Monday, July 8, 2019

සුවවෙන්න!


සුනිල තණබිම - නිසල දිය අස
විවේකයත් සැනසීමත් නුඹට ය

මරණයේ මිටියාවත පවා
මැදි කරගෙන
ජීවනයේ ගඟක වීමත්
නොසිඳී ගලා යාමත් මට අයත් ය

නිර්භීත හසරැලි මුවඟින් තබා
දෑස් දෙකොනේ තෙත මාත්තු කරමි

ඝනදුරත් රුදුරු නිම්නයත් මට ය
කුඩා ආලෝක කැබිලිත්තක් පවා නුඹට ය

නුඹව බිඳලන
එකඳු කඳුළක්
කිසිඳු විටෙක දි
නොසලමි
සාංකාව පසුපස
එලව එලවා පහර දී
පලවාහරිමි!

කඳුකරේ මලෙක ඇති
චාරුමත් බව නුඹෙ නමට ලියා දී
කටු අකුල නුඹෙන් කොල්ල කා ගමි

සියලු ලස්සන නුඹ ඉදිරියෙනි
විසැති පිනි රිදුම් සඟවාගමි

නැවුම් ප්‍රභාතයන් නුඹට මැ පවරා
සුනිශ්චිත සැඳෑවන් පැහැරගමි

නුඹේ යුතුකම සුවවීමය
මගේ ප්‍රේමය දිරිදීමය!
අත්නාරිමි!

-රොෂෙල් ෆර්නැන්ඩු-

පිච්චියක් සොයා සෙයිලමෙ අව්වෙ පිච්චි පිච්චි
තාච්චි අදිමින් අපෙ දිවි සරි කල අප්පච්චි
හිච්චිටයි මටයි හාච්චි දී නුඹ පිටවෙච්චි
වෙච්චි දේ නොදත් බිමෙන් සිමෙන්ති මල් පිපිච්චි

කාසය ම මිසක් කිසිදා හැංඟුවෙ නෑ කාසි
නාසය ම බැඳන් පෙනහළු හංඟනු බෑ ලේසී
මාසය ක් දෙකක් තහනම නොතකා වෙවි වීසි
වාසය ට හදන වැඩ බිම තිබුණද තෙත පාසි

ආදරේ වගේම බැරිලු හංඟන්නට කැස්ස
සාගරේ තරම් ගැඹුරුද ඔය හැටි පපු අස්ස
යන්තරේ වගේ වැඩ සඟවන් නොතකා වැස්ස
මන්දිරේ තනා නිවනට ගොස් අපෙ උළුවස්ස

-රොෂෙල් ෆර්නැන්ඩු-

කඩුගන්නාව



වින්ඩ්ස්ක්‍රීනය බදාගත්
විසල් වැහිබිඳු මඬින
නොසන්සුන් හිත මතින්
ළදුඹුරුවන් දෙනෙතකි
ඇවිද යන කඳුළකි!

ඈත දුර සිට පෙනෙන
වංගුවට කල් තියා
වහා ගැස්සෙනු පිණිස
දෙපා අණසකට ගත්
අසංවර තිරිංග ය
හුරුපුරුදු පාරකි!

බිඳක් නවතිනු කියා
නොනැවතී සන් කරන
වහා ලෙස්සන සුළු ය
මීදුම ද තර්ජනය
මම කෙලෙස නවතිම් ද
මේ මතක කන්දකි!

ශාරදා නුඹේ ප්‍රේමයත්
වැහිදාක කඩුගන්නාව වගේ

පාලම පහුකරනකොට
හුදෙකලා මගේ තනියට
කාරයේ රේඩියෝවෙන්
කසුන් කල්හාර හිත හදනවා වගේ!

-රොෂෙල් ෆර්නැන්ඩු-

ප්‍රේමයේ ප්‍රදීපය


වෙරළකින් වෙරළකට නවාතැන් ඇති
යාත්‍රා රැලි මතින් අයාලේ යතී
ස්ථීර හදවතක් සොබාවෙන් නැති
රුස්සන්නේ නෑ හිතට ඔය රුවල් ගති

කැමති නම් හැකි නුඹට
මගෙ ප්‍රදීපය වෙන්න
මහ ටැඹක් විලස
ගොඩබිමෙහි හිස ඔසවන්න
මට හැකිය නිකුත් වෙන
එළිය නුඹටම වෙන්න
අඳුරු සිඳු ගමන් යන
කා හටත් දැල්වෙන්න

රස්තියාදුව අන්ධකාරය
කුණාටුත්
ගැඹුරු සිඳු අගාධය
විනාසය ළඟාවුත්
ඔබ වැනිම ඉරී ගිය
රුවල් හදවතින් යුත්
බොහෝ නැව් තිබේ
ලුණු මල බැඳී කල් ඉකුත්

සුන්දරම රෑ අහස
සඳපාන තරු එළිය
ඒ නැතත් නුඹ තුළම
දැල්වෙමිය වී දිරිය
කුණාටුව ලෙසින් නොව
මඳ සුළඟෙ කිති කිතිය
ප්‍රේමයේ ප්‍රදීපය
මහද වෙරළට ඇති ය

-රොෂෙල් ෆර්නැන්ඩු-

හුදෙකලාව


මේ ලෝකෙ හුදෙකලාවන් වර්ග දෙකක් තියෙනවා. හැමෝටම ඒ දෙවර්ගයම අවශ්‍ය වෙන නිමේෂයන් උදාවෙනව. ඉන් එකක් අතිශයින්ම හුදෙකලාවත් නිහඬබවත් පමණක් ඉල්ලන මිනිස් ඇසුරෙන් තොර ආරණ්‍යමය හුදෙකලාව.

එවැනි හුදෙකලාවක් අවැසි කෙනෙකුගෙ කනට ප්‍රියව ඇසෙන්නේ හුදෙක්ම වසන්තය සිහි කැඳවන ශකුන කූජනයක්, උදෑසන සුවඳ මල් අතර සැරිසරන ගුමු ගුමුවක්, කොහේ හෝ සැඳෑ වෙරළක රැළිති හැපෙනා හඬක් එසේත් නැතිනම් සීතලම අසපුවක ගෙවී යන රාත්‍රියක මඳ සුළඟට සෙලවෙන තුරුපතක සිලිසිලියක් පමණක් ම වෙන්න පුළුවන්.  නිහඬබවත් මුනිවතත් ඉල්ලන ඒ හුදෙකලාවෙදි  මිනිස් ඇසුර වඩා "සීතලයි" කියා දැනෙන්නක්. එවන් හුදෙකලාවකට අවශ්‍ය පෞද්ගලිකත්වය රැකුනු කුටියක් සහ පරණ තැටියක වයලීනයකින් සීරුවට වැයෙන මෙලොව ඇති ඉතා සිහින්ම නාදය යැයි හැඟෙන තත් හැඬවීමක් පමණක් වෙන්නත් පුළුවන්.

සිතින් මා නොසැලී හිඳිද්දි කඳුළ නුඹ ඇවිදින්.. කියන පද පෙල ටික අතරේ  වයලීනයකට පුළුවන් දෑස් දෙකොනට අනෝරා වැස්සකට සෑහෙන තරමේ කඳුළු වළාකුළු ගුලි එක්කරන්න.

අනෙක් හුදෙකලාව ඊට හාත්පසින්ම වෙනස් හැඟුම් උපදවන්නක්. මිනිස් හදවතක ස්පර්ශය කොයිතරම් "උණුසුමක්" දනවන යමක් ද කියා මැනැවින් දන්නා ඒ හුදෙකලාවට අවැසි කාගෙම හෝ ඇසුරක්. අතිශයින්ම වේදනාවටත් කලකිරීමටත් පත්වුණු හදවතින් යුතු ඒ හුදෙකලාවට අවැසි යම් ආකාරයේ මුදාහැරීමක්.

හදවතේ සියල්ල තනිවම ඇතුළාන්තය කරා උරාගන්නට කැමති ආරණ්‍යමය සීත හුදෙකලාවට වඩා කාගේ හෝ උණුසුම් දෑතක වෙලීමක්, හිස තබා හඬන්නට උරහිසක්, එසේත් නැතිනම් ආදරණීය හිස පිරිමැදීමක් සොයනා ඒ හුදෙකලාව තරමක් සංවේදී වැඩි මොහොතක්. හිතේ කැකෑරෙන දේවල් වචන වලට හරවාලීමට පවා අපහසු එවැනි විටක හැඬීමකින් කෑ ගැසීමකින් නමක් නැති හැඟුම් දහරාවක් පිට කිරීමට දැඩි උවමනාවක් දැනෙන තරමක අසීරු හුදෙකලාවක්. එවන් විටෙක හිතට බොහොම සමීප, තමන්ව මැනැවින් වටහා ගනිතැයි බලාපොරොත්තු වෙන සවන්දෙන්නෙක් මුණගැසීම පවා හරියට දිගු කාර්‍යාල දවසක් කෙළවර අතිශය විඩාවට පත්ව ඉක්මනින් නිවස කරා යාමට බලා ඉන්නා, බසයක ප්‍රමාදයත් වාහන තදබදයත් නිසා නොසන්සුන් දෑසින් යුතුව බස් නැවැතුම්පලක සිටන් ඉන්නා අතරවාරයේ අහම්බෙන් අසල ඇති ලොතරැයි කූඩුවක පැරණි කබල් රේඩියෝවකින් හරිහරන් "ක්‍රිෂ්ණා නී බේගනී" ගයනවා වගේ සැනසිලිදායක හැඟීමක්!

සීත ආරණ්‍යමය හුදෙකලාව අවැසි කෙනෙකුට ඒ නිහඬබවත් නිදහස් අවකාශයත් පිරිනැමීමට කරුණාවන්ත වීම අපූරූ වූත් මිහිරි වූත් යමක්. නමුත් එයටත් වඩා සමීප ඇසුරක උණුසුම අයදින හදවතක් වෙනුවෙන් කුඩා මොහොතක් වෙන්කිරීමක් , හඬාවැටෙන කඳුළක් පිසදා හසරැල්ලක් සොයා දීමක්, ඉතා කෙටි සවන්දීමක් පවා කියන්නේ අතිශයින්ම ප්‍රේමවන්ත ඇසිල්ලක්.

මේ ලෝකයෙන් දැන් අහිමිව යන්නෙත් එකී අවබෝධයන්මයි. එවන් අවස්තා ඇතෑම් විට අප අතරින් ගිලිහෙනව. එසේත් නැතිනම් අප බොහෝ දෙනෙක් සිතා මතාම මඟහරිනව.

ඇතැමෙක් නිහඬබව බලාපොරොත්තු වෙන ඉතා කුඩා සිනිඳු ලෝකයක් තුළට බලෙන්ම වගේ පිවිසිලා කඨෝර ශබ්ද ඇතිකර හදවත් සීරිම් වලට ලක්කරනකොට ඇතැමෙක් කරුණාවක් වචනයක් අවැසි අයෙකුට මහා සෙනඟක් මැද පවා තනිකම දනවන අයුරින් ඉතා නිර්දය ලෙස ජීවිත වලින් ඉවත දමනවා. ඒ දේවල් වල කෲරත්වය දරාගන්න බැරි වෙනකොට හදවත් පිළිස්සෙනවා. ඒ ගිනි වලින් හදවතේ තෙත හැඟුම් සංවේදන ගිලිහිලා මහා හිස්තැනක් ඇතිවෙනව. එවන් හිස් වූ හදවත් කියන්නෙම නමක් නැති පාඩම් රාශියකින් පිරී ඉතිරී ගිය ඒ නමුත් බරපතල ලෙස හිස් වී ගිය බර්මියුඩාවන්, එසේත් නැතිනම් කළුකුහර. එවන් තැනකට තල්ලු වෙන හදවතක් ප්‍රාණයෙන් නිරුද්ධයි. ඒවා ඇතුළත වෙන අභිරහස්මය දේ දන්නේ ඒ හදවත්ම විතරයි.

අවට ලෝකය ගැන සංවේදිවීම පාපයක් නොවෙයි කියන කාරණය අප එකිනෙකා විසින් වටහාගන්නා තුරු මිහිපිට පාරාදීස වල ජීවත් වෙන්නේ අපාගත අත්දැකීම් සහිත මළකඳන් වැනි වූ මිනිස්සු. හුස්ම ගන්නා ප්‍රාණයෙන් නිරුද්ධ ශරීර.

ඔබ මේ කියවන මේ මොහොතේ පවා මේ පාරාදීසයේ  අපාගත හැඟීම් වලින් හෙම්බත් වී අපේ ම ආදරණීයයෙකු ජීවත් වෙනවා වෙන්න පුළුවන්.

මල් හිසින් යුතු කටු කිරුළු ද දරමින් විටෙක තුවාලවත් විටෙක සුවඳවත් ලෙසත් ඇවිද යන ජීවිත හුඟක් අප වටා තිබෙනව. මල් පිපුණම ලස්සනයි. ඒත් ඒ ලස්සන රැකෙන්න මුකුලිත නොවී විකසිත බව සුරක්ෂා කරන්න නම් ඉඳහිටෙක හෝ වතුර පොදක් ඉහින්නට පුළුවන් නම් එය තරම් ප්‍රේමනීය යමක් මේ ලොවේ තවත් නොතිබෙන්න පුළුවන්!

මේ වසන්ත පාරාදීසය සුවඳවත්ව තියාගන්න එකිනෙකා කෙරෙහි සංවේදී වීම හරියට හිරු එළිය වගේ පිවිතුරු හැඟීමක්.

අප කවුරුත් ආසා සුවඳ මලෙක සිඹීමකට ; කාරුණික සුළඟක වැළඳගැනීමකට

ආදරය පිරිනැමීම හදවත් පණගසනා යමක්..

මළකඳන් වලින් නිකුත් වෙන ගන්ධය තෙත පසට මිසක් හමන සුළඟට ඔරොත්තු දෙන යමක් නොවෙයි.  මේ ලෝකේ හැමෝටම අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට දෙන්න කාරුණික වෙනවා නම් මොනතරම් සුන්දර සහ ජීවත්වීම වඩා පහසු කරවන තැනක් වේවිද..

ඒ නිසා හැකිනම් අවදියෙන් ඉන්න!❤️

-රොෂෙල් ෆර්නැන්ඩු-