Tuesday, May 28, 2019

මල් කළඹ 💐



මතකයේ ගණනයන් නිවැරදි නම් දැන් මම අවුරුදු සැත්තෑවකට ආසන්න තාරුණ්‍යයේ කාන්තාවක් කීවොතින් ඔබ මට සිනාසෙනවාදැයි මම ඔබෙන් නොඅසමි..

කොයිතරම් දින සති ගෙවී ගියත් මිහිපිටදි ඉරු බැසීමකින් උදාවෙන හැම රාත්‍රියක්ම පවා තුරුණු බව විතරක්ම කියමි.. සෘතු ගණන් ගෙවී ගිහින් ගණනය කිරීමකින් මතකයේ රඳවාගැනීමට පවා අපහසු වසන්තයන් කොතෙකුත් පසුකරන් ආ නමුත් තවමත් මම හේමන්තයේ මැහැල්ලක් නොවන වග නම් බොහෝ ගැඹුරින්ම විශ්වාස කරමි. ඒ ඔහු තවමත් මා සොයා නොපැමිණි බැවිනි..

ඔහු එන්නේ කෙදිනකද එම හමුවීමේ සන්ධ්‍යාව වෙනතුරු පණනල මේ ශරීරය නමැති කූඩූවේ රඳවා සිරකර තබා ගැනීමට කෙලෙස හෝ උවමනාවක් මට එකලද තිබිණි.
අවසාන හිම තුහිනයත් ඉරු රැසින් දියවී නොපෙනී ගිය පසූ දළු දැමූ බකිණි ගසේ පළමු මල් වාරය මෙයයි. මඳ පවනකට යම් ප්‍රාණවත් බවක් ලැබීමෙන් තරමක් තදින් හැමූ සුළං ධාරාවක් හේතුවෙන් සෙලවීමකට ලක්වූ තුරු අග මල් හිසින් ගිලිහී ඈත පාවෙන පියල්ලෙන් පියල්ල දෙස බලා හිඳින උදෑසන දවසකින් මගේ ගෙවුනු සෑම වසන්තයක්ම ඇරඹි ලෙසම මේ වසන්තයත් උදාවිණි.

මගෙ කුඩා ගෙවත්තේ මා වඩාත් ආදරය කරන කොටසට සීත ලොම් කබායක් හා ඝනැති අත්මේස් හා පා ආවරණ වල ආධාරයක් නොමැතිවම උණුසුම් දෑසිනුත් ප්‍රාණවත් රුධිරයෙනුත් පියවර ඔසවන්නට මේ කදිම උදෑසනක් බව සිතමි. තුෂරයට පවා ඔරොත්තු දෙන ගිම්හානයේ පවා සුසුම් නාල්ලා සිටින මගේ ආදරණීය රෝස ගස ඔබේ රත් පැහැති කම්මුල් ඇති පුංචි යුවතිය පිපී හිනැහෙමින් සුවඳ දෙන'යුරු බලා අවුරුදු ගණනාවක් පුරාවට ජීවිතේ කොයිතරම් කටුක වුවද ඉමිහිරිව ගලා ගියාදැයි තවම ඔබවත් දන්නේ නැතුවා විය හැකියි. මගෙ උද්‍යානයේ බලාපොරොත්තුව ඇයම විය යුතුය. එසේය.. මම එසේ සිතමි.

හැම වසන්තෙකම බලාපොරොත්තුවක් රැගෙන ආදරයේ චමත්කාරයත් ජීවිතයේ උණුසුමත් කැටිව ඈ පිපෙන විට රැළි වැටුණු මගේ සුමුදු කම්මුල් පවා ලොවි පාට වෙන බව ඔබ අවුරුදු කිහිපයක සිට මනාව දැක ඇති බව නම් මට නිසැකය.

කුඩා වුවත් මගේ වෙව්ලන දෑත් වලින් මනාව නඩත්තු වෙන උයන පුරා සෙමින් ඇවිදිමින් හුදු නිහඬ ආශ්වාදයක් ලබමි. මගේ ඇස් වලට නොඅඩුවම පෙනීම ගෙන දෙන වර්ණයන් අතරේ ඇතුළාන්තයෙන් අළුපාටින් වැසුණු හදවත මම විනිවිද දකිමි. ජීවිතයේ තනි සුදු වර්ණයක් වත් කළු වර්ණයක් වත් නැති බවත් තිබෙන්නේ වර්ණයන් දෙකෙන් සම්මිශ්‍රිත අපූරුතම අළු පැහැය වගත් වටහා ගන්නා විට සමනළුන්ගේ දේදුනු පැහැයන් ගැන පමණක්ම විශ්වාසය තැබූ යෞවනයක කෙළවරට මා පැමිණි සිටි වග යන්තමින් මට මතකය.
ඒ නමුත් අළුපාට හදවත ගැඹුරේ පවා එකල මා සඟවා තැබූ ආදරයේ සුලලිත වර්ණ මේ කුසුම් මැදින් තවමත් මගෙ නෙත් කෙවිනි හරහා ඇතුළු වී හදවත පසාරු කරගෙන යන අන්දම සියුම් කම්පනයක් වැනි යම් වටහා ගැනීමට අපහසු වෙනස් හැඟුමකින් අත්විඳිමි.
හැම වසන්තෙම පාහේ සුපුරුද්දක් ලෙස මගෙ දෙඅතින් සකසන කළඹට මල් එකතු කරන්නට හොඳම වෙලාව බව එවිට මට නිරායාසයෙන් මතකයට නැගේ.. ඉතින් උයන පුරා ඇවිදිමින් මගේ කළඹට මම නේකාකාර විචිත්‍රවත් මල් එක්කාසු කරගනිමි.

එහි ඇති සුවිශේෂීම අංගය සියලුම වර්ගයන් ගෙන් මලකට වඩා එකතුකරගන්නා මල් මිටට මගේ බලාපොරොත්තුවේ ගසින් එකම මලක් පමණක් එකතුවීමේ කොටස යැයි සිතමි. ලිලී ,ඩැෆඩිල්, ටියුලිප් අතරට පැමිණෙන රතු පැහැති රෝස යුවතිය තවමත් මාගේ ප්‍රියතම මල වීම අරුමයක් නොවෙයි.. විස කටු මතින් හිනැහෙන්නට පුරුදු වී සිටි ඈට ආදරය නොකර සිටින්නට තරම් හිතක් මට තවම නැත. මතුද එසේමය.

මලින් මල එකතු කරමින් සිටින විට මාගේ බලාසිටීමේ හිමිකරුට හිමිව තිබූ නිශ්චල නමුත් සෘජු බැල්මකින් පිරුණු දෑස් තවමත් එලෙසින්ම නොවෙනස්ව දකිමි. වෙනසකට ඇත්තේ ඔහුගේ ඒ තුරුණු දෑස් මැවෙන්නේ පෙරදි ඉර එළියට දුඹුරු පැහැයෙන් කාන්තිමත්ව දිලෙන හිනැහෙන දෑසක වෙනුවට ඇසේ සුද ඇතිවීම නිසා තරමක් අළු පැහැ ගැන්වුනු තරුණ මැහැල්ලකගෙ දෑස් තුළ වීමයි.

ඒ දෑස් තුළට එබී බලන්නට උත්සුක වූ කිසිවෙකු එය මනාව කිරීමට අපොහොසත් වූ අන්දම සිතමින් මතකයේ පියාපත් සලමි.
වරෙක ඔහු මගෙ හොඳම පෙම්වතා වී සිටියේය. ප්‍රථම ප්‍රේමය ලෙසින් හැඳින්විය නොහැකි මුත් ඔහු මා ජීවිතයට පැමිණි සුවිශේෂීතම චරිතය විය යුතුය. වෙනත් ආකාරයෙන් පවසනවා නම් මගෙ "සැබෑ ප්‍රථම ප්‍රේමය" ඔහු විය යුතුය. මා එලෙසින් සිතමි.
මිතුරුකමකට ආසන්න බැඳීමක තිබූ එතරම් නොගැඹුරු ප්‍රේමයක කෙළවරදී ඔහු මට බලාපොරොත්තු නොවූ ලෙස මුණගැසිණි. එය දෛවයේ කුරිරු මුණගැස්වීමක් ලෙස පසුව සිතන්නට පටන්ගත්තේ ඒ හමුවට මා පමා බව දැනගැනීමෙන් අනතුරුව බව මට මතකය. කෙසේ නමුත් එම අවස්තාව සිහිපත් කරද්දි අදටත් මගේ වෙව්ලන, රැළි වැටුණු කොපුල් මත වළ ගැසෙන හිනාවක් ඇදී මැකී යන බව නොරහසකි.

ඒ වන විටත් ජීවිතයේ අහිමිවීම් රැසකට හුරුව තිබූ මගේ හදවතට ඔහු අහිමිකරගැනීමට කිසිසේත්ම වුවමනාවක් නොතිබිණි. සැබවින්ම කිවහොත් ඔහු අහිමිවීම යන කාරණය පිළිබඳව සිතීම පවා එක්තරා අන්දමකින් මට බියජනක කාරණාවක් විණි. මුණගැහෙන විටත් ආදරයක ඇසුරේ උන් ඔහුට මා ගැනත්, සියුම් වුවත් ආදරයක බිඳීමෙන් තනිකමක කම්පනයෙන් සිටි මා හට ඔහු ගැනත් තිබුණේ මිතුරුකමටත් ආදරයටත් අතරමැදි නොවූ ඉනුත් එහා ගිය තරමක වෙනස් හැඟුම් සමුදායක් බව මම එකලද දැන උන්නෙමි.
ඔහුගේ හිත දෙපසකට බෙදීම පිළිබඳව අකමැති වූ හෙයින් තරමක ඈත්වීමක සීමාවේ කඩ ඉම් රේඛා මා අඳින විට ඒ රේඛා මකන්නට ඔහුට අවැසි වූ සේම පසුකාලීනව අවුල් වුණු මනසින් යුතුව ඔහු රේඛාවක් සනිටුහන් කරන විටත් මා ඔහුගේ සීමාවට ඇතුළු වී තිබුණේ දෙදෙනාටත් නොදැනිවම වීම ප්‍රේමයේ මායාකාරි ගුණය ලෙස දකිමි.
සියලු සීමාවන් මොහොතකට බිඳ දමා නැතිනම් අමතක කර ආදරයෙන් බැඳෙන්නට ඒ මායාකාරි ගුණය අභිබවා දෙසිත් වලට උවමනා වී තිබිණි.

සඳක් සිටි ඔහුගේ අහසේ ඔහුගේ ප්‍රියතම පහන් තාරකාව මා බව වරක් ඔහු කී අයුරු මගෙ මතකයේ ඇත. අමාවක දිනයන් හි පමණක් නොව පුර පසොළොස්වක නිශාවන් හී පවා ඔහුට පහන් තරුවක ආලෝකය අවැසි වූ කාරණාව අදටද මා හට සියුම් කුතුහලයක් දනවන කාරණාවකි.

ඔහුගේ ජීවිතය ප්‍රීතියෙන් පිරැවූ ගැහැණියක ලෙස කලෙක ඔහු මට ආදරය කළා විය යුතුය. ඒ අප අතර ගොඩනැගුණු ආදරයේ උණුසුම්ම වකවානුව විය යුතුය. ඒ උණුසුමින් සඳ ගිනිගත් රැයක සඳ නිවාලනු පිණිස පහන් තරුව වෙත සමුගන්නට යැයි ඔහුගෙන් නොසිතූ ඇරයුමක් ලැබිණි. නමුත් ඔහුගේ ප්‍රියතම පහන් තරුව පවා මෙතෙක් ඔහුට ආලෝකය දුන්නේ දැවෙමින් බව ඔහුට අමතකව ගොස් තිබූ කාරණය විය. පහන් තරුව බැස ගියෙන් සඳ සිසිලේ ඔහු කල් ගෙවන්නට ඇත. ඒ නමුත් බැසයන්නට මොහොතකුත් තිබියදි ඔහුගෙන් ලද එක බැල්මක සටහන්ව තිබූ පණිවිඩයක් විණි.
අවසාන සුසුමකට පෙර යම් දිනෙක බලා යන්නට වරක් හෝ පැමිණෙන වගට මා එම පණිවිඩය කියවූ බව මගෙ මතකයේ ඇත. මා එදා එම පණිවිඩය එසේ කියවූයේ ඔහු සැබවින්ම එලෙසින් කියූ නිසාද නොමැති නම් ඒ පණිවිඩය එයාකාරයෙන් මට කියවීමට උවමනාවක් තිබූ නිසාදැයි අදටත් මම නොදනිමි.

නමුත් ඉන් උදාවූ සෑම හුදෙකලා වසන්තයකම සුපුරුදු ලෙස ඔහු ආවොතින් ඔහුට පිරිනැමීමට නොවෙනස් වූ ආදරයේ මල් කළඹ පෙර ලෙසම සකසමි. සෘතු ගණන් ගෙවී ගියත් ඔහු තවම ආවේ නැතිසේම මා සතු වූ ආදරය වියපත් වූයේද නැත. ගතින් වැහැරුණු හේමන්තයේ මැහැල්ලකගේ හදවතේ තුරුණු බව රැක දුන්නේ වරෙක ආදරයෙන් ඔහු පිරිනැමූ රතු රෝස ගස බවත් ඔහු තවම දන්නේ නැත. එය දැනගැනීම පිණිස වුව ඔහු ආවේ නැත. ඕනෑ තරමකට ආදරය දෙන බවට කියූ ඔහුගේ පොරොන්දුවක් හදවතේ ඇතුල් දොරටු ළඟ හිඳිමින් පිටතට එන්නට බලා ඉන්නේ බොහෝ කල් සිටය. එයට පිටතට පැමිණීමට හැකි වන්නේදැයි නොහැකි වන්නේදැයි නොදනිමි. බලාපොරොත්තුවේ ගස ගැන පමණක් විශ්වාස කරමි.
නෙත් කෙවිනි තෙත් කරමින් යන්තමට බොඳ කළ මතකය ඔස්සේ පරිස්සමින් රැකගත් රෝස ගසේ මේ වසන්ත වාරයට පිපුණු පළමු සහ එකම මල නෙළමි.

ඉතින් සුපුරුදු ලෙසම මේ පළමු මල් මිට ඔහුටය.

-රොෂෙල් ෆර්නැන්ඩු-

No comments:

Post a Comment