණ බව සැබෑ ය. එනමුදු එහි අරුත ඔහු කවරදාකවත් මා හට ආදරය නොකල බව යැයි කිසිලෙසකින්වත් නොකියමි.

ඔහු මගෙන් වෙන්වී යෑමත් අපගේ ආදරයත් සැබවින්ම එකිනෙකට වෙනස් වූ කාරණා දෙකකි. දනිමි!

වෙන්වීමක් යනු කෙනෙකු අනෙකාට එහැමපිටින්ම ආදරය පුද නොකරනවා යන අදහස නොවන බව දනිමි.

වෙන්වීමක ලකුණ කෙනෙකුට අනිකා කෙරෙහි වූ ආදරය අහවර වීම නොවන බව හදවත් විසින් දත යුතුය.

ආදරය පැවැත්මකි. වෙන්වීම අවස්තාවකි. ආදරය වඩ වඩාත් මෝදුවෙමින් සිත් තුළ පවතිද්දි පවා ඇතෑම් වෙන්වීම් සිදුවේ. ආදරය විසින් ජීවිතය වඩාත් තදින් ස්පර්ශ කළ කලෙක පවා ඒ ආදරය හේතුකොටගෙනම ඇතෑම් වෙන්වීම් සිදුවේ.

ජීවිතය සැබවින්ම අරුමැසි වස්තුවකි.

එහි සදාකාලික නැවතීම් නැත. මඳ ඉසිඹුවක් සඳහා වන කෙටි මොහොතක් විනා කවරකලෙකවත් ජීවිතයේ නැවතීම් නැත. බොහෝ මංසලවල් මුණගැසෙනා සේම විවේකය ලබනා සේම පසුකර යාම ද කළ යුතු ය.

එනයින් අපගේ වෙන්වීම හේතුකොටගෙන ඔහු විසින් මා වෙතට කිසිදු ප්‍රේමයක් නොතිබුණේ යැයි නොකියමි.

ඔහු විසින් මා හට සම්පූර්ණයෙන්ම ආදරේ නොකලේ යැයි කිසිසේත්ම නොසිතමි.

අතිශයින්ම ආදරෙන් පිරුණු හදවතකට ඔහු හිමිකම් කියා තිබුණේ නැත.

එපමණකි!

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment