Saturday, August 3, 2019

සතුට


ඔබ සතුටින්ම ඉන්නේ කොයි විටෙකද ?

සතුටින් ඉන්න කවුරුන්ද අකමැති.. මේ ජීවිතේ අපි කරන හැමදෙයකදිම අපි බලාපොරොත්තුවෙන්නේ හෝ ළඟාකරගන්නේ එක්තරා අන්දමකින් සතුටක්,උත්කර්ෂයක් තමයි.. පීඩාවට පත් වෙන්න කිසිවෙකු කැමති නෑ..

ඒ නිසාමයි මිනිසුන් සතුට අහිමිවෙනකොට ඒක සොයාගෙන යන්න උනත් පෙළඹෙන්නෙ.. ඇතෑම් වෙලාවන් වල මේ හේතුව නිසාම මිනිසුන් ආත්මාර්ථකාමී වෙනව.. ඒ තමන්ගෙ සතුට වෙනුවෙන්.. ඒක සෑම පෘථග්ජන මනුෂ්‍යයෙකුගෙ ස්වාභාවයක්.. මොකද මිහිපිට ඉන්නා අපි කවුරුත් තවම බෝධිසත්වභාවය ලබලා නැති නිසා..

ඒත් මම ඔබට කියනව ඒ ආත්මාර්ථකාමී සතුටට එහා ගිය යමක් ඔබට ලැබෙනවා නම් ලැබෙන්නේ තමන් වගෙම අනික් අයටත් සතුට බෝ කරලා ලැබෙන අසීමාන්තික තුෂ්ටියෙන්.. සැබවින්ම ඒක වෙනමම අත්දැකීමක් වරක් හෝ ඔබ උත්සහ කර බලනවානම්.. අපි අපේ සතුට වෙනුවන් ඇතෑම් විට කරන කැපකිරීම් බොහෝ විට අනෙක් කෙනෙකුන් වෙනුවෙන් කරන්නට පෙළඹෙන්නෙ නෑ.. ඒ උනත් වරක් හෝ ඔබ අත්හදා බැලුවා නන් ඔබ පසක් කරගනිවී සැබෑ සතුට තියෙන්නෙ පරිත්‍යාගයේම පමණක් බව.. මම ඔබට අවංක විය යුතුයි.. ඔව්! කියවන ඔබ වෙනුවෙන් මේ අකුරු ලියන මට පවා ඒක තේරුම්ගන්න තරමක කාලයක් ගත උනා..

බොහෝ දුෂ්කර කාල වකවානු පහු කරන් මේ යන ගමනේදි මන් ඒක හොයාගත්තා.. සතුටු මැජික් එක.. ඒක තමයි හොඳම වගෙම ඒක තමයි ආදරණීයම.. අනෙක් ඇහැක කඳුළු පිහලා සතුටු ස්ප්‍රීතුවක් වක්කරන එක.. 😍
ඒක හරිම ජොලිබර හැඟීමක්.. හිතට තෘප්තිමත් හැඟීමක්.. ඉතින් මන් හොයාගත්තා මගෙ සතුට තියෙන්නෙම අනෙක් මූණක මම නිසා ඇඳෙන හිනා රේඛාවක කියලා.. ඒ මැජික් එක මන් දන්න සෙල්ලම් සේරම දාලා හැමවිටෙකම කරන්න උත්සහ කරනව.. මොකද ඒ මැජික් එක කෙළවර තියෙන්නෙ ඔබටත් මටත් සතුට! සතුට! සතුට! විතරක්ම නිසා..

ජීවිතේ ඔබට මුණගැහෙන ඕනෑම මුහුණකට සිනාවක් පිරිනමා බලන්න.. එයින් ඔබට ලැබෙන තෘප්තිමත් බව ඔබටම වැටහේවි.. මන් නම් එහෙමයි.. පාර දිගේ විරිත්ත විරිත්ත යන මට එක ඇහැක් පේන්නෙ නැති තණකොළ  කපන  නම නොදන්නා සීයා හොඳම හොඳ යාළුවෙක් උනේ එහෙමයි..

දුර වැඩිය පේන්නෙ නැති ළඟින් යනකොටත් ඉර මූණට පාත් උනා වාගේ ඇස් පුංචි කරල බලන, කෙට්ටු පුංචි ශරීරෙට වෙලා අහිංසකව පෙරළා සිනාවක් පිරිනමන අර සීයාගෙ අවුරුදු ගාණක දුකේදි සැපේදි එකට උන්නු ප්‍රේමවන්ති , අදටත් සිනාවෙන් පමණක් බැඳීමක් ඇති කරගත් ඒ නම නොදන්නා ආච්චිඅම්මා යාළු උනේ ඒමයි..

අපෙ අම්මා ඒත් මට වෙලාකට කියනව ඔහොම හිනා වෙවී පාර පුරා ඔයා නම් යනව පෙළක් අය හිනාවෙන්නෙ නෑ නේද කියලා.. ඒත් ඒ හැමවෙලේම මන් අම්මට කියන්නෙම

" අනෙ අම්මෙ අපට මුකෝ හිනා උනත් නැතත්, අපි හිනා උනා නෙ එච්චරයි" කියලා..

මොකද පෙළක් වෙලාට අපි එහෙමයි.. වතාවක් හිනාවෙලා පෙරළා අනික් කෙනා හිනා නොවුනොතින් බොහෝ විට ඊගාව දවසක හිනාවෙන්න අපි තරමක් මැලි වෙනව..  ඒත් මගෙ ක්‍රමය වෙනස්.. මන් හිනාවෙනව හැමදාමත්.. හිනා නොවෙන කෙනෙක් උනත් පෙරළා හිනා නොවී ඉන්න බැරි වෙනතුරු මන් හිනාවෙනව.. සමහරක්විටෙක ඔබ කියාවි මට පිස්සුයි කීලා.. ඒ උනත් දන්නවද මන් හිතන දේ.. සතුට බෝ වෙන්න නම් ඕනිම පළමු දේ ලස්සනම පියකරු හිනාවක්.. සමහරක්විටෙක අපි පාරේ යන එන විටෙක ඇතෑම් අය කල්පනාකාරීව යනවා වෙන්න පුළුවන්, විසඳගන්න බැරි ගැටළුවක් ලෙහන්න පැටලුමක කොනක් සොයමින් යනවා වෙන්නත් පුළුවන්.. තමන්ගෙම ආදරණීයයෙකු අසනීප වෙලා ඒ පුද්ගලයා බලන්න රෝහලට යමින් ඉන්නවා වෙන්නත් පුළුවන්.. ඔය වගේ විවිධ සිතුවිලි උහුලගෙන පාරේ යන ඔවුන්ට සිනාසෙන්න අමතක වෙලා වෙන්නත් පුළුවන් වගෙම සිනාව මඟහැරිලා වෙන්නත් පුළුවන්.. ඉතින් එහෙව් වෙලාවක කාටද පුළුවන් පෙරලා සිනාවක් දෙන්න.. අන්න එහෙම හිතලා කවදාවත් මූණෙ සිනාවක් නැති කෙනෙක් එක්ක උනත් මන් කට පුරා හායි ගාලා විරිත්තගෙන මගෙ මන් ගමන යනව.. 😂😂  නිකම් තියෙන හිනාවක් දෙන්න මොකටද ඔය තරම් ලෝභකමක්..

අනෙක් කාරණාව සැබැවින්ම අරම ගැටළුවක යමින් සිටින කෙනෙක් නම් අපේ එකම එක අවංක හිනාවක් ( අවංක කියලම මන් මෙහි සඳහන් කරේ සමහර අය ඉන්නව මූණිච්චාවට හිනාවෙන..) ඇති ඒ කෙනාට අලුත් පිළිතුරක් හොයාගන්න.. සමහරක්විටෙක ඒ හිනාව කාරුණික උදව්වක් , තල්ලුවක් වෙන්න පුළුවන් අනෙක් කෙනාගෙ සිතුවිල්ලකට ඉස්සරහට යන්න.. විශ්වාස කරන්න.. ඔය සේරම ඉගෙනගත්තේ මන් හිනාවෙලාම තමයි 😍

මේ මාතෘකාවට මට ලියන්න පුළුවන් අඹ කොළ අස්සෙන් ඉරු එළිය වැටිලා හෙවණැලි හදනකොට මට හරි සතුටුයි කියලා, ආයෙම හැන්දෑ අහසෙ ඉර බැහැගෙන යනකොට කන්න හිතෙන බොම්බයි මොටයි වගේ රෝස පාට පුළුන් වළාකුළු දකිනකොටත් මට සතුටුයි කියලා, රසම රස බත්ගුලියක් තියලා ලේන් අප්පුව එනකම් මඟ බලන් ඉඳල වයරය දිගේ ගාට ගාට ඇවිත් බුහුටි පොඩි අත් වලින් දෝතින්ම අරන් රස කර කර හරි වේගෙන් කනකොටත් මට සතුටුයි කියලා..

නැත්තං හුරතල් පොඩි බබුච්චෙක් වඩාගෙන කිරි සුවඳ පෙනහළු වලට පිරෙනකම් ඉඹලා නැළවිල්ලක් කිය කිය එහෙ මෙහෙ සක්මන් කරන එකත් සතුටක් කියලා.. ආසම කෑමක් කනකොට,ආසම පොතක් කියනකොට, ආසම සිංදුවක් අහනකොට, ඇයි නිවිහැනහිල්ලෙ කවියක් ලියනකොට, හදපු කෑමක් කවුරුහරි රහයි කියනකොට මට හරි සතුටුයි කියල කියන්න පුළුවන්.. ඇත්ත ඒ දේවලුත් මට හරි සතුටක් තමයි.. ඒත් දන්නවද මේ ලෝකෙ මට නම් වැඩියෙන්ම සතුටු කොයිවෙලාටද කියලා..

කවුරුන් හරි ඇස් දිලෙසනකම් කම්මුල් කකියනකම් හිනාවෙනව නම්.. අන්න ඒ පියකරුම හිනාවට හේතුව මම නම්.. ඔව්.. මට වැඩියෙන්ම සතුටු අන්න එතකොට.. 🙈❤️

- රොෂෙල් ෆර්නැන්ඩු -

No comments:

Post a Comment