Friday, May 31, 2019

ඇබ්බැහිය 🖤


ඇය නුඹේ ජීවිතයේ සුපුරුද්දක් නම් මා නුඹේ ජීවිතයේ ඇති කරගත් නරක පුරුද්දක් නොවේදැයි නොඅසමි..

(දනිමි..)

බොහෝ විට මිනිසුන් නරක පුරුදු වලට ඇබ්බැහි වේ..

( සැනහෙමි.. )

ඇබ්බැහිවීම් ජීවිතයෙන් අතැර දැමීම අසීරු බව තවමත් ඔබට මා කිවයුතුද..

නුඹත් මාගේ නරක පුරුද්දකි !

එහෙයින් නුඹෙන් මිදීමට මට උවමනාවක් නැත..

නුඹ මාගෙන් වෙනස් වන්නේ එහිදීය..

නුඹට අවැසි වූයේ මාගෙන් මිදී නුඹේ සුපුරුදු දිවිය වෙතට එළැඹීමටයි.. ඒ ගැන කාංසාවක් නැත. බිඳුවක හෝ අහිතක් නොසිතමි... මතුද එසේ නොවේවා යැයි පතමි. අහිතක් ඇතිවන තැනෙක ප්‍රේමය නැතැයි අදහන බැවින් අහිතක් නොසිතේයැයි හඟිමි.

පෙර මෙන් ආදරේ දැයි නොවිමසන්න.. ඉදිරියටත් ආදරේ යැයි නොසිතන්න..

අවකාශය පවා ඉඩක් සොයනා මොහොතක මත්බවටත් හුදෙකලාවටත් මා තුරුළු කර නුඹ සොයන අවකාශය සොයා යන්නට මහත් වූ ප්‍රේමයෙන් අවකාශය සලසමි.

සබඳ නුඹට දැන් යා හැකිය.

ඇබ්බැහිවීමටත් මත් වූ සන්ධ්‍යාවන් වෙනුවෙනුත් ඔබට ස්තුතියි

එපමණකි !

-රොෂෙල් ෆර්නැන්ඩු-

බාඳුරා මලක් කිවූ කතාව


ලස්සන වසන්තෙක මල් පිපිලා.. සුවඳ හැම අතේ.. සමනලුන්ගෙ මී මැස්සන්ගෙ ආලවට්ටම් දිහා බලාගෙන මල් එක පොකුරට හිනා වෙනවා.. බඹරෙක් තරහ වෙලා යන්න ගියාම කදුළු සලන මල් ඇරෙන්න අනික් හැමෝම සතුටින් හිනාවෙනවා.. නිහඬවම මේ හැමදෙයක්ම බලා ඉන්න බාඳුරා මලක් කල්පනාවෙම කරබාගෙන ඉන්නවා.. ඈ වටා ඹබරු කැරකෙන හැටි දිහා හොරෙන් බලන මල් යාන්තමට කසුකුසුවෙ..

"බලන්න ඇගෙ ලස්සන.. ඈ කොයිතරම් පියකරුද.. ඒ උනත් ඈ නම් හරිම නපුරියක්.."
"එක ඹබරෙක් වත් අතහරින්නෙ නෑ" 


එය ඇහුණු බාඳුරාව යන්තමට වගේ හිස ඔසවා වටපිට බලනකොටම ඈ දිහා බලන් උන්නු මල් සේරම අහක බලනවා.. වටින් පිටින් ඇහෙන කසුකුසු මැද්දේ ඈ නිහඬවම කල්පනාවෙ.. ඈ එක්ක මිතුරු වෙන්න අනික් මල් බියයි වගෙම අකමැතියි..

දවසක් බාඳුරා මලට අසුවී යන්න දඟලන ඹමරෙක් දැකලා නිල් කටරොළු පොකුරක් බාඳුරා මලෙන් ඇහුවා ඇයි අපි වගේ නොවී ඔබ බාඳුරාවක් උනේ කියලා.. ඇයි ඔබ ඹබරට යන්න නොදෙන්නෙ කියලා..

මෙච්චර දවසක් නිහඬවම උන්නු බාඳුරා මල කතා කරන්න පටන් ගත්තා..

බඹරු කවද්ද එක මලක විතරක් වහලා හිටියේ..
උන්ගේ පුරුද්ද මලින් මලට ඉගිලිලා යන එක..
ඒක උන්ගේ රස්සාව..!!!

ලස්සන සුවඳ කොයි මල දැක්කමද බඹරෙක් අහක බලාන ගියේ ? මලට ළංවෙලා බලන්නෙ රොන් උරන්න.. බඹර තුඩු අස්සෙ හැංගිච්ච විෂ නොදන්නා මල් ලස්සන පාටින් හරී සුවඳට හිනැහෙනවා..බඹරා දන්න සේරම රැගුම් දාලා ළං උනාට මොකද ඊට පස්සෙ උන්ට එක තත්පරයක් වත් ඒ මල වටා තටු ගහන්න වත් වෙලාවක් නෑ..

මල් පිපෙන වසන්ත කාලයේ උන් මධු සාද පවත්වනවා..
සමනලුන්ට මී මැස්සන්ට අහක බලන සමහර අහංකාර මල් උනත් ඹබර රැගුම් ඉස්සරහ නොදැනිවම වසඟ වෙනවා..
මමත් ඉස්සරම ඔබ වගේම අහිංසකව පිපුණු නිල් කටරොළු මලක්...
ඒත් මං මියෙනකොටම හිතුවා ආයෙ පිපෙනවා නම් පිපෙන්නේ බාඳුරාවක් වෙලා කියලා..

මල් පිපෙනවා පරවෙනවා.. ඹබරු හිටියා කියලා මල් නොපිපෙන්නෙත් නෑ.. ඹමරුන්ට මධු සාද වල හිඟයකුත් නෑ..
සුවඳත් දීලා පාටත් දීලා සාරයත් දීලා පෙති කඩා හැලෙනවා...
එහෙම ලෝකෙක මං බාඳුරා මලක් උනාම ඇති වරද මොකක්ද...
අනික් මල් වසඟ කරවන අනග රැගුම් දාන ගොඩාක් ඹමරු මන් ඉස්සරහ වසඟ වෙනවා
මගෙ පරිස්සමේ සීමාව මන් දන්නවා.. ඉන් එහාටත් මත් වෙන්න හදන ඹබරුන්ට උරුම වෙන දේ කියන්න ඕනි නෑ නේ..

අහිංසක මලකට වසන්තය අහිමි කරන විස ඹබර තුඩු වලට මන් කියාදෙනවා ජීවිතේ ගැන..

ඒත්
ඹබරුන්ට දොස් නොකියන ගොඩාක් මල් එකම කුලේ බාඳුරා මලට නොකියනා දොසක් නෑ..

-රොෂෙල් ෆර්නැන්ඩු-

මට ඕනි සක්වලම
එක මිටට අරන්
ඔබේ අත්ලට ගුලි කරන්න
ඔබේ ඇඟිලි අතරින්
තරු පනින හැටි
බල බලා සිනාසෙන්න
සඳ වළල්ලක් ඔබේ
මුදුගිල්ලෙ පළඳන්න
මන්දාකිණි
ඉතින් දැන්වත් මට
උඹෙ ආදරෙන්
ඇබින්දක් දෙන්න...

-රොෂෙල් ෆර්නැන්ඩු-

Wednesday, May 29, 2019

හිතම සිඹ යන්න 🖤


දඹ පාට සැඳෑවේ අළු වලා හැඬවුම්
නුබ තලයේ රිදි රිදී ඇහෙනවද ගෙරවුම්
නුඹ විතර තව කවුද දන්නෙ මගෙ රිදවුම්
කඹ ඇඳිලි තව කුමට ඇතිය මේ විඳවුම්

මේ දැන්ම මගෙ ළඟට මොහොතකට එන්න
නළල් තල කොපුල් නොව හිතම සිඹ යන්න
පටුම පටු ඉඩ අතර ගැඹුරු බව දන්න
ප්‍රේමාදරේ කිමිද සිප වැළඳගන්න

පැහැදුල්ව ඉඟිකරන තරු ඇසින් විමසා
හිත්තැවුල් සිඳලන්න ආදරෙන් සනසා
නිකෙලෙස්ව කවි ලීව නුඹය මගෙ තවුසා
මිණිමෙවුල හඬවන්න මිහිරි බව නොනසා

ළමැද වැසි වසින ගිනි පොදය හරි උණුසුම්
සුහද ඔබ ළඟම ඇති පිනි තමයි විසඳුම්
මහද නුඹ ගැනම ඇති හැඟුම නැත ඉවසුම්
දෙහද බැඳි ප්‍රේමයට කුමට අන් විමසුම්

-රොෂෙල් ෆර්නැන්ඩු-

ජීවිතේ හැමෝටම අයිති ය ❤️


"නපුංසකයෙක් මම වියළි ගසක් වැන්නැයි නොකියාවා"

යෙසායා 56 : 3

බයිබලයේ පරිච්ඡේදයක් කියවමින් සිටින වෙලාවක මේ පාඨය මගෙ ඇස ගැසී ඒ ගැන ගැඹුරින් කල්පනා කරන්න මට පෙළඹීමක් ඇති උනා..

කියවන ඔබ වගේම ලියන මා අතින් ජීවිතේ එක්වරක් හෝ සිතා හෝ නොසිතා සිදුව ඇති වරදක් පිළිබඳව සිතිවිල්ලක මන් මොහොතක් නැවතී කල්පනා කරන්නට උනා..

අපි බොහෝ විට පෙළඹෙනවා බොහෝ විට කෙනෙකුගේ හෝ යම් දෙයක අඩුපාඩුවක් වරදක් දැක්කම නපුංසකයා, නපුංසක වැඩ කරන්නෙපා වැනි දේවල් කියමින් ඒ කාරණාව විවේචනය කරන්න. එවැනි වදන් විසුළු සේ භාවිතා කරන අපි සමහරක්විටෙක ඒ ගැන එතරම් දුරට වද වෙන්නෙත් නෑ..

කෙනෙකුගේ ලිංගිකත්වය හෝ ඒ සම්බන්ධ කාරණාවල් ඒ පුද්ගලයාගෙ සෙසු කටයුතු වලට කොයිතරම් බලපානවාද කියන කාරණාව පවා මට අනුව නම් සාපේක්ෂ කරුණක්.  ඒ ආකාරයෙන් උපත ලැබෙන්නට වීම ඒ මනුස්සයාගෙ වරදක්දැයි අප විසින් නැවතත් අපෙන්ම විමසා දැන ගත යුතු කාරණාවක්.

රජ කාළෙ අන්තපුර මුරකරපු නපුංසකයන්ගේ ලිංගික දුර්වලතාවය හුවා දක්වමින් සිනාසුනු මිනිසුන් ඔවුන්ගෙන් කාන්තාවන්ට හානියක් නුවූ බව සිතන්නට මැලිවෙනවා.. මෙතනදි මට ඉස්මතු වූයේ ගැහැණියක් භාණ්ඩයක් ලෙස ගෙන පහත් ලෙස සලකන , අනිසි බලපෑම් කරන, බලහත්කාරකම් , දූෂණයන් කරන්නට පෙළඹෙන අංගයන්ගෙන් සම්පූර්ණ යැයි කියන පිරිමියෙකුට වඩා නපුංසකයෙක් කොයිතරම් ගෞරවනීය විය හැකිද යන කාරණාව.

මනුෂ්‍යයන් වශයෙන් අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. අඩුලුහුඬුකම් අඩුවැඩි වශයෙන් කොයිකාටත් තියෙනවා. අයුතු දේවල් කරන නපුංසකයන් ඕනෑතරම් සමාජයේ සිටිනවා යැයි මෙහිදි තර්කයක් ඔබට නඟන්න පුළුවන්. ඒත් ඔවුන් ඒ තැනට තල්ලු කරන්නෙ මේ සමාජය විසින් බව ඔබ කොයිතරම් දුරකට පිළිගන්නවාදැයි ඔබෙන්ම විමසන්න යැයි මා ඇරයුම් කරනව..

මනුෂ්‍යත්වය තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ යහපත් සිතුවිලි වල ප්‍රමාණය අනුව බව අමතක කරන අපි බොහෝ විට සමාජයේ  ඔවුන්ව තනි කරන්නේ විහිළුවක් සේ සලකමින්.

