Thursday, August 29, 2019

නවාතැන්පල ඔබයි ඔබගේ සිනාවයි!

බොහොම කාලෙකට පස්සෙ හොඳින් ඉර පායපු දවසක්.. සුවදායක සුළඟක්.. ආරණ්‍යමය හුදෙකලාව කියන්නේ එහැමපිටින්ම මල් සුවඳක්..

මේ සියල්ල පෙරදා රැයේ එකමෙක ඇමතුමක් නිසා නේද.. බොහොම සන්සුන්වත් කල්පනාකාරීවත් මම හිතන්න ගන්නවා..

මෙයාකාරයෙන් නිහඬබව නිදහසේ මට විඳින්න ලැබෙන්නෙත් බොහොම කලාතුරකින්. මින් පෙර වගෙම මින් පසුවත් පායන්නේ මේ ඉරම බවත් හමාගෙන යන්නෙ මේ සුළඟම බවත් මම නොදන්නවා නොවෙයි කියලා ඔබ දන්නවා.. ඒත් මේ නිවීමත් මේ සැනසිලිදායක හැඟීමත් පරිසරයෙන් උරාගන්න හදවත තෙත මාත්තු කලේ ඔබ කියා ඔබ දන්නවාද..

ඇත්තමයි! දුරකථන ඇමතුමක් කියන්නේම තෙත මාත්තුවක්.. එයත් ඔබගේ කටහඬින් යුතු වීම කොයිතරම් ප්‍රසන්න හැඟීමක් ද.. වියළි කර්කශ හැඟුම් එක්ක සාංකාවෙනුත් කාන්සවෙනුත් අඩුනැති විඩාබර හිතකට ආදරණීයයෙකුගෙ ඇමතුමක් කියන්නේ තෙත මාත්තුවක් තමයි..

සුළඟ පුරුද්දට හමාගෙන යනවා තමයි.. ඒත් ඒ සුළඟට ආදරයේ තෙත තැවරුවෙ ඔබ.. ලෝක සම්මතයට වගේ ඉර පෑව්වාට ඉරු රැසක උණුසුම සනීපවත්ව කම්මුලේ තැවරුවේ ඔබ..

ඔබෙන් වන ඇමතුමක මෘදු වදන්, ආදර දෙඩුම්, ප්‍රේමනීය කෙඳිරිලි හොයාගන්න එක මට අසීරු උනත් රළු කටහඬක පවා තියෙන්නේ රැකවරණය, සැලකිල්ල, සොයාබැලීම බව මට අදටත් දැනෙනවා.. ගිරවියක වගේ මම නෝක්කාඩු විතරක්ම දිගහරිනකොට ස්ථීර හඬකින් තරමක් සැර වී උනත් නැවතිල්ලේ ඇහුම්කන්දීමක පවා දැනෙන්නෙ තමන්ගෙකම බව ඔබ විතර කියා දුන් මිනිසෙක් මෙලොව තවත් මම දන්නෙ නෑ.. මට දැනගන්න උවමනාත් නෑ..

කටහඬක් තුළ මේ තරම් මායාවක් තියෙන්න පුළුවන්ද?? පුළුවන්! ඒක මම අත්විඳිනවා.

මගෙ දයාබර රවීන්ද්‍ර..

කොයිතරම් කාලයක් ගෙවුනත් ආදරේ වයින් වගේ.. පරණ වෙන තරමටම මිහිරියි.. මත්කරවන සුළුයි. ඔයාගෙ ශාරදාට දැන් එහෙමත් හිතෙනවා..

නිතරම හමුවෙලා කතා බහා කරමින් පවත්වා ගෙන යන, එසේ නොකලොතින් පවත්වාගෙන යන්න අසීරු යැයි හැඟෙන බැඳීමකට වඩා නිතර දකින්නට නැතත් හමුවන්නට අවකාශය බොහොම සීමිත උනත් ඒ කිසිවක් නොතකා හදවතින් රැකබලාගන්නා බැඳිමක් මොන තරම් ශක්තිමත් ද? ඔබේ ඇමතුම කෙළවර මම සිතන්නට පටන් ගත්තෙ එහෙම..

නිතර ඇස නොගැටුනොත් බිඳී යන බැඳීමකට වඩා නොදැක සිටින කාලයක් අතරතුර පවා පෙර තිබුණාටත් වඩා වැඩියෙන් හදවතින් බැඳෙන බන්ධනයක මොනතරම් ශක්තියක් ගැබ් වෙලා තියෙන්නට පුළුවන්ද? වඩා ශක්තිමත් එහෙම ප්‍රේමයක් බව ඔබ වචන වලින් නොවෙයි ක්‍රියාවෙනුත් මට පෙන්වනවා.. එහෙම බැඳීමක් අතරට වෙන කිසිදු අයෙකුට, කාරණාවකට මැදිහත් වෙන්න බැරි බව මම වටහාගන්නවා..

හමුවීම් වෙන්වීම් සංසාරයට අමුතු අළුත් දේවල් නෙවෙයි. අපෙ හමුවීමත් අමුත්තක් නෙවෙයි.. මම තවදුරටත් කල්පනා කරනවා.. හමුවීම් වගෙම වෙන්වීම් පවා තාවකාලිකයි.. ඒ ගැන මම තේරුම් ගත්තෙ එහෙම..

මලක් කියන්නෙත් පරවීමක් ළඟ පිබිදීමක්.. ඉතින් වෙන්වීමක් අගට නැවත තියෙන්නෙත් හමුවීමක්.. මම හරි බව ඔබත් දන්නවා..

තාවකාලික වෙන්වීමක් කියන්නේම ප්‍රේමයට හරි ආදරණීය තල්ලුවක්.. මොකද ඒ තාවකාලික වේදනාබර කළලය තුළ තමයි සදාකාලික බැඳීම කියන ආදරණීයම දරුවා බිහිවන්නේ.. වෙන්වීම තාවකාලික වෙන්නෙම ඒ සදාකාලික බැඳීම නිසා.. ඒ බැඳිමට ප්‍රේමය යැයි අපි නමක් දෙනවා! නොනවතින නොසිඳෙන දිගුකල් ප්‍රේමය.. ජීවිතේ කොයිතරම් නම් ගැඹුරුද.. මම හිනැහෙනවා!

කොපමණ වරක් ඔබෙන් විමසුවත් හිතට මදි හිතෙන ඒ බොළඳ ප්‍රශ්නය මම අන්තිම පාරටත් ඇහුවා!

ඔයා මට පොඩ්ඩක් වත් ආදරේ නැතිද?

හැඟීම් වචන වලට පෙරළන්න ඔබ ඒ කාලෙත් මැලියි. දැන් කිසිසේත්ම එය නොකරන බව ඔබ කියා සිටියා. ඒත් අනතුරුව ඔබ හරි අපූරු යමක් කීවා.

ශාරදා.. ඔයා මම ගැන දන්නව නේද? ඔයා දන්න ඒ මිනිහ ගැන හිතන්න. ඔයා මම ගැන.. මගෙ හිත ගැන දන්න ඒ දේ තමයි ඇත්ත!

මේ ටික කාලෙට ඔයා හරිම ප්‍රෙහෙලිකාකාරයෙක් වෙලා රවීන්ද්‍ර! ඒත් මම නිවුනා!

මම දැන් ඉස්සර තරමටත් වඩා වචන පාවිච්චිය අඩුයි ශාරදා! හිතක් පපුවක් නැතිකම නෙවෙයි..ඒත් හදවතින් කතා කරන එක මම අඩුවෙන් කරන දෙයක්. මොකද හදවත කියන්නෙම බොහොම පහසුවෙන් රිදෙන්න පුළුවන් තැනක්. ඔයාට රිදෙන්න පුළුවන්. මම ඒකට කැමති නෑ. මට දැනෙන දේවල් මම හිතන දේවල් ඔයාට කියනව කියන්නෙ මගේ වේදනාව මම ඔයාට පවරනවා වගෙ වැඩක්. මම මගේ හිතේ හැඟීම් මගෙ ළඟම තියන් ඉන්නෙ ඒකයි. ඒත් එක දෙයක් විතරක් දැනගන්න. මම අදටත් එදා හිටපු මිනිහමයි!

ඔබේ ඒ වචන එක්ක මගෙ ඇස් වලට ගලාගෙන ආවෙ කඳුළු නෙවෙයි සැනසිල්ල!

මට පරණ ලෙංගතුකමම දැනුනා!

ඔයාගෙ හිතේ තැනක මම ඉන්න බව තරම් නිවීමක් මට තව කොහෙන්ද? මාව එතැනින් ගිලිහෙන්න දෙන්න එපා රවීන්ද්‍ර! මොකද මම ඉන්න කැමති එකම තැනත් එතැන!

ඔබ එදා හුන් මිනිසාම වීම මොනතරම් සහනයක් ද.. දින කිහිපයක් තිස්සෙ ගිනිගහමින් තිබුණු හිත එක තත්පරයෙන් නිවුනා. එදා ඔබ තුළ වූ මිනිසා අපමණක් මට ප්‍රේමය දැක්වූ බව මට අමතක නෑ. ඉතින් එදා හුන් මිනිසාව අදටත් ජීවත්කරවීම වෙනුවෙන් ඔබට ස්තුතියි කියා මට මදි!

හදවතින් මම ඔබව වැළඳගත්තා.

ඔබ දන්නවාද.. ඒ සැනසිලිදායක හැඟීමම මට ප්‍රමාණවත් මා වටා වේගයෙන් වැඩෙන කටු ඉපල් වලින් නොනැවතී මල් ම විතරක් පුබුදන්න!

"ඔයා ගාව මම කවදත් සුවඳයි නේද රවීන්ද්‍ර.. "

ඔබෙන් පිළිතුරක් බලාපොරොත්තු නොවී මම හදවතින් ඇසුවා.

ඔබේ පිළිතුර මා උදක්ම දැන සිටියා.

දැන් තරමක කාලයක් ගෙවී ගිහින්.. ඔබත් මමත් එක තැනක නතර උනාට කාලය නොනැවතී ගෙවී ගිහින්. ඉරණම කවරාකාරයෙන්දැයි මට පැහැදිලි හැඟීමක් නෑ. ජීවිතේ ඉතිරි අර්ධයේ මොනා වෙයිද කියලා මට අදහසක් නෑ. ඒත් ඔබ විසින් කීව ඒ දවස වෙනුවෙන් මම තවදුරටත් ඉවසනවා. ඒ දවස ඉතා දිගු දවසක් වේවියැයි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔබේ ඒ හමුවීම මුහුණෙ රැළි සමඟ හිනා ඉරි ඇඳෙන දවසකද.. නැතිනම් ඊට බොහොම මෙහායින් තවමත් තුරුණු දවසකද කියා මම දන්නෙ නෑ. සමහරක්විටෙක ඒ දවස කවමදාවත් උදා නොවෙන දවසක් වෙන්නත් පුළුවන්! ඒත් මම එක කාරණාවක් ඉඳුරාම කියන්නම්..

මම බොහොම ආදරෙන් බලන් ඉන්නව!
ඔබ පැමිණියත් නොපැමිණියත්! ඒ ඔබ මගේ අගනාතම වස්තුව නිසා. ඔබ ගැන මට තවමත් විශ්වාස කළ හැකි බව මම දන්නව.

ඔබේ පැමිණීම සිද්ධ වෙන්නෙ හේමන්තයේ කෙළවර උනත් මොකද.. වසන්තය තියෙන්නෙම ඔබ ගාව නම්!

කොයිතරම් සෘතු ගෙවී ගියත් ඔබ එනවා නම් එන්නේ ගෙවුනු හැම වසන්තයක්ම මිටින් අරගෙන බව මම විතර දන්නෙ වෙන කවුද..

නන්දා මාලීනි මේ ගයන්නේ ඔබ ගැනම විය යුතුයි..

නවාතැන්පල ඔබයි.. ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ..!!

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment