පිටතින් ඈ ඝෝෂාකාරී, රැළි ගසන, කුණාටුද සහිත මහ සයුරක් ය.. නමුදු හදවතින් ලස්සනම වර්ණවත් මුදූ පතුලක් ය.. රැළි නොනඟන, නිශ්චලතම, හදවත කියන දේ පවා නෑසෙනා තරමින් ය.. ඇසෙන ස්වල්ප ශබ්දයක් පවා අසා සිටින්නට එහි කිසිවෙකුත් නොමැත.. ඇසුනේ වුව ද තේරුම්ගත හැකි අයෙක් එහි සිටිත්ද කියා ඈ තව නොදනී..
වෙරළට එන බොහෝ දෙනෙක් ඇගේ කුඩා රැළිති පාගා ඈ විසින් එවූ මුතු ද ඇහිඳගෙන අවසන ඈ මහත් ලෙස "ඝෝෂාකාරී" යැයි බැනවදිමින් යන්නෝ වෙති.. එහි පතුල දක්වාම පැමිණෙන්නෝ නැති තරම් ය.. නමුදු යමෙක් ගැඹුර කරා පැමිණියහොත් යළි නෑවිදින් ඉන්නට හේතු කාරණා ද නැති බව ඈ හොඳාකාරවම දනී.. ඈ සතුව ඇත්තේ ඒ තරම් සුන්දරතම ගැඹුරක් ය.
නිහඬවම ගැඹුරේ ඇති නිශ්චලතාවයට ඕනෑකමින් සවන්දෙන අයෙකුට පවා කිසිවක් නෑසෙන තරම් ය.. ඈගේ හිත දිනූවෙකුට පමණක් ම මෙතුවක් කල් සියල්ල උසුලාගෙන සිටි මහ මුහුදක කතාවක් අසාගැනීමට කුඩා ඉඩකඩක් තිබේ.. නමුදු ඒ පතුල කරා ළඟා වුවහොත් පමණි.. කිසිවෙකුට එහි පහසුවෙන් පැමිණීමට අවසර නැත.. පැමිණීම ද අසීරු ය.. පතුල කරා ළඟා විය හැකිවුන් ඒ තරමට ම අල්පයැයි කියමි..
එලෙස පැමිණි එක් කුඩා නිල් දිය රැළිත්තක් ඇගෙ කතාව අසාගනිමින් ඇගේ ම කඳුළකින් මුතුවක් ද සාදාගෙන එය පැළඳගත් විගස යළිත් වෙරළට ගසාගෙන යන්නට ගියෙන් ඈ නෑසෙන තරමින් කියූ අල්පයක් දේ පවා නොකියාම නිහඬවිණි..
නිල් දියවර සොයා යන්නේම වෙරළය.. සිප වැළඳගන්නේ ම වෙරළය.. ආදරය කරන්නේ ම වෙරළට ය.. මූදු පතුලේ ලස්සනම මුතු ඇට වෙරළට අරන් යන දියවර විසින් සරසන්නේ ම වෙරළ ය.. නමුදු පතුල කිසිවක් කියන්නේවත් අසන්නේවත් නැත.. එලෙස රැළි නඟමින් ගොස් ආපිට පැමිණෙන්නේ ද පතුලටය.. පතුල කිසිවක් නොකියාම සිටියා ය.. එනමුදු වරෙක කාලයක් තිස්සේ ගැඹුරේ එකතු වී තිබූ අනන්තයක් සා වූ වේදනා දරාගත නොහැකි අවධියක වෙරළත් කළඹවාගෙන ම ඈ ගොඩගැලුවා ය..
එයින් නැඟුනු වේදනා සහ විනාශය දැක ඒ පතුල ම කම්පා වූවාය.. වරෙක වේදනාගෙන හැඬූ කඳුළින් කුණාටු නැඟිනි.. එයින් සැඬ වන්නේ නිල් දියවර ය.. රිදෙන්නේ ඈට ය.. එබැවින් ඈ නිහඬවම අඳුරේ ම ගිලුනා ය..
කොපමණක් රැළිති නංවා නිල් දියවර වෙරළ සොයාගිය ද ගැඹුරුතම ආදරයේ නිල් මහා සාගරයම අයිති ලස්සනම මූදූ පතුලටය.. 💙
විටෙක වෙරළ හා හැපෙමින් වුවත් නිල් දියවර නැවත නැවතත් පතුල කරා ඇවිත් යන්නට එන්නේ එබැවිනි.. එනමුදු ඈ දැන් කවර ආකාරයේ වුව අයිතිවාසිකමක් තබා වචන මාත්‍රයකුදු පවසන්නේ නැත..
මුතු ද අහිමිකරගෙන , සිප්පිකටු හා වෙරළේ හැපෙමින් හෙම්බත් වන ඈගේ මිතුරු නිල් දිය රළ ගැන ඈ කණගාටු වූවා මිසක දොසක් නොනැඟුවාය... ඒ ඈගේ පිළිවෙත ය.. කාශ්ටක වෙරළෙන් නොහිමි දයාබරිත තෙතමනය සොයා පුරුදු රැල්ලක් දිගේ නැවතත් පතුල කරා පැමිණි දියවරට ඈ කිසිත් කීවේ නැත..
මම යළිත් කියමි..
ගැඹුරුම තැන් ලස්සනය..
එය ඇඳිනින්නෝ අල්පය..
එපමණකි !!!
-රොෂෙල් ෆර්නැන්ඩු-
No comments:
Post a Comment