ඉපදුනු දා පටන් නොයෙකුත් හැල හැප්පිලි මැද වැඩෙන ඔවුන් ඉපැයීමේ මාර්ග ලෙස ගණිකා නිවාසකයකට, සම්බාහන කටයුතු කරන ආයතනයකට, රූපලාවණ්‍යගාරයකට සීමා වෙනවා. සරලවම කීවොතින් කොටු වෙනවා..

ඔවුන් කරන ඒ රැකියාවලින් ඔවුන් තව තවත් කොන්වෙනවාම මිසක ඒ අගාධයෙන් ඔවුන් ගොඩට ගන්න කිසිවෙකු හෝ ඉදිරිපත් නොවීම කණගාටුවට කරුණක්..  සාමාන්‍ය ස්ත්‍රීන් හා පුරුෂයන් වන අප ඔවුන්ව අසාමාන්‍ය සේ දකින පටු ආකල්ප නිසා  ඔවුන්ගේ ජීවිත නිරපරාදේ කොන්වීමකට ලක්වෙමින් සමාජයේ බාල්දු වෙමින් විනාශ වෙමින් යනව.

අධ්‍යාපනය වෙනුවෙන් පාසලකට යන තැන පටන් සිනහවට විසිළුවට ලක්වන ඔවුන්ගේ ආත්ම අභිමානය හීන කරමින් අප මේ කරන්නේ සමාජයක්ම ආපස්සට හැරවීමක් නොවේදැයි මම ඔබෙන් අසන්නට කැමතියි
නුදුරු දවසක ඔවුන්ගෙන් කෙනෙක් සැලෝනයක් දමනවා වෙනුවට මැනැවින් අධ්‍යාපනය ලබා ගුරු වෘත්තිය තෝරා ගතහොත් ඔබෙන් මගෙන් කොපමණ දෙනෙක් ඒ පුද්ගලයාට අවස්තාවක් ලබාදේවිද අලුත් ජීවිතයක් වෙනුවෙන්..

මිනිසුන් වන අපි එකිනෙකාට ගරු කළේ නැතිනම් කොයිතරම් උසස් වූවත් මේ ලැබුණු මනුස්සකම කුමකටද කියා මා ඔබෙන් විමසන්නට කැමතියි.

සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ පවා අඩුපාඩුවක් දැක්කොත් සංක්‍රාන්තිකයෙකුයැයි කියමින් අපහස කරන විටෙක එවැනි පුද්ගලයන්ගේ හිතකට දැනෙන අපහසුතාවයන් ගැන සිතන්නට අපි මොහොතක් හෝ කාලය වැය කරන්නේ නෑ.. කෙනෙකු නිරත වෙන බාහිර කාරණා වලට අදාල පුද්ගලයාගෙ ලිංගික නැමියාව වත් ස්වාභාවයෙන් උරුම වූ තත්ත්වයන් වත් සම්බන්ධ නොවන බව අප තේරුම් ගන්නේ කවදාද එවැනි දිනෙක මේ ලොව වඩාත් යහපත් තැනක් වනු නොඅනුමානයි කියා මා ඔබට යෝජනා කරනවා..

කෙනෙකු නපුංසකයෙක් සමලිංගිකයෙක් වූ පමණින් ඔවුන්ගේ ලිංගික නැමියාවන් නිසා සමාජයෙන් ඔවුන් තුරන් කිරීමට සිතීම කොයිතරම් සාධාරණදැයි අප සිතිය යුතු කාරණාවක්.. එවැනි මිනිසුන්ගේ පවා යහපත් චර්‍යාවන් තිබෙන්නට ඕනෑ තරම් අවස්තා නැතුවාම නොවෙයි. ඔවුන් නුසුදුසු වෘත්තීන් වලට යොමුවීමට අපගේ එක සිනාවකින් දහස්වතාවක් කොන් කිරීමකට ලක්කිරීමම එක් හේතුවක් විය හැකි නොවෙද.. කළ යුතු වන්නේ අපහාසකිරීම් වෙනුවට ඔවුන්ටත් පිළිගැනීමක් දී ඉගෙනීම සඳහා උපකාර කරමින් වඩාත් යහපත් මාර්ග පෙන්වාදීම දීම නොවෙදැයි මා ඔබෙන් විමසන්නට කැමතියි.

පුද්ගලයෙකු විවේචනය කිරීම උදෙසා දරුවන් නොමැතිකම, ලිංගික නැමියාව, ස්වාභාවයෙන් උරුම වූ තත්ත්වයන් වැනි අතිශය සංවේදි කාරණා භාවිත කිරීම කොයිතරම් දුරට සදාචාරාත්මකදැයි ඔබෙන්ම විමසා බලන්න..

කිසිවිටෙකත් සර්ව සම්පූර්ණ නැති අපට ඔවුන්ව පමණක් විශේෂයෙන් සළකා කොන්කිරීම, වේදනාවට පත්කිරීමට ඇති අයිතිය කුමක්ද..

හෙට දිනයක සංක්‍රාන්ති ලිංගිකයෙක් ගෞරවනීය වෘත්තියකින් සමාජගත වුවහොත් ඔවුන්ට නිසි ඇගයීමක් දීමට ඔබ සුදානම් ද.. ඔවුන්ගේ සමාජීය අයිතීන් වෙනුවෙන් පෙනීසිටින්නට ඔබගෙන් කී දෙනෙක් සූදානම්ද..

මිනිස්සුන්ගේ ලිංගිකත්වයට නින්දා කරන මනුෂ්‍යත්වයෙන් ඇති ඵලය කුමක්ද ? හිතන්න.. හැමදේටම ඒ මිනිස්සුන්ව විහිළුවක් කරගන්න එක සාධාරණද.. ඒ මිනිස්සු මිනිස්සු නෙවෙයිද :)

සංවේදි කාරණා ඈදාගනිමින් මිනිසුන් අපහසුතාවයට ලක්වෙන දේවල්, මිනිසුන්ට අපහස වෙන දේවල් නොකර සිටීමට හැකි තරම් වගබලාගනිමු.

-රොෂෙල් ෆර්නැන්ඩු-

මූදූ පතුල 💙💙💙


පිටතින් ඈ ඝෝෂාකාරී, රැළි ගසන, කුණාටුද සහිත මහ සයුරක් ය.. නමුදු හදවතින් ලස්සනම වර්ණවත් මුදූ පතුලක් ය.. රැළි නොනඟන, නිශ්චලතම, හදවත කියන දේ පවා නෑසෙනා තරමින් ය.. ඇසෙන ස්වල්ප ශබ්දයක් පවා අසා සිටින්නට එහි කිසිවෙකුත් නොමැත.. ඇසුනේ වුව ද තේරුම්ගත හැකි අයෙක් එහි සිටිත්ද කියා ඈ තව නොදනී.. 

වෙරළට එන බොහෝ දෙනෙක් ඇගේ කුඩා රැළිති පාගා ඈ විසින් එවූ මුතු ද ඇහිඳගෙන අවසන ඈ මහත් ලෙස "ඝෝෂාකාරී" යැයි බැනවදිමින් යන්නෝ වෙති.. එහි පතුල දක්වාම පැමිණෙන්නෝ නැති තරම්‍ ය.. නමුදු යමෙක් ගැඹුර කරා පැමිණියහොත් යළි නෑවිදින් ඉන්නට හේතු කාරණා ද නැති බව ඈ හොඳාකාරවම දනී.. ඈ සතුව ඇත්තේ ඒ තරම් සුන්දරතම ගැඹුරක්‍ ය.

නිහඬවම ගැඹුරේ ඇති නිශ්චලතාවයට ඕනෑකමින් සවන්දෙන අයෙකුට පවා කිසිවක් නෑසෙන තරම්‍ ය.. ඈගේ හිත දිනූවෙකුට පමණක් ම මෙතුවක් කල් සියල්ල උසුලාගෙන සිටි මහ මුහුදක කතාවක් අසාගැනීමට කුඩා ඉඩකඩක් තිබේ.. නමුදු ඒ පතුල කරා ළඟා වුවහොත් පමණි.. කිසිවෙකුට එහි පහසුවෙන් පැමිණීමට අවසර නැත.. පැමිණීම ද අසීරු ය.. පතුල කරා ළඟා විය හැකිවුන් ඒ තරමට ම අල්පයැයි කියමි.. 

එලෙස පැමිණි එක් කුඩා නිල් දිය රැළිත්තක් ඇගෙ කතාව අසාගනිමින් ඇගේ ම කඳුළකින් මුතුවක් ද සාදාගෙන එය පැළඳගත් විගස යළිත් වෙරළට ගසාගෙන යන්නට ගියෙන් ඈ නෑසෙන තරමින් කියූ අල්පයක් දේ පවා නොකියාම නිහඬවිණි.. 

නිල් දියවර සොයා යන්නේම වෙරළය.. සිප වැළඳගන්නේ ම වෙරළය.. ආදරය කරන්නේ ම වෙරළට ය.. මූදු පතුලේ ලස්සනම මුතු ඇට වෙරළට අරන් යන දියවර විසින් සරසන්නේ ම වෙරළ ය.. නමුදු පතුල කිසිවක් කියන්නේවත් අසන්නේවත් නැත.. එලෙස රැළි නඟමින් ගොස් ආපිට පැමිණෙන්නේ ද පතුලටය.. පතුල කිසිවක් නොකියාම සිටියා ය.. එනමුදු වරෙක කාලයක් තිස්සේ ගැඹුරේ එකතු වී තිබූ අනන්තයක් සා වූ වේදනා දරාගත නොහැකි අවධියක වෙරළත් කළඹවාගෙන ම ඈ ගොඩගැලුවා ය.. 

එයින් නැඟුනු වේදනා සහ විනාශය දැක ඒ පතුල ම කම්පා වූවාය.. වරෙක වේදනාගෙන හැඬූ කඳුළින් කුණාටු නැඟිනි.. එයින් සැඬ වන්නේ නිල් දියවර ය.. රිදෙන්නේ ඈට ය.. එබැවින් ඈ නිහඬවම අඳුරේ ම ගිලුනා ය.. 

කොපමණක් රැළිති නංවා නිල් දියවර වෙරළ සොයාගිය ද ගැඹුරුතම ආදරයේ නිල් මහා සාගරයම අයිති ලස්සනම මූදූ පතුලටය.. 💙

විටෙක වෙරළ හා හැපෙමින් වුවත් නිල් දියවර නැවත නැවතත් පතුල කරා ඇවිත් යන්නට එන්නේ එබැවිනි.. එනමුදු ඈ දැන් කවර ආකාරයේ වුව අයිතිවාසිකමක් තබා වචන මාත්‍රයකුදු පවසන්නේ නැත.. 

මුතු ද අහිමිකරගෙන , සිප්පිකටු හා වෙරළේ හැපෙමින් හෙම්බත් වන ඈගේ මිතුරු නිල් දිය රළ ගැන ඈ කණගාටු වූවා මිසක දොසක් නොනැඟුවාය... ඒ ඈගේ පිළිවෙත ය.. කාශ්ටක වෙරළෙන් නොහිමි දයාබරිත තෙතමනය සොයා පුරුදු රැල්ලක් දිගේ නැවතත් පතුල කරා පැමිණි දියවරට ඈ කිසිත් කීවේ නැත.. 

මම යළිත් කියමි.. 

ගැඹුරුම තැන් ලස්සනය.. 
එය ඇඳිනින්නෝ අල්පය.. 

එපමණකි !!!

-රොෂෙල් ෆර්නැන්ඩු-

Tuesday, May 28, 2019

නුඹෙ සිනාවෙන් නිවේ හුණුව ගිය ලේ නහර..

නුඹේ එක සිනාවකින් කොහේ හෝ ඈතක වූ නිල් පැහැති කඳුකරයක, විනිවිදින පැහැදිලි දියෙන් සුපුන්වත් විල්තෙරක හෝ සුවදායි සුළඟින් සීතවත් වූ වන අරණක මල් පිපේදැයි නොදනිමි.

නමුදු හදවතේ ඉසියුම් ලේ නහර නම් හුණුව යන බව දනිමි.. 

මගේ හදවත සිසිරයේ ගල් ගැසුණු රෝස කුසුමක් යැයි ඉසෙහි මස්තිෂ්කය කුරිරු කෙඳිරිල්ලකින් පවා පීඩා දෙන සෑම කල්හීම මම දෑස් පියන් වසාගෙන නුඹේ ඒ ඉමිහිරිම සිනාව සිහිපත් කරමි,

එවිටෙක අඳුරු ඇසි පියන් අස්සෙහි මතුවන කුඩා ආලෝක කැබිලිති නුඹේ ප්‍රේමවන්ත සිනහවෙන් උපදින බව හඟිමි.

තණ මතින් මතුවෙවී නලියන කණමැදිරි
පොකුරත් තරු විසුල පුරා අහසත් නුඹේ සිනහවත් අතර වැඩි වෙනසක් නොමැති බැව් දැනෙන ඇසිල්ලේ සැනෙකින් නිවී සැනහෙමි.

සිසිර කුණාටුවට හසුව ශීතලෙන් ඔද්දල්ව මිදී ගිය හදවතකින් පලක් නැතැයි මවිසින් හඟින මොහොතකදී නුඹේ මුදු සිනහවක මතකය පවා කොයිතරම් නම් උණුසුම්දැයි සිතමින් මවිත වෙමි.

හදවතේ උණුසුම රඳන්නේත් රුහිර ධාතු කැටි නොගැසී පවතින්නේත් ආදරේ මහ පොදු ගුණාකාරය වූ එකමෙක සිනහහවක් වටා බව දැනී එහි පුදුමාකාරය ගණනය කරමි. අනන්තය ගිණිය නොහැකි ඉලක්කමක් බව උගනිමි.

සවන්පත් වලට හුරුපුරුදු නුඹේ සිනාවත් කටහඬත් තවමත් එසේදැයි සිතමින් සනීපවත් වසන්ත රැයක් නොනිදා නාස්ති කරමි.

මුළු මහත් විශ්වයම පවතින ආදරය පවා උපදින්නේ නුඹේ එක සිනාවකින් බවත් ආදරයට පසු ලොව පවත්නා මිහිරිම දේ වූ සංගීතයට පවා නුඹේ සිනහවෙන් ස්වරයක් අවැසි බවත් විශ්වාස කරමි.

එවන් වූ මාහැඟිම සිනහව පෙර මෙන් මට හිමි නොවන බව අදහාගත නොහැකි තැනෙක දිගු සුසුමක් හෙළා පෙනහළු ඉහිල් කරමි.. පපුතුර හිස් කරමි..

කාගේ හෝ මුවඟක ඔබ දයාබරව වැතිර ඇතැයි සිතමි. කවුරුන් හෝ ආදරණීයව මේ මොහොතෙත් ඔබව විඳිමින් ඉන්නා බැව් නිසැකය..

නුඹ කාගේ හෝ සැනසිල්ලක් වී ඇත.
මම ද සැනසෙමි.

කාගේ හෝ මුවක ආදරණීය සිනහවකට නුඹත් නුඹෙ සිනහවත් හේතුවක් වී ඇති බැව් හඟිමි.

නිර්ලෝභීවම ඔබ එය පිරිනමා ඇති බවත් දනිමි.

කාගේ හෝ වාසනාවන්ත දෙතොලක් ඔබේ සිනහවෙන් සැරසී ඇතැයි සිතා එයින් උපන් නිවීමෙන් මගෙ ළතෙත් සිනහවක් සුළඟේ තවරා එවමි.

ඒ නුඹේ දෙතොලතර රැඳෙනු පිණිසය..!!!

-රොෂෙල් ෆර්නැන්ඩු-

මල් කළඹ 💐



මතකයේ ගණනයන් නිවැරදි නම් දැන් මම අවුරුදු සැත්තෑවකට ආසන්න තාරුණ්‍යයේ කාන්තාවක් කීවොතින් ඔබ මට සිනාසෙනවාදැයි මම ඔබෙන් නොඅසමි..

කොයිතරම් දින සති ගෙවී ගියත් මිහිපිටදි ඉරු බැසීමකින් උදාවෙන හැම රාත්‍රියක්ම පවා තුරුණු බව විතරක්ම කියමි.. සෘතු ගණන් ගෙවී ගිහින් ගණනය කිරීමකින් මතකයේ රඳවාගැනීමට පවා අපහසු වසන්තයන් කොතෙකුත් පසුකරන් ආ නමුත් තවමත් මම හේමන්තයේ මැහැල්ලක් නොවන වග නම් බොහෝ ගැඹුරින්ම විශ්වාස කරමි. ඒ ඔහු තවමත් මා සොයා නොපැමිණි බැවිනි..

ඔහු එන්නේ කෙදිනකද එම හමුවීමේ සන්ධ්‍යාව වෙනතුරු පණනල මේ ශරීරය නමැති කූඩූවේ රඳවා සිරකර තබා ගැනීමට කෙලෙස හෝ උවමනාවක් මට එකලද තිබිණි.
අවසාන හිම තුහිනයත් ඉරු රැසින් දියවී නොපෙනී ගිය පසූ දළු දැමූ බකිණි ගසේ පළමු මල් වාරය මෙයයි. මඳ පවනකට යම් ප්‍රාණවත් බවක් ලැබීමෙන් තරමක් තදින් හැමූ සුළං ධාරාවක් හේතුවෙන් සෙලවීමකට ලක්වූ තුරු අග මල් හිසින් ගිලිහී ඈත පාවෙන පියල්ලෙන් පියල්ල දෙස බලා හිඳින උදෑසන දවසකින් මගේ ගෙවුනු සෑම වසන්තයක්ම ඇරඹි ලෙසම මේ වසන්තයත් උදාවිණි.

මගෙ කුඩා ගෙවත්තේ මා වඩාත් ආදරය කරන කොටසට සීත ලොම් කබායක් හා ඝනැති අත්මේස් හා පා ආවරණ වල ආධාරයක් නොමැතිවම උණුසුම් දෑසිනුත් ප්‍රාණවත් රුධිරයෙනුත් පියවර ඔසවන්නට මේ කදිම උදෑසනක් බව සිතමි. තුෂරයට පවා ඔරොත්තු දෙන ගිම්හානයේ පවා සුසුම් නාල්ලා සිටින මගේ ආදරණීය රෝස ගස ඔබේ රත් පැහැති කම්මුල් ඇති පුංචි යුවතිය පිපී හිනැහෙමින් සුවඳ දෙන'යුරු බලා අවුරුදු ගණනාවක් පුරාවට ජීවිතේ කොයිතරම් කටුක වුවද ඉමිහිරිව ගලා ගියාදැයි තවම ඔබවත් දන්නේ නැතුවා විය හැකියි. මගෙ උද්‍යානයේ බලාපොරොත්තුව ඇයම විය යුතුය. එසේය.. මම එසේ සිතමි.

හැම වසන්තෙකම බලාපොරොත්තුවක් රැගෙන ආදරයේ චමත්කාරයත් ජීවිතයේ උණුසුමත් කැටිව ඈ පිපෙන විට රැළි වැටුණු මගේ සුමුදු කම්මුල් පවා ලොවි පාට වෙන බව ඔබ අවුරුදු කිහිපයක සිට මනාව දැක ඇති බව නම් මට නිසැකය.

කුඩා වුවත් මගේ වෙව්ලන දෑත් වලින් මනාව නඩත්තු වෙන උයන පුරා සෙමින් ඇවිදිමින් හුදු නිහඬ ආශ්වාදයක් ලබමි. මගේ ඇස් වලට නොඅඩුවම පෙනීම ගෙන දෙන වර්ණයන් අතරේ ඇතුළාන්තයෙන් අළුපාටින් වැසුණු හදවත මම විනිවිද දකිමි. ජීවිතයේ තනි සුදු වර්ණයක් වත් කළු වර්ණයක් වත් නැති බවත් තිබෙන්නේ වර්ණයන් දෙකෙන් සම්මිශ්‍රිත අපූරුතම අළු පැහැය වගත් වටහා ගන්නා විට සමනළුන්ගේ දේදුනු පැහැයන් ගැන පමණක්ම විශ්වාසය තැබූ යෞවනයක කෙළවරට මා පැමිණි සිටි වග යන්තමින් මට මතකය.
ඒ නමුත් අළුපාට හදවත ගැඹුරේ පවා එකල මා සඟවා තැබූ ආදරයේ සුලලිත වර්ණ මේ කුසුම් මැදින් තවමත් මගෙ නෙත් කෙවිනි හරහා ඇතුළු වී හදවත පසාරු කරගෙන යන අන්දම සියුම් කම්පනයක් වැනි යම් වටහා ගැනීමට අපහසු වෙනස් හැඟුමකින් අත්විඳිමි.
හැම වසන්තෙම පාහේ සුපුරුද්දක් ලෙස මගෙ දෙඅතින් සකසන කළඹට මල් එකතු කරන්නට හොඳම වෙලාව බව එවිට මට නිරායාසයෙන් මතකයට නැගේ.. ඉතින් උයන පුරා ඇවිදිමින් මගේ කළඹට මම නේකාකාර විචිත්‍රවත් මල් එක්කාසු කරගනිමි.

එහි ඇති සුවිශේෂීම අංගය සියලුම වර්ගයන් ගෙන් මලකට වඩා එකතුකරගන්නා මල් මිටට මගේ බලාපොරොත්තුවේ ගසින් එකම මලක් පමණක් එකතුවීමේ කොටස යැයි සිතමි. ලිලී ,ඩැෆඩිල්, ටියුලිප් අතරට පැමිණෙන රතු පැහැති රෝස යුවතිය තවමත් මාගේ ප්‍රියතම මල වීම අරුමයක් නොවෙයි.. විස කටු මතින් හිනැහෙන්නට පුරුදු වී සිටි ඈට ආදරය නොකර සිටින්නට තරම් හිතක් මට තවම නැත. මතුද එසේමය.

මලින් මල එකතු කරමින් සිටින විට මාගේ බලාසිටීමේ හිමිකරුට හිමිව තිබූ නිශ්චල නමුත් සෘජු බැල්මකින් පිරුණු දෑස් තවමත් එලෙසින්ම නොවෙනස්ව දකිමි. වෙනසකට ඇත්තේ ඔහුගේ ඒ තුරුණු දෑස් මැවෙන්නේ පෙරදි ඉර එළියට දුඹුරු පැහැයෙන් කාන්තිමත්ව දිලෙන හිනැහෙන දෑසක වෙනුවට ඇසේ සුද ඇතිවීම නිසා තරමක් අළු පැහැ ගැන්වුනු තරුණ මැහැල්ලකගෙ දෑස් තුළ වීමයි.

ඒ දෑස් තුළට එබී බලන්නට උත්සුක වූ කිසිවෙකු එය මනාව කිරීමට අපොහොසත් වූ අන්දම සිතමින් මතකයේ පියාපත් සලමි.
වරෙක ඔහු මගෙ හොඳම පෙම්වතා වී සිටියේය. ප්‍රථම ප්‍රේමය ලෙසින් හැඳින්විය නොහැකි මුත් ඔහු මා ජීවිතයට පැමිණි සුවිශේෂීතම චරිතය විය යුතුය. වෙනත් ආකාරයෙන් පවසනවා නම් මගෙ "සැබෑ ප්‍රථම ප්‍රේමය" ඔහු විය යුතුය. මා එලෙසින් සිතමි.
මිතුරුකමකට ආසන්න බැඳීමක තිබූ එතරම් නොගැඹුරු ප්‍රේමයක කෙළවරදී ඔහු මට බලාපොරොත්තු නොවූ ලෙස මුණගැසිණි. එය දෛවයේ කුරිරු මුණගැස්වීමක් ලෙස පසුව සිතන්නට පටන්ගත්තේ ඒ හමුවට මා පමා බව දැනගැනීමෙන් අනතුරුව බව මට මතකය. කෙසේ නමුත් එම අවස්තාව සිහිපත් කරද්දි අදටත් මගේ වෙව්ලන, රැළි වැටුණු කොපුල් මත වළ ගැසෙන හිනාවක් ඇදී මැකී යන බව නොරහසකි.

ඒ වන විටත් ජීවිතයේ අහිමිවීම් රැසකට හුරුව තිබූ මගේ හදවතට ඔහු අහිමිකරගැනීමට කිසිසේත්ම වුවමනාවක් නොතිබිණි. සැබවින්ම කිවහොත් ඔහු අහිමිවීම යන කාරණය පිළිබඳව සිතීම පවා එක්තරා අන්දමකින් මට බියජනක කාරණාවක් විණි. මුණගැහෙන විටත් ආදරයක ඇසුරේ උන් ඔහුට මා ගැනත්, සියුම් වුවත් ආදරයක බිඳීමෙන් තනිකමක කම්පනයෙන් සිටි මා හට ඔහු ගැනත් තිබුණේ මිතුරුකමටත් ආදරයටත් අතරමැදි නොවූ ඉනුත් එහා ගිය තරමක වෙනස් හැඟුම් සමුදායක් බව මම එකලද දැන උන්නෙමි.
ඔහුගේ හිත දෙපසකට බෙදීම පිළිබඳව අකමැති වූ හෙයින් තරමක ඈත්වීමක සීමාවේ කඩ ඉම් රේඛා මා අඳින විට ඒ රේඛා මකන්නට ඔහුට අවැසි වූ සේම පසුකාලීනව අවුල් වුණු මනසින් යුතුව ඔහු රේඛාවක් සනිටුහන් කරන විටත් මා ඔහුගේ සීමාවට ඇතුළු වී තිබුණේ දෙදෙනාටත් නොදැනිවම වීම ප්‍රේමයේ මායාකාරි ගුණය ලෙස දකිමි.
සියලු සීමාවන් මොහොතකට බිඳ දමා නැතිනම් අමතක කර ආදරයෙන් බැඳෙන්නට ඒ මායාකාරි ගුණය අභිබවා දෙසිත් වලට උවමනා වී තිබිණි.

සඳක් සිටි ඔහුගේ අහසේ ඔහුගේ ප්‍රියතම පහන් තාරකාව මා බව වරක් ඔහු කී අයුරු මගෙ මතකයේ ඇත. අමාවක දිනයන් හි පමණක් නොව පුර පසොළොස්වක නිශාවන් හී පවා ඔහුට පහන් තරුවක ආලෝකය අවැසි වූ කාරණාව අදටද මා හට සියුම් කුතුහලයක් දනවන කාරණාවකි.

ඔහුගේ ජීවිතය ප්‍රීතියෙන් පිරැවූ ගැහැණියක ලෙස කලෙක ඔහු මට ආදරය කළා විය යුතුය. ඒ අප අතර ගොඩනැගුණු ආදරයේ උණුසුම්ම වකවානුව විය යුතුය. ඒ උණුසුමින් සඳ ගිනිගත් රැයක සඳ නිවාලනු පිණිස පහන් තරුව වෙත සමුගන්නට යැයි ඔහුගෙන් නොසිතූ ඇරයුමක් ලැබිණි. නමුත් ඔහුගේ ප්‍රියතම පහන් තරුව පවා මෙතෙක් ඔහුට ආලෝකය දුන්නේ දැවෙමින් බව ඔහුට අමතකව ගොස් තිබූ කාරණය විය. පහන් තරුව බැස ගියෙන් සඳ සිසිලේ ඔහු කල් ගෙවන්නට ඇත. ඒ නමුත් බැසයන්නට මොහොතකුත් තිබියදි ඔහුගෙන් ලද එක බැල්මක සටහන්ව තිබූ පණිවිඩයක් විණි.
අවසාන සුසුමකට පෙර යම් දිනෙක බලා යන්නට වරක් හෝ පැමිණෙන වගට මා එම පණිවිඩය කියවූ බව මගෙ මතකයේ ඇත. මා එදා එම පණිවිඩය එසේ කියවූයේ ඔහු සැබවින්ම එලෙසින් කියූ නිසාද නොමැති නම් ඒ පණිවිඩය එයාකාරයෙන් මට කියවීමට උවමනාවක් තිබූ නිසාදැයි අදටත් මම නොදනිමි.

නමුත් ඉන් උදාවූ සෑම හුදෙකලා වසන්තයකම සුපුරුදු ලෙස ඔහු ආවොතින් ඔහුට පිරිනැමීමට නොවෙනස් වූ ආදරයේ මල් කළඹ පෙර ලෙසම සකසමි. සෘතු ගණන් ගෙවී ගියත් ඔහු තවම ආවේ නැතිසේම මා සතු වූ ආදරය වියපත් වූයේද නැත. ගතින් වැහැරුණු හේමන්තයේ මැහැල්ලකගේ හදවතේ තුරුණු බව රැක දුන්නේ වරෙක ආදරයෙන් ඔහු පිරිනැමූ රතු රෝස ගස බවත් ඔහු තවම දන්නේ නැත. එය දැනගැනීම පිණිස වුව ඔහු ආවේ නැත. ඕනෑ තරමකට ආදරය දෙන බවට කියූ ඔහුගේ පොරොන්දුවක් හදවතේ ඇතුල් දොරටු ළඟ හිඳිමින් පිටතට එන්නට බලා ඉන්නේ බොහෝ කල් සිටය. එයට පිටතට පැමිණීමට හැකි වන්නේදැයි නොහැකි වන්නේදැයි නොදනිමි. බලාපොරොත්තුවේ ගස ගැන පමණක් විශ්වාස කරමි.
නෙත් කෙවිනි තෙත් කරමින් යන්තමට බොඳ කළ මතකය ඔස්සේ පරිස්සමින් රැකගත් රෝස ගසේ මේ වසන්ත වාරයට පිපුණු පළමු සහ එකම මල නෙළමි.

ඉතින් සුපුරුදු ලෙසම මේ පළමු මල් මිට ඔහුටය.

-රොෂෙල් ෆර්නැන්ඩු-

ආදර සන්නාලි


මේ ඔබට පේනවද
ආදරය මහන මම
යටිපතුල් ගෙවනෙකම් 
පාග පාගා

ඔබ ඉරන හැමවරෙක
ඉරාගන්නේ නොදැන
සිතා මම මූට්ටුව 
දමන දුර්ගා

බොත්තමක් හලාගෙන
මඟ වැටෙන්නැති කියා
කොලර රතු පැල්ලමත්
හරිමි සෝදා

ඉඳිකටුව ඇනී විස 
රිදුම් දෙන විටත් මම
කාස බොත්තම් වැහුව
කඳුළු හංඟා..

-රොෂෙල් ෆර්නැන්ඩු- 

පබළු ගවුම

අපි හිතාගෙන හිටියාටත් වඩා දැන් දැනගෙන ඉන්නවාටත් වඩා "ප්‍රේමයක මතකය" හරි ගැඹුරුයි රවීන්ද්‍ර.


ඒක තුවාලයක් !! කොයිතරම් රිදුනත් ආයෙ ආයෙ පාරවන්න ආස හිතෙන සැරව ගලන තුවාලයක්.. ඉතින් තව වතාවක් ඒක පාරවගන්න ඔයාට මේ ලියමන කියවන්නම වෙනව.

නෑ ! මම මේ තුවාලෙන් විඳවන්න ලෑස්ති උනා නෙවෙයි. මේ මම තුවාලය පවා විඳිමින් ඉන්න සංක්‍රාන්ති කාලයක්..

ඔයාට පාරවගන්න නුවමනා උනත් පරණ සැරව ටික අහක් කරලා තුවාලෙ අළුත් කරගන්න මට මේ මොහොතෙ උවමනයි.ඒක හරියට නිදි අතරේ අපිටවත් නොදැන හිතේ තියෙන දේවල් හීනෙකින් කියැවෙන සාංකාවක් වගේ!!

ජීවිතේ ඉමිහිරිම අත්දැකීම් අමිහිරිම මතක වෙන්න යන්නෙ කොයිතරම් කෙටි තත්පර ගාණක් ද.. එක තත්පරේට කියැවෙන වචන හතරක් හොඳටෝම ඇති.

"ඔයා දෙවැනි එයාට විතරයි"

කොයිතරම් ලේසිද ඒක එහෙම කියන්න ; ඔයා දන්නවා.

කොයිතරම් අමාරුද ඒක අහන් ඉන්න කියලා ඔයා දන්නවාද කියා මම දන්නෙ නෑ.


ඉතා සිනිඳු රෙද්දකින් මහලා ගොඩාක් මහන්සියෙන් හරිම ලස්සනට පබළු අල්ලපු අළුත්ම අළුත් ගවුමක් එකපාරටම කීතු කීතු වලට ඉරලා දාන විදියේ හැඟීමක් ඒක.

"මට සමාවෙන්න"

එහෙම කියලා ඔයා කඩයකින් අළුත් ගවුමක් ගෙනැත් දුන්නා. ඒත් ඒ මම ආස කරපු ගවුම නෙවෙයි. කඩයකින් ගන්න උවමනාවක් තිබුණා නම් මම මටම කියලා මේ තරම් මහන්සි වෙලා ගවුමක් මහගන්නෙ නෑ. ඒක තේරුම්ගන්න ඔයාට එදාත් අද වගේම උවමනා උනේ නෑ.

පබල්ලක් අල්ලන්න උවමනා තැනකට රේන්දයක් අල්ලලා තේරුමක් නෑ ; ඒක ඒ හැටි ලස්සන නෑ කියලා ඔයාට තේරුම් කරන්න ඇති තරම් මන් මහන්සි උනා. අන්තිමට හති වැටිලා බැරිම තැන ඉරුණු ගවුම අරගෙන හතරට පහට නවලා මම කබඩ් එකක පරිස්සමින් අඩුක් කරා. කපුරු පෙත්තක් බැරිවුනේ තිබුණෙ නැතුව මිසක් අමතක වෙලා නෙවියි. ඊට පස්සෙ තෑගි ලැබුණු කිසි ගවුමක් මට අර තරම් හිතට ඇල්ලුවේ නෑ. ඉතා කෘතවේදිව උනත් ලැබුණු හැටියේම ඒවා මම ප්‍රතික්ෂේප කලේ ඒකයි.

බලෙන්ම වාගේ ගවුමක් අන්දන්න හැදුවත් ආයේ ආයේ ඉරෙනවට බයේ මම නූල් පොටක් දිහා ඇහැක් ඇරලා බැලුවෙ නෑ. නිරුවත වඩා පහසුයි කියලා මම තනියම තීරණය කරා. ඒත් නිරුවත තරම් වත් තීරණය පහසු උනේ නෑ. සමහර මිනිස්සු රෙදි උස්සන් එන්නෙ මහපු ගවුම් අරන් වෙළඳාමේ යන්න. මූට්ටුවක් උනත් දාන්න පුළුවන් වාර ගණනක් තියෙනවා. දිරපු රෙද්දක් උනත් පරිස්සමින් මහල දෙන ශිල්ප මන් හොඳ හැටි දන්න විත්තිය ඔයා විතර දන්නෙ වෙන කවුද. ඒත් කොයිතරම් දක්ෂ සන්නාලියෙක් උනත් ඒ රෙදි ගැන හැඟීමක් ආදරයක් නැත්තං ඒ ගවුම් වලින් ඒ හැටි කදිම නිමාවක් බලාපොරොත්තු වෙන්න බෑ.

යටිපතුල් ගෙවෙනකම් උනත් මහන්න හිතේ හයියක් තිබුණත් ඉරන ඉරන හැම වතාවෙම අඬ අඬ මැසිම පාගන්න මගෙ කකුල් කැමති උනේ නෑ. ඇරත් මගේ මැසිමේ ඉඳිකටු මොටවෙනකම් මහන්න පුරුදු වෙලා තිබුණෙ අර සිනිඳු ගවුම් විතරමයි. රළු ගොරෝසු රෙදි වලට මගෙ අල්මාරියෙ කවදත් ඉඩක් තිබුණෙ නෑ.

ඉතින් මම මැසිම පැත්තකට දාල ගොතන කට්ට අතට ගත්තා. මන් ගාව තිබ්බ ලස්සනම මතක වලින් මම උණුසුම්ම සීත කබාය මැහුව. නිරුවතින් හිටිය මට සිසිරයට කියලා තිබුණේම එච්චරයි. ඒක හරිම ප්‍රයෝජනවත් උනා. එකතු කරපු බොත්තම් වගයක් තිබිලා ඒක විකුණලා මම කපුරු පැකට් එකක් ගත්තා.

"ඒක ඉරුණත් පුස්කන්න මහපු ගවුමක් නෙවී"

විටින් විට වෙනස් වෙනස් නැවුම් පාරවල් වලින් ආයෙමත් දිගහරිමින් නවමින් දිවිහිමියෙන්ම මන් ඒ ගවුම පරිස්සම් කරා.

පාට වියැකී ගියත් සිනිඳු බව අඩුනැති ඒ ඉරුණු ගවුමම ඇඳගෙන ,ගොතාපු සීත කබායෙන් ඉරුණු තැන් වහගෙන ගිම්හානේ අමාරුම දවස් පවා ගෙව්වා. ගිම්හානෙක සීත කබායක් ගැන ඔයාට හිතාගන්නවත් පුළුවන් ද?

ඔව් ! ඒක හරි අසීරුම තෝරාගැනීමක්.

කාලෙකට පස්සෙ අද හවස ආයෙමත් මම ඒ ගවුම ඇන්දා.

-රොෂෙල් ෆර්නැන්ඩු-