Wednesday, May 29, 2019
ජීවිතේ හැමෝටම අයිති ය ❤️
"නපුංසකයෙක් මම වියළි ගසක් වැන්නැයි නොකියාවා"
යෙසායා 56 : 3
බයිබලයේ පරිච්ඡේදයක් කියවමින් සිටින වෙලාවක මේ පාඨය මගෙ ඇස ගැසී ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න මට පෙළඹීමක් ඇති උනා..
කියවන ඔබ වගේම ලියන මා අතින් ජීවිතේ එක්වරක් හෝ සිතා හෝ නොසිතා සිදුව ඇති වරදක් පිළිබඳව සිතිවිල්ලක මන් මොහොතක් නැවතී කල්පනා කරන්නට උනා..
අපි බොහෝ විට පෙළඹෙනවා බොහෝ විට කෙනෙකුගේ හෝ යම් දෙයක අඩුපාඩුවක් වරදක් දැක්කම නපුංසකයා, නපුංසක වැඩ කරන්නෙපා වැනි දේවල් කියමින් ඒ කාරණාව විවේචනය කරන්න. එවැනි වදන් විසුළු සේ භාවිතා කරන අපි සමහරක්විටෙක ඒ ගැන එතරම් දුරට වද වෙන්නෙත් නෑ..
කෙනෙකුගේ ලිංගිකත්වය හෝ ඒ සම්බන්ධ කාරණාවල් ඒ පුද්ගලයාගෙ සෙසු කටයුතු වලට කොයිතරම් බලපානවාද කියන කාරණාව පවා මට අනුව නම් සාපේක්ෂ කරුණක්. ඒ ආකාරයෙන් උපත ලැබෙන්නට වීම ඒ මනුස්සයාගෙ වරදක්දැයි අප විසින් නැවතත් අපෙන්ම විමසා දැන ගත යුතු කාරණාවක්.
රජ කාළෙ අන්තපුර මුරකරපු නපුංසකයන්ගේ ලිංගික දුර්වලතාවය හුවා දක්වමින් සිනාසුනු මිනිසුන් ඔවුන්ගෙන් කාන්තාවන්ට හානියක් නුවූ බව සිතන්නට මැලිවෙනවා.. මෙතනදි මට ඉස්මතු වූයේ ගැහැණියක් භාණ්ඩයක් ලෙස ගෙන පහත් ලෙස සලකන , අනිසි බලපෑම් කරන, බලහත්කාරකම් , දූෂණයන් කරන්නට පෙළඹෙන අංගයන්ගෙන් සම්පූර්ණ යැයි කියන පිරිමියෙකුට වඩා නපුංසකයෙක් කොයිතරම් ගෞරවනීය විය හැකිද යන කාරණාව.
මනුෂ්‍යයන් වශයෙන් අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. අඩුලුහුඬුකම් අඩුවැඩි වශයෙන් කොයිකාටත් තියෙනවා. අයුතු දේවල් කරන නපුංසකයන් ඕනෑතරම් සමාජයේ සිටිනවා යැයි මෙහිදි තර්කයක් ඔබට නඟන්න පුළුවන්. ඒත් ඔවුන් ඒ තැනට තල්ලු කරන්නෙ මේ සමාජය විසින් බව ඔබ කොයිතරම් දුරකට පිළිගන්නවාදැයි ඔබෙන්ම විමසන්න යැයි මා ඇරයුම් කරනව..
මනුෂ්‍යත්වය තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ යහපත් සිතුවිලි වල ප්‍රමාණය අනුව බව අමතක කරන අපි බොහෝ විට සමාජයේ ඔවුන්ව තනි කරන්නේ විහිළුවක් සේ සලකමින්.
ඉපදුනු දා පටන් නොයෙකුත් හැල හැප්පිලි මැද වැඩෙන ඔවුන් ඉපැයීමේ මාර්ග ලෙස ගණිකා නිවාසකයකට, සම්බාහන කටයුතු කරන ආයතනයකට, රූපලාවණ්‍යගාරයකට සීමා වෙනවා. සරලවම කීවොතින් කොටු වෙනවා..
ඔවුන් කරන ඒ රැකියාවලින් ඔවුන් තව තවත් කොන්වෙනවාම මිසක ඒ අගාධයෙන් ඔවුන් ගොඩට ගන්න කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක්.. සාමාන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයන් වන අප ඔවුන්ව අසාමාන්‍ය සේ දකින පටු ආකල්ප නිසා ඔවුන්ගේ ජීවිත නිරපරාදේ කොන්වීමකට ලක්වෙමින් සමාජයේ බාල්දු වෙමින් විනාශ වෙමින් යනව.
අධ්‍යාපනය වෙනුවෙන් පාසලකට යන තැන පටන් සිනහවට විසිළුවට ලක්වන ඔවුන්ගේ ආත්ම අභිමානය හීන කරමින් අප මේ කරන්නේ සමාජයක්ම ආපස්සට හැරවීමක් නොවේදැයි මම ඔබෙන් අසන්නට කැමතියි
නුදුරු දවසක ඔවුන්ගෙන් කෙනෙක් සැලෝනයක් දමනවා වෙනුවට මැනැවින් අධ්‍යාපනය ලබා ගුරු වෘත්තිය තෝරා ගතහොත් ඔබෙන් මගෙන් කොපමණ දෙනෙක් ඒ පුද්ගලයාට අවස්තාවක් ලබාදේවිද අලුත් ජීවිතයක් වෙනුවෙන්..
මිනිසුන් වන අපි එකිනෙකාට ගරු කළේ නැතිනම් කොයිතරම් උසස් වූවත් මේ ලැබුණු මනුස්සකම කුමකටද කියා මා ඔබෙන් විමසන්නට කැමතියි.
සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ පවා අඩුපාඩුවක් දැක්කොත් සංක්රාන්තිකයෙකුයැයි කියමින් අපහස කරන විටෙක එවැනි පුද්ගලයන්ගේ හිතකට දැනෙන අපහසුතාවයන් ගැන සිතන්නට අපි මොහොතක් හෝ කාලය වැය කරන්නේ නෑ.. කෙනෙකු නිරත වෙන බාහිර කාරණා වලට අදාල පුද්ගලයාගෙ ලිංගික නැමියාව වත් ස්වාභාවයෙන් උරුම වූ තත්ත්වයන් වත් සම්බන්ධ නොවන බව අප තේරුම් ගන්නේ කවදාද එවැනි දිනෙක මේ ලොව වඩාත් යහපත් තැනක් වනු නොඅනුමානයි කියා මා ඔබට යෝජනා කරනවා..
කෙනෙකු නපුංසකයෙක් සමලිංගිකයෙක් වූ පමණින් ඔවුන්ගේ ලිංගික නැමියාවන් නිසා සමාජයෙන් ඔවුන් තුරන් කිරීමට සිතීම කොයිතරම් සාධාරණදැයි අප සිතිය යුතු කාරණාවක්.. එවැනි මිනිසුන්ගේ පවා යහපත් චර්යාවන් තිබෙන්නට ඕනෑ තරම් අවස්තා නැතුවාම නොවෙයි. ඔවුන් නුසුදුසු වෘත්තීන් වලට යොමුවීමට අපගේ එක සිනාවකින් දහස්වතාවක් කොන් කිරීමකට ලක්කිරීමම එක් හේතුවක් විය හැකි නොවෙද.. කළ යුතු වන්නේ අපහාසකිරීම් වෙනුවට ඔවුන්ටත් පිළිගැනීමක් දී ඉගෙනීම සඳහා උපකාර කරමින් වඩාත් යහපත් මාර්ග පෙන්වාදීම දීම නොවෙදැයි මා ඔබෙන් විමසන්නට කැමතියි.
පුද්ගලයෙකු විවේචනය කිරීම උදෙසා දරුවන් නොමැතිකම, ලිංගික නැමියාව, ස්වාභාවයෙන් උරුම වූ තත්ත්වයන් වැනි අතිශය සංවේදි කාරණා භාවිත කිරීම කොයිතරම් දුරට සදාචාරාත්මකදැයි ඔබෙන්ම විමසා බලන්න..
කිසිවිටෙකත් සර්ව සම්පූර්ණ නැති අපට ඔවුන්ව පමණක් විශේෂයෙන් සළකා කොන්කිරීම, වේදනාවට පත්කිරීමට ඇති අයිතිය කුමක්ද..
හෙට දිනයක සංක්‍රාන්ති ලිංගිකයෙක් ගෞරවනීය වෘත්තියකින් සමාජගත වුවහොත් ඔවුන්ට නිසි ඇගයීමක් දීමට ඔබ සුදානම් ද.. ඔවුන්ගේ සමාජීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටින්නට ඔබගෙන් කී දෙනෙක් සූදානම්ද..
මිනිස්සුන්ගේ ලිංගිකත්වයට නින්දා කරන මනුෂ්‍යත්වයෙන් ඇති ඵලය කුමක්ද ? හිතන්න.. හැමදේටම ඒ මිනිස්සුන්ව විහිළුවක් කරගන්න එක සාධාරණද.. ඒ මිනිස්සු මිනිස්සු නෙවෙයිද :)
සංවේදි කාරණා ඈදාගනිමින් මිනිසුන් අපහසුතාවයට ලක්වෙන දේවල්, මිනිසුන්ට අපහස වෙන දේවල් නොකර සිටීමට හැකි තරම් වගබලාගනිමු.
-රොෂෙල් ෆර්නැන්ඩු-
Labels:
මට හිතෙන හැටි 🤗
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